Mid-Autumn Festival
අහස දිහා බලනකොට අපි හැමෝම දකින්නේ එකම සඳක්.
ඒත් ඒ සඳ වටා ගොඩනැගුණු කතා සහ සම්ප්‍රදායන් රටින් රටට වෙනස්.
චීනයේ සඳ වටා ගොඩනැගුණු සම්ප්‍රදායන්ට අවුරුදු 2,000කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයත් සමඟ අද දක්වා පැවත එන ප්‍රධාන සාම්ප්‍රදායික උත්සවයක් තමයි Mid-Autumn Festival. චීන චන්ද්‍ර දින දර්ශනයේ අටවැනි මාසයේ 15 වැනි දිනයේ යෙදෙන මෙම උත්සවය පූර්ණ සඳ සමඟ සමීපව සම්බන්ධයි.
[Video Credit: Go China Now · Travel]
මෙම වසරේ Mid-Autumn Festival සැප්තැම්බර් 25 වැනිදාට යෙදී තිබුණු අතර, එය දින තුනක් පුරා සමරනවා.
අපි ශ්‍රී ලංකාවේ පෝය දවසක පූර්ණ සඳ දැකීම, පන්සල් යාම සහ ආගමික කටයුතු සමඟ සඳට සම්බන්ධ අත්දැකීම් ලබනවා වගේම, චීන සංස්කෘතිය තුළත් සඳට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. Mid-Autumn Festival එහි කැපී පෙනෙනම උදාහරණයක්.

මෙම උත්සවයේ මුල් සම්බන්ධතාව පුරාණ චීනයේ ගොවිතැන සහ අස්වැන්න සමඟයි. පුරාණ චීන ජන ජීවිතය ගොවිතැන මත තදින් රඳා පැවති නිසා හොඳ අස්වැන්නක් ලැබීම විශාල වැදගත්කමක් ගත්තා. සරත් සමයේ පූර්ණ සඳ ඇති කාලය අස්වැන්න වෙනුවෙන් ස්තුති කිරීමටත්, යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කිරීමටත් යොදාගත් බව සඳහන් වෙනවා.
කාලයත් සමඟ මේ සම්ප්‍රදායන් වර්ධනය වෙමින් අද අපි හඳුන්වන Mid-Autumn Festival බවට පත්වුණා. විශේෂයෙන් Tang රාජවංශ සමයේ (618–907) පූර්ණ සඳ නැරඹීම, කවි කියවීම සහ සඳ ආශ්‍රිත සැමරුම් ජනප්‍රිය වුණා. පසුව Song රාජවංශ සමයේ උත්සවය තවත් පුළුල් වූ අතර, පවුලේ අය එකට එකතු වීම, ආහාර බෙදාගැනීම සහ තෑගි දීම වැනි සම්ප්‍රදායන් ද වර්ධනය වුණා.

අද මෙම උත්සවයේ ප්‍රධාන අංග අතර පවුලේ අය එකට එකතු වීම, Mooncake බෙදාගැනීම, Lantern දල්වීම සහ පූර්ණ සඳ නැරඹීම දැකිය හැකියි. පුරාණ චීන සම්ප්‍රදායන් තුළ සඳට ගෞරව දැක්වීම සහ සඳට පුදපූජා කිරීමත් මෙහි වැදගත් අංගයක් වුණා.
මේ අතරින් Mooncake කියන්නේ Mid-Autumn Festival සමඟ වඩාත්ම සම්බන්ධ ආහාරයක්. එහි වටකුරු හැඩය පූර්ණ සඳ සිහිපත් කරන අතර, චීන සංස්කෘතිය තුළ වටකුරු බව සම්පූර්ණත්වය සහ නැවත එක්වීම සමඟ සම්බන්ධ වෙනවා. ඒ නිසා පවුලේ අය අතර Mooncake බෙදාගැනීම පවුලේ එකමුතුකම සංකේතවත් කරන සම්ප්‍රදායක් බවට පත්වෙලා තියෙනවා.
ඒ නිසාම Mid-Autumn Festival එක “Festival of Reunion”, එහෙමත් නැත්නම් “නැවත එක්වීමේ උත්සවය” ලෙසත් හඳුන්වනවා.
මෙම උත්සවය වටා ඇති ජනප්‍රියම පුරාවෘත්තයක් තමයි Chang'e පිළිබඳ කතාව. ජනප්‍රවාදයට අනුව Chang'e අමරණීයත්වය ලබාදෙන ඖෂධයක් පානය කිරීමෙන් පසු සඳ වෙත ගිය බව කියැවෙනවා. සඳේ සිටින Chang'e සමඟ Jade Rabbit පිළිබඳ කතාවත් ජනප්‍රියයි. තවත් ජනප්‍රවාදයක Wu Gang නම් පුද්ගලයෙකු සඳේ osmanthus ගසක් කපමින් සිටින බව සඳහන් වෙනවා.
Lantern ද මෙම උත්සවයේ ජනප්‍රිය අංගයක්. විවිධ හැඩයේ සහ වර්ණයේ Lantern දල්වන අතර, සමහර ප්‍රදේශවල ඒවා මත ප්‍රහේලිකා ලියා ඒවා විසඳීමේ සම්ප්‍රදායක්ද තිබෙනවා.
හැබැයි Mid-Autumn Festival කියන්නේ චීනයට පමණක් සීමා වූ උත්සවයක් නෙවෙයි. චීන සංස්කෘතියේ බලපෑමත් සමඟ ආසියාවේ රටවල් කිහිපයකම සඳ සහ සරත් සමය ආශ්‍රිත සම්ප්‍රදායන් විවිධ ආකාරයෙන් දකින්න ලැබෙනවා.

වියට්නාමයේ මෙය Tết Trung Thu ලෙස හඳුන්වන අතර, විශේෂයෙන් දරුවන් කේන්ද්‍ර කරගත් උත්සවයක් ලෙස සැලකෙනවා. දරුවන් Lantern රැගෙන යන පෙරහැර, සිංහ නැටුම් සහ පවුලේ අය සමඟ එකතු වීම එහි කැපී පෙනෙන අංග.
දකුණු කොරියාවේ Chuseok කියන්නේ සරත් සමය සහ අස්වැන්න සමඟ සම්බන්ධ ප්‍රධාන පවුල් උත්සවයක්. එය මුතුන්මිත්තන් සිහි කිරීම, පවුලේ අය එකට එකතු වීම සහ ආහාර බෙදාගැනීම වැනි සම්ප්‍රදායන් සමඟ බැඳී තිබෙනවා.
ජපානයේ මේ සම්ප්‍රදාය Tsukimi, එනම් “සඳ නැරඹීම” ලෙස හඳුන්වනවා. පූර්ණ සඳ නැරඹීම, pampas grass වලින් සැරසීම සහ tsukimi dango වැනි ආහාර පිළිගැන්වීම එහි සම්ප්‍රදායන් අතර තියෙනවා.
සිංගප්පූරුව, මැලේසියාව සහ තවත් රටවලත් චීන සම්භවයක් ඇති ප්‍රජාවන් අතර Mid-Autumn Festival සමරනවා. ඒ ඒ රටවල සංස්කෘතිය අනුව සැමරුම් වෙනස් වුණත්, සඳ, පවුල සහ එකමුතුකම යන අදහස් ඒවා සමඟ සම්බන්ධ වෙනවා.
මේ සියල්ල බලනකොට අපේ සංස්කෘතියෙත් අපිට හුරුපුරුදු දෙයක් මතක් වෙනවා. අපි පෝය දවසක පූර්ණ සඳ දකින විට ඒකට අපේම ආගමික සහ සංස්කෘතික අර්ථ තියෙනවා. චීනයේ හෝ ජපානයේ හෝ වියට්නාමයේ මිනිසුන් ඒ එකම සඳ දිහා බලන්නේ වෙනස් කතා සහ සම්ප්‍රදායන් එක්ක.
සඳ එකමයි. හැබැයි ඒ සඳ දිහා බලන මිනිසුන්ගේ කතාවල් වෙනස්.

අද Mid-Autumn Festival එකත් පැරණි සම්ප්‍රදායන් සහ නවීන ජීවන රටාව එකතු කරගෙන සමරනවා. පවුල් එකට ආහාර ගන්නවා, Mooncake බෙදාගන්නවා, Lantern දල්වනවා සහ සඳ නරඹනවා. දුරින් සිටින පවුලේ සාමාජිකයන් දුරකථන ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් හරහා එකිනෙකාට සුබ පැතුම් එක් කරනවා.
අවුරුදු දහස් ගණනක් පුරා වෙනස් වෙමින් පැවතුණත්, මේ උත්සවයේ මූලික අදහස අදත් ඒ විදිහටම තියෙනවා. ඒ තමයි පවුල, මතකය සහ එකමුතුකම.
සමහරවිට Mid-Autumn Festival එකේ ලස්සනම අදහස මේක වෙන්න ඇති. අපි කොච්චර දුරින් හිටියත්, එකම සඳක් යටින් අපි හැමෝම එකිනෙකා මතක් කරනවා.
අවුරුදු දහස් ගණනක් පුරා ගමන් කළ සම්ප්‍රදායක් අදත් මිනිසුන්ගේ ජීවිතවලට පවුල, මතකය සහ එකමුතුකම ගැන මතක් කරවන හැටි ඇත්තටම ලස්සනයි.
Happy Mid-Autumn Festival!
中秋快乐
#MidAutumnFestival #中秋节 #MoonFestival #ChineseCulture #Mooncake #ChangE #FestivalOfReunion
# අනුරුද්ධිකා දිල්රංගි

