ආයතනික අඛණ්ඩතාවද, දේශපාලනික අභිමතයද?
දහඅටවැනි සියවසේදී ප්‍රංශ දාර්ශනික මොන්ටෙස්ක්‍යූ විසින් ලොවට හඳුන්වා දුන්
'බලතල බෙදීමේ මූලධර්මය' සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රාණය බඳු ය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ත්‍රිවිධ ආයතන එකිනෙකින් ස්වාධීනව, තුලනය වෙමින් ක්‍රියාත්මක වීම නීතියේ ආධිපත්‍යයේ මූලික පදනමයි. එහෙත්, යම් හෙයකින් විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ හස්තය අධිකරණයේ ආයතනික ව්‍යුහය දෙසට අත්තනෝමතික ලෙස දිගු වන්නේ නම්, එය සමස්ත 'ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේහයම' රෝගී කරවන පිළිකාවක මූලාරම්භය විය හැකිය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට දරන උත්සාහය, වර්තමානයේ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කම්පනයක් නිර්මාණය කර ඇත්තේ මෙම දාර්ශනික පසුබිම මත පිහිටාගෙනය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 20 වැනි සංශෝධනයේ සෙවනැල්ල
ශ්‍රී ලංකාවේ 1978 අංක 1 දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව මගින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට වයස අවුරුදු 65 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුට වයස අවුරුදු 63 දක්වාත් ධුරය දැරිය හැකිය. යෝජිත 22 වැනි සංශෝධනය මගින් මෙය පිළිවෙළින් අවුරුදු 67 සහ 65 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
රජය පාර්ශ්වයෙන් මීට ගෙනෙන ප්‍රධාන තර්කය වන්නේ 'නඩු ප්‍රමාදය වළක්වා අධිකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි'. එහෙත්, තාර්කික දෘෂ්ටියකින් බලන කල මෙම තර්කය ප්‍රබල නෛතික ප්‍රතිවිරෝධතාවකට මුහුණ දෙයි. 2020 ඔක්තෝබර් 29 දින සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් දැනටමත් ඉහළ නංවා ඇත.
වඩාත් හාස්‍යජනක කාරණය වන්නේ, දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 8 ක් (එක් අධිකරණයකට 4 බැගින්) පවතිද්දී, එම පුරප්පාඩු සම්පූර්ණ කර කාර්යක්ෂමතාව ඉහළ නංවනවා වෙනුවට විශ්‍රාම වයස පමණක් ඉහළ දැමීමට රජය දක්වන හදිසියයි. මෙය ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පෙන්වා දෙන පරිදි කිසිදු 'ආයතනික අවශ්‍යතාවක්' මත පදනම් වූවක් නොවේ.
ජාත්‍යන්තර පූර්වාදර්ශ සහ තාවකාලික ව්‍යවස්ථාකරණය (Ad-hoc Constitutionalism)
පුද්ගල කේන්ද්‍රීයව නීති වෙනස් කිරීමේ උත්සාහයන් ලෝක ඉතිහාසය පුරාම දක්නට ලැබෙන අතර ඒවායේ ප්‍රතිඵල බොහෝවිට ඛේදනීය වී ඇත.
ඇමරිකානු පූර්වාදර්ශය (1937)
ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් (FDR) සිය ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ ශ්‍රේෂ්ඨාධිකරණය පාලනය කිරීම සඳහා විනිසුරුවරුන් ගණන වැඩි කිරීමට ගෙන ආ සුප්‍රකට "Court-packing plan" (Judicial Procedures Reform Bill of 1937) මෙයට කදිම නිදසුනකි. එහෙත් ඇමරිකානු නීති ප්‍රජාව සහ ජනතාව එහි අන්තර්ගත වූ අත්තනෝමතික අරමුණ වටහාගෙන එය පරාජය කළහ.
ලැටිමර් හවුස් මූලධර්ම
පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) පෙන්වා දෙන පරිදි, යෝජිත 22 වැනි සංශෝධනය රාජ්‍යයේ අංශ තුන අතර බලතල සමතුලිතතාව පිළිබඳ ලැටිමර් හවුස් මූලධර්මවල IV වන වගන්තිය සහ 2023 ගෝවා ප්‍රකාශනය සෘජුවම උල්ලංඝනය කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙහිදී මතු කරන 'ස්මෙල් ටෙස්ට්' (Smell Test) න්‍යාය දාර්ශනිකව ඉතා වැදගත් වේ. නීති වෘත්තිකයන්ගේ බුද්ධිමය ඉවට අනුව, මෙම සංශෝධනයේ සැබෑ අරමුණ නීති පද්ධතියේ යහපත නොව, විශ්‍රාම යාමට නියමිත වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයාගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමේ පටු පුද්ගලික හෝ දේශපාලනික අරමුණ බව සමාජය තුළ දැඩි සැකයක් නිර්මාණය වී තිබේ.
පද්ධතිමය බිඳවැටීම සහ ස්වාභාවික යුක්තිය
මෙම යෝජනාව අධිකරණයට අපහාස කිරීමක් නොවන නමුත්, අධිකරණ පද්ධතියේ පරිපාලනමය ව්‍යුහය බිඳවැට්ටවීමක් බව පැහැදිලි බව විචාරක මතය වේ.
මෙහි ආයතනික බලපෑම ස්ථර කිහිපයකින් විග්‍රහ කළ හැකිය.
- උසස්වීම් අවහිර වීම
විශ්‍රාම වයස එකවර වසර දෙකකින් දීර්ඝ කිරීම යනු, පහළ අධිකරණවල (මහාධිකරණ සහ දිසා අධිකරණ) සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ උසස්වීම් වසර දෙකකට සම්පූර්ණයෙන්ම ඇනහිටීමකි. මෙය විනිශ්චයකාර සේවා සංගමය (JSA) විසින්ද තරයේ හෙළා දැක ඇත.
- විධායකය කෙරෙහි නම්‍යශීලී වීම
තම විශ්‍රාම වයස සහ වරප්‍රසාද තීරණය කරන්නේ දේශපාලන අධිකාරිය බව විනිසුරුවරුන්ට හැඟී යාම හරහා, විධායකයේ තීරණවලට එරෙහිව තීන්දු දීමේදී යම් 'ස්වයං-සංවරයක්' (Self-censorship) අධිකරණය තුළ නිර්මාණය වීමේ දාර්ශනික අවදානමක් ඇත.
- ආර්ථික සහ ආයෝජන බලපෑම
නීතියේ ආධිපත්‍යය අස්ථාවර රටකට විදේශ ආයෝජකයන් පැමිණෙන්නේ නැත. ව්‍යවස්ථාව යනු දේශපාලනඥයන්ගේ හිතේ හැටියට වෙනස් කළ හැකි 'කැඩපතක්' බවට පත්වූ විට රටේ ආර්ථික විශ්වසනීයත්වයද බිඳ වැටේ.
ආණ්ඩුවේ සැබෑ වගකීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එක් පුද්ගලයෙකුගේ හෝ එක් ආණ්ඩුවක පැවැත්ම උදෙසා කැබලි අකුළන, තාවකාලික (ad-hoc) මෙවලමක් නොවිය යුතුය. නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් ඉල්ලා සිටින පරිදි, රජය කළ යුත්තේ පටු ව්‍යවස්ථාදායක පියවරයන්ට යාම නොව, පුළුල් බහු-පාර්ශ්වකාර කමිටුවක් හරහා මෙය අධ්‍යයනය කිරීම සහ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමයි.
එහෙත් මෙහිදී අවධාරණය කළ යුතු තවත් ප්‍රබල සත්‍යයක් ඇත. වත්මන් දිසානායක ආණ්ඩුව යනු බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවකින් සැදුම්ලත්, ජනවරමක් සහිත ආණ්ඩුවකි. එබැවින් නීතිඥ සංගම් හෝ වෙනත් කවර පාර්ශ්වයකට හෝ ඇඟිලි ගැසිය නොහැකි ආකාරයට, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනසක් නිත්‍යානුකූලව සිදු කිරීමට ඔවුන්ට ඕනෑතරම් කාලය මෙන්ම බලය ද තිබුණි. එහෙත් ඒ කිසිවක් නිවැරදිව හා කලට වේලාවට කිරීමට අපොහොසත් වීම තුළින් පැහැදිලි වන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ පරිපාලනමය මෙන්ම උපායමාර්ගික දුර්වලතාවයයි.
අනෙක් අතට, අදාළ නිලධාරීන්ගේ විශ්‍රාම යාම යනු එකවර අහසින් කඩා වැටුණු හෝ ඊයේ පෙරේදා දැනගත් කරුණක් ද නොවේ. එය දින වකවානු සහිතව කලින්ම දැන සිටි කරුණකි. ආරංචිමාර්ගවලට අනුව ජනාධිපතිවරයා අවංකවම සිතන්නේ පසුගිය මැතිවරණ වේදිකාවේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ඉදිරියේදී නඩු පැවරීම් සහ අත්අඩංගුවට ගැනීම් කඩිනම් කිරීම සඳහා වත්මන් නීතිපතිවරයා ඇතුළු පද්ධතියේ ඇතැම් ප්‍රධානීන් තවදුරටත් අවශ්‍ය බව ය. එසේ නම්, එය නිරවුල්ව ඉටු කර ගැනීමට අවශ්‍ය නීතිමය හා දේශපාලන බලය ආණ්ඩුව සතුව තිබුණු අතර විෂයභාර අමාත්‍යවරයාට ඒ සම්බන්ධව නිසි ලෙස කටයුතු කිරීමට ඔිනෑතරම් ඉඩකඩ තිබුණු බවද පැවසිය යුතුය.
කණගාටුවට කරුණ නම්, තමන් දැන් සිටින්නේ විරෝධතා පුවරු උස්සාගෙන සිටින විපක්ෂයේ නොව, සෘජු තීරණ ගත හැකි පාලන බලයේ බව ආණ්ඩුවට නිතර නිතර අමතක වීමය. තම අමාත්‍යාංශවල සිදුවන දුර්වලතා වසා ගැනීමට ව්‍යවස්ථාවට අත තැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.
කෙසේ වුවද නීතිය යනු පාලකයාගේ අසිපත නොව, පුරවැසියාගේ පළිහ විය යුතුය. අමාත්‍යවරයෙකුගේ අකාර්යක්ෂමතාවක් වසා ගැනීමට හෝ තාවකාලික දේශපාලන අරමුණක් වෙනුවෙන් 22 වැනි සංශෝධනය නමැති පැලැස්තරයෙන් එම පළිහ සිදුරු කරන්නේ නම්, එය වළක්වාලීම සමස්ත නීති ප්‍රජාවගේත්, පුරවැසියන්ගේත් ඓතිහාසික වගකීමකි.
# සමාරා පරණවිතාන

