SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 රනිල් රැකීමට NPP ආණ්ඩුවත් සත්‍ය යටගහයිද?

 

 

ආන්දෝලනාත්මක බාල ප්‍රතිදේහ ඖෂධ (ඉමියුනොග්ලොබියුලින් - Immunoglobulin / IVIG සහ රිටොක්සිමැප් - Rituximab)

මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ වන විට එහි අවසන් අදියරට පිවිසෙමින් තිබේ. එහෙත්, මෙම දැවැන්ත සෞඛ්‍ය ඛේදවාචකය පිටුපස සිටි සැබෑ දේශපාලන 'මහමොළකරුවන්' ආරක්ෂිතව නිදැල්ලේ පසුවෙද්දී, වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා සහ නිළධාරීන් පමණක් විත්ති කූඩුවේ සිරවී සිටී.

 

 

සමාගම් රෙජිස්ට්‍රාර් වාර්තා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) රහස් ලේඛන මගින් දැන් නිරාවරණය වෙමින් පවතින්නේ, විමර්ශන නිලධාරීන් විසින් හිතාමතාම යටපත් කළ මෙරට මෑත ඉතිහාසයේ දැවැන්තම දේශපාලන කුමන්ත්‍රණයකි.

 

 

මේ සියල්ල එළියට පැමිණෙද්දී නැගෙන ප්‍රබලතම ප්‍රශ්නය වන්නේ, දූෂණයට එරෙහිව දැඩි පියවර ගන්නා බව කියන වත්මන් මාලිමාවේ (NPP) ආණ්ඩුවද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයින් බේරාගැනීම සඳහා මෙම සත්‍ය තොරතුරු යටගසමින් සිටිනවාද යන්නයි.

 Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition  PM at Int'l Day against drug abuse ceremony

 bewan_perera_and_family_new.jpeg

 (බෙවන් පෙරේරා / මලිත් පෙරේරා / මනෝජ් පෙරේරා)

 

 

යහපාලන යුගයේ උපත සහ අද්භූත වර්ධනය

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවන්ට අනුව, ප්‍රමිතියෙන් තොර ව්‍යාජ දියර මෙරට තුළ රහසිගතව සකස් කළ බව කියන Isolez Biotech Pharma AG Limited ආයතනය ලියාපදිංචි වන්නේ 2016 අගෝස්තු 24 වන දාය. ඒ, යහපාලන ආණ්ඩු සමයේදීය. එම වකවානුවේදී මෙම සමාගමට එවක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 'Buy Back Guarantee' (නැවත මිලදී ගැනීමේ සහතිකය) එකක් ලබාදීමට කටයුතු කර තිබූ අතර, ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය GMP (Good Manufacturing Practices) සහතිකය ලබාදීමේ පළමු අදියර පවා කිසිදු බාධාවකින් තොරව සම්පූර්ණ කර දී තිබිණි.

 

 

 

රනිල් ජනාධිපති වූ වහාම සමාගමට රිංගූ බෙවන්ගේ පුත්‍රයෝ

මෙම සමාගමේ වඩාත්ම සැකකටයුතු හැරවුම් ලක්ෂ්‍යය සටහන් වන්නේ 2022 ඔක්තෝබර් 06 වන දාය. එදින සමාගමට අලුතින් ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනෙකු එකතු වේ. ඒ, තුඩුවගේ මලිත් පෙරේරා සහ තුඩුවගේ මනෝජ් පෙරේරා යන දෙදෙනාය.

 

 

 

 

 

මෙම පුද්ගලයින් දෙදෙනා කවුද? ඔවුන් වෙන කවරකුවත් නොව, එක්සත් ජාතික පක්ෂයේ කැලණිය සංවිධායක මෙන්ම එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අතිසමීපතමයෙකු වූ තුඩුවගේ බෙවන් පෙරේරාගේ පුත්‍රයන් දෙදෙනාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ වහාම, ඔහුගේ සමීපතමයෙකුගේ පුත්‍රයන් දෙදෙනෙකු හදිසියේම Isolez සමාගමේ 40%ක දැවැන්ත කොටස්කරුවන් බවට පත්වීම හුදු අහම්බයක් විය හැකිද?

 

 

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ 'සැඟවුණු අමුත්තා'

බෙවන් පෙරේරාගේ පුත්‍රයන් දෙදෙනා Isolez හි කොටස්කරුවන්ව සිටි වසරක පමණ කාලය තුළ, සමාගම යළිත් GMP සහතිකය ලබාගැනීමට දැඩි උත්සාහයක නිරත විය. මෙහිදී සිදුවූ බරපතළම සහ නීතිවිරෝධීම මැදිහත්වීම වන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් කර්මාන්තශාලාවේ සිදුකරන ලද GMP පරීක්ෂණ චාරිකා (GMP Visits) දෙකකටම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරියෙකු සෘජුවම සහභාගි වී සිටීමයි.

 

 

 

 

 

 

2023 ජනවාරි 26 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ තාක්ෂණික සාකච්ඡාවටද මෙම නිලධාරියා සහභාගි වී ඇත. NMRA නිල ලේඛනවලට අනුව ඔහුගේ නම ශ්‍රීනාත් ගමගේ (Srinath Gamage - Director, Presidential Secretariat) ය. ඔහු රනිල් වික්‍රමසිංහ පාලනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ අතිසමීපතම ගෝලයෙකි. එමෙන්ම 2023 පෙබරවාරි 20 සහ 22 දිනවල කටුනායක කර්මාන්තශාලාවේ සිදුකළ තීරණාත්මක GMP පරීක්ෂණ චාරිකාවන්ටද (Inspection Visit) "නිරීක්ෂකයෙකු" (Observer) ලෙස ශ්‍රීනාත් ගමගේ සහභාගි වී ඇති බව නිල වාර්තාවල පැහැදිලිව සටහන්ව තිබේ.

 

 

 WhatsApp_Image_2026-11-11_at_20.45.jpeg

 

 

NMRA ආයතනයේ තෝරාගත් වෘත්තීය නිලධාරීන්ට පමණක් සහභාගි විය හැකි මෙවැනි අතිශය සංවේදී තාක්ෂණික පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු, විශේෂයෙන්ම සාගල රත්නායකගේ සමීපතමයෙකු මැදිහත් වූයේ ඇයි?

 

 

ඒ අනුව මෙම රහස් සාකච්ඡා සහ මැදිහත්වීම් පිටුපස ඇති දේශපාලන බලය සහ අදෘශ්‍යමාන හස්තය කුමක්ද යන්න ඉතා පැහැදිලිය. එහෙත්, මෙම අතිමහත් දේශපාලන බලපෑම් මධ්‍යයේ වුවද, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේදී මෙම සමාගමට කිසිදු අයුරකින් GMP සහතිකය ලබාදීම NMRA මගින් තරයේ ප්‍රතික්ෂේප කර තිබූ බව අපගේ විමර්ශනයේදී තහවුරු විය.

 

 

 WHO_letter_3.jpeg

WHO_letter_4.jpeg

 

 

 

පැමිණිල්ල දුටු වහාම කොටස්කරුවන් පලායාම සහ විමර්ශනයේ අන්ධභාවය

2023 ඔක්තෝබර් මුල් සතියේදී, ඖෂධ සැපයීමේ මෙම අක්‍රමිකතාව පිළිබඳ තොරතුරු දැනගත් වහාම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ උපදෙස් මත CIDයට නිල ලිඛිත පැමිණිල්ලක් යොමු කර තිබුණි. මේ සමගම සිදුවූ ක්ෂණික සහ අතිශය සැකකටයුතු සිදුවීම වන්නේ, එතෙක් Isolez සමාගමේ කොටස් 40%ක් හිමිව සිටි රනිල් වික්‍රමසිංහගේ සමීපතමයා වූ බෙවන් පෙරේරාගේ පුත්‍රයන් දෙදෙනා වන තුඩුවගේ මලිත් පෙරේරා සහ තුඩුවගේ මනෝජ් පෙරේරා යන දෙදෙනාම 2023 ඔක්තෝබර් 10 වන දින හදිසියේම සමාගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී, සිය කොටස් වර්තමාන පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දු වෙත පවරා පලායාමයි.

 

 

WHO_meating_4.jpeg

 

 

 

වංචාව පිළිබඳව CIDයට පැමිණිලි කළ මොහොතේදීම රනිල්-සාගල කඳවුරේ සමීපතමයින් මෙලෙස සමාගමෙන් පලාගියේ ඇයි? විමර්ශනය භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමට සහ CIDයේ OIC ජයන්ත පයාගල යන නිලධාරීන්ට සමාගම් වාර්තාවල පැහැදිලිව සටහන්ව ඇති මේ මහා දේශපාලන පලායාම නොපෙනුණේ මන්ද?

 

 

 

ඒ වෙනුවට ඔවුන් සිදුකළේ, ජනාධිපති රනිල්ගේ, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලගේ සහ ඔහුගේ ගෝලයා වූ ශ්‍රීනාත් ගමගේගේ අදිසි මැදිහත්වීම් සියල්ල යටපත් කර, වංචාව හෙළිදරව් කළ පැමිණිලිකාර අමාත්‍යවරයාවම කුමන්ත්‍රණකරුවෙකු ලෙස දක්වා මාස 9ක් සිරගත කිරීමයි. සැබෑ මහමොළකරුවන් නීතියේ සිදුරු තුළින් පැන යද්දී, පැමිණිලිකරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් දංගෙඩියට යැවීමේ නීතිමය ඝාතනය සැලසුම් සහගතව ක්‍රියාත්මක විය.

 

 

ඖෂධ මාෆියාව, දේශපාලන බලධාරීන් සහ උසස්වීම් පසුපස හඹායන විමර්ශන නිලධාරීන් එක්ව නිර්මාණය කළ මෙම දේශපාලන නාට්‍යයේ මීළඟ අදියරේදී "ABC Pharma" නම් සමාගමේ භූමිකාව සහ තවත් තොරතුරු රැසක් හෙළි කිරීමට අප සූදානම්ය.

 

 

මන්ද, බාල බෙහෙත් නඩුවේ අධිකරණ ක්‍රියාවලිය අවසන් අදියරෙහි පවතින අතර මේ සඳහා සත්‍ය ලෙසම මැදිහත්වූවන් සෙවීමට ප්‍රමාණවත් විමර්ශනයක් නිවැරදිව සිදුව නැති බව දැන් දහවල පායන සූර්යයා සේ පැහැදිලිය. වත්මන් ආණ්ඩුවටද මෙම සැබෑ ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන ඒමේ සැබෑ වුවමනාවක් තිබේද යන්න ගැන මෙය ලිට්මස් පරීක්ෂනයකි. එහෙත්, අධිකරණ ක්‍රියාවලිය තුළ විනිසුරුවන්ගේ අවධානය සාධාරණ ලෙසම මෙම කරුණු කෙරෙහි යොමුව ඇති බව අප දනිමු. යුක්තිය පසිඳලීමේ අවසන් බලකොටුව වන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම "නොදුටු සාක්ෂි" විවෘතව සාකච්ඡාවට බඳුන් වනු ඇතැයි යන්න අපගේ එකම අපේක්ෂාවයි.

 

 

 

# සමාරා පරණවිතාන

 

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

නවතම ලිපි