ස්පාටකස් සාමූහිකය විසින් රචිත පහත ලිපිය, මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් මීගමුව
බන්ධනාගාර සිද්ධිය පදනම් කරගනිමින් ලියැවුණු ගැඹුරු දේශපාලනික විග්‍රහයකි. සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාර විසින් සිරකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හුදු 'නිර්ධන පන්තිය' හෝ 'පීඩිතයා' ලෙස සලකා සිදුකරන රොමෑන්තිකකරණය මෙහිදී මාක්ස්වාදී සහ ලැකානියානු මනෝවිශ්ලේෂණ සංකල්ප ඇසුරින් දැඩිව විවේචනයට ලක් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යනු ධනවාදයට එරෙහි කැරලිකරුවන් නොව, ගෝලීය ධනවාදයේම නියාමනය නොකළ අන්තවාදී ප්‍රකාශනයක් බව පෙන්වා දෙන ස්පාටකස් සාමූහිකය, වත්මන් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන දේශපාලන බලවේග සහ ඉදිරියේදී මතුවිය හැකි අර්බුද පිළිබඳව ද තියුණු කියවීමක් මෙමඟින් සමාජගත කරනු ලබයි.
හිරකරුවන් නිර්ධනයින් ද?

බන්ධනාගාර යනු සමාජය තම අසාර්ථකත්වයන් සඟවන ස්ථානයකි. හිරකරුවන් නිර්ධන පන්තියට අයත් බවත්, ඝාතනය කරන ලද්දේ "අපේ පන්තියේ" අය බවත් පවසමින් තප්පුලන ප්‍රධාන පිරිස වන්නේ පෙසප සමාජවාදීන්ය. සිරකරුවන් සහ අපරාධකරුවන් පිළිබඳ සාම්ප්‍රදායික වාමාංශිකයින්ගේ එම රොමෑන්ටිකකරණය වූ හැඟීම් අනුගමනය කරමින් උඩපනින තවත් කිහිප දෙනෙකු ද දක්නට ලැබේ.
මීගමුව බන්ධනාගාර සිද්ධියේ ප්‍රමුඛයින් වන්නේ මත් ද්‍රව්‍ය ජාවරම්කරුවන්ය. මේ වනවිට ඔවුන්ට වත්මන් ආණ්ඩුව වෙතින් එල්ල වී ඇති අභියෝගයට මුහුණ දීම සඳහා කල හැකි සෑම ක්‍රියාවක්ම සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබෙන බව පෙනේ. පුදුම විය යුත්තේ ඊට විපක්ෂ දේශපාලන අනුග්‍රහය නොලැබෙනවා නම්ය.
පැබ්ලෝ එස්කොබා, එල් චාපෝ වැනි මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයන් පවත්වාගෙන ගිය මහා රජවරුන් පිළිබඳව අප මීට පෙර කරුණු දක්වා තිබේ. එම රටවල ආණ්ඩු මොනවාද යන්න තීරණය කරන ලද්දේ ඔවුන් විසිනි. අද ද වෙනත් මහා රජවරුන් යටතේ ඒ තත්වයන් ක්‍රියාත්මක වේ. එම අර්ථයෙන් බලන කල සැබවින්ම ලංකාව පැවතියේ මෙක්සිකෝව වැනි රටක් බවට පත්වීමේ ආසන්නයේය.
මෝඩ වම්මුන් ඉහත සඳහන් කල ස්ථාවරයට පැමිණ ඇත්තේ මත් ද්‍රව්‍ය ජාවාරම් වැනි කටයුතු වල නිරත වන්නේ උපතින් දිළින්දන් බැවිනි (මාක්ස්වාදය යනු "දිළිඳු බවේ දර්ශනය" නොවේ). නිර්ධනයා පිළිබඳව පැරණි අර්ථකථනයට අනුවත් (මාක්ස්ගේ), එම අර්ථකතනයේ දෘඩ මධ්‍ය බැහැර නොකරමින්, එය ද ආරක්ෂා කරගනිමින් වර්තමාන ධනවාදයට ගැලපෙන නව අර්ථකථනයට අනුවත්, මෙවැනි සිරකරුවන් යනු නිර්ධනයින් නොවේ.
(spartacus.lk වෙබ් අඩවියේ "ස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී" ලිපිය කියවන්න).
නිර්මල වූත්, සහජයෙන්ම උදාර වූත්, විප්ලවීය ආත්මයක් (subject) ලෙස 'නිර්ධන පන්තිය' යන්නක් සැබෑවටම පවතින්නේ නැත. පෙසපෙ වැනි පක්ෂ බොහෝ විට පරිකල්පිත අනන්‍යකරණයක (Imaginary identification) සිරවී සිටියි (වාම පක්ෂ උත්සාහ කරන්නේ පීඩිතයා නමැති ප්‍රතිරූපයට/Image වන්දනා කිරීමටයි). ඔවුන් පීඩිතව සිටින, දුප්පත් හෝ සිරගතව සිටින ඕනෑම අයෙකු දෙස බලා, ඔවුන්ව ස්වයංක්‍රීයවම ධනවාදය පෙරළා දැමීමට සූදානම් වූ වීරෝදාර 'නිර්ධන පන්තිය' ලෙස හුවා දක්වති. නිර්ධන පන්තිය යනු 'හොඳ, පීඩාවට පත් ජනයා' නමැති අර්ථ දක්වන ලද පිරිසක් නොවේ. එය නිශේධනය පිළිබඳ ව්‍යුහාත්මක පිහිටීමකි (structural position of negativity). එනම්, එය පද්ධතියේ 'කොටසක් නොවන කොටස' සහ ධනවාදයේ අසාර්ථකත්වයේ රෝග ලක්ෂණය (symptom) වේ.
මීට පෙර සවිස්තරාත්මකව ලියා ඇතත් පන්තිය යනු කුමක්ද යන්න පිළිබඳව ද මෙහි මෙසේ කෙටියෙන් සඳහන් කල යුතුව ඇත:
පන්තිය යනු ඔබට සවිඥානික වීමට තෝරාගත හැකි ආත්මීය අනන්‍යතාවයක් හෝ මානසික තත්ත්වයක් නොවේ. එය ලැකානියානු අර්ථයෙන් 'යථ' (the Real) වේ. එනම්, කිසිවිටෙකත් පවතින සමාජය විසින් සම්පූර්ණයෙන් සමනය කිරීමට හෝ පිළිවෙළකට 'සංකේතවත් කිරීමට' (symbolize) නොහැකි වූ, ක්ෂිතිමය සහගත මූලික සාමාජීය 'ප්‍රතීඝතාවයක්' (antagonism) ලෙස හැඳින්විය හැක්කේ එබැවිනි.
ඒ අනුව, හුදෙක් සිරගෙදරක සිටින පිරිසක් දෙස බලා 'මෙන්න අපේ විප්ලවීය පන්තිය' යනුවෙන් පැවසිය නොහැක. පීඩිතයා ද පද්ධතියේම කොටසකි. ඔවුන් ද පද්ධතියේ පවතින අශ්ලීල 'ප්‍රමෝදයට' (jouissance) සහ දෘෂ්ටිවාදයට හවුල් වේ (ඔවුන් ද අනෙක් සියලු ආත්මයන් මෙන්ම බෙදුණු ආත්මයන් ($) වේ). ඔවුනට ද අවශ්‍ය වන්නේ විප්ලවයක් නොව, ධනවාදය විසින් ලබා දෙන පාරිභෝගික භාණ්ඩ සහ ෆැන්ටසීන් වඩා හොඳින් භුක්ති විඳීමේ අවස්ථාවයි. එබැවින්, ප්‍රතීඝතාවයන්ට (යථට) මුහුණ නොදී හුදු "පීඩිතයා" නමැති රූපය පිටුපස යාම දෘෂ්ටිවාදී මුලාවකි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි (drug cartels) යනු ධනවාදයට එරෙහි කැරලිකරුවන් නොවේ. ඔවුන් යනු නියාමනය නොකළ ගෝලීය ධනවාදයේ උපරිම ප්‍රකාශනයයි. මෙම ජාවාරම්කරුවන්ට ධනවාදී රාජ්‍යය විනාශ කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ එහි පවතින හිඩැස් සූරාකෑමටයි. ඔවුන් සැපයුම, ඉල්ලුම, ඒකාධිකාරයන්, අලෙවිකරණය සහ ප්‍රචණ්ඩකාරී ලෙස සිදුකරන ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම් මත යැපෙති.
මාක්ස් සමාජයේ මෙම ස්ථරය 'ලුම්පන්-නිර්ධන පන්තිය' (එනම් අපරාධකරුවන්, කෛරාටිකයන් සහ ජාවාරම්කරුවන්) ලෙස හැඳින්වීය. මාක්ස්ගේ අර්ථයෙන් ඔවුන්ට 'නිෂ්පාදන සබඳතා' වෙනස් කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ නව ස්වාමිවරුන් (bosses) වීමට පමණි. එබැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ස්වාමිවරුන් හෝ ඔවුන්ගේ හෙංචයියන් 'අපේ පන්තියේ' අය ලෙස හැඳින්වීම බරපතල දෘෂ්ටිවාදී මුලාවකි.
සාම්ප්‍රදායික මාක්ස්වාදය (විශේෂයෙන්ම ජෝජ් ලූකස් වැනි චරිත) තර්ක කරන්නේ, පීඩිත ජනයා 'ව්‍යාජ විඥානයකින්' (false consciousness) පෙළෙන බවයි. එනම්, ඔවුන් ධනේශ්වර දෘෂ්ටිවාදයෙන් මුලාවී සිටින බවත්, ඔවුන් හුදෙක් 'අවදි වී' සැබෑ පන්ති විඥානයක් ලබා ගන්නේ නම් විප්ලවය ආරම්භ කළ හැකි බවත්ය (එබැවින් පෙසප නිරතව සිටිනුයේ පන්තිය සවිඥානික කිරීමේ කාර්යභාරයේය) .
නමුත් අපට අනුව දෘෂ්ටිවාදය යනු ඔබ සිතන හෝ දන්නා දේ පිළිබඳ කාරණයක් නොවේ. දෘෂ්ටිවාදය යනු මිනිසුන් සත්‍යය නොදැන සිටීම නොවේ. ජිජැක්ගේ සුප්‍රසිද්ධ වැකිය නම්: "ඔවුන් දන්නවා, නමුත් ඔවුන් තවමත් එය කරනවා" (They know it, but they are doing it anyway) යන්නයි.
පෙසප සිතනා පරිදි මිනිසුන්ට "සත්‍යය" කියා දුන් පමණින් ඔවුන් විප්ලවයකට යන්නේ නැත. මන්ද ඔවුන්ගේ 'ප්‍රමෝදය' පද්ධතිය සමඟ ගැට ගැසී ඇති බැවිනි.
නමුත් සැබෑ විමුක්ති දේශපාලනයක් තිබිය හැක්කේ දෘෂ්ටිවාදය විචාරය සහ පන්ති අරගලය සඳහා මිනිසුන්ගේ ආශාවේ ව්‍යුහය සහ ෆැන්ටසිය වෙනස් කිරීම තුල පමණි. ඒ අනුව, අපරාධකාරී පහළ පන්තිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නූතන මිනිසුන්ට (modern subjects), පද්ධතිය කෙතරම් කුරිරු හෝ දූෂිත ද යන්න පිළිබඳව ඥානාලෝකය ලබා දීම හෝ ඔවුන් ඒ පිළිබඳව 'සවිඥානික' (conscious) කරවීම අවශ්‍ය නොවේ. ඔවුන් දැනටමත් එය දනිති. දෘෂ්ටිවාදී මායාව පවතින්නේ ඔවුන්ගේ මනස තුළ නොව; එය පවතින්නේ ඔවුන්ගේ භෞතික ක්‍රියාවන් තුළය,
මේ තත්වය එවැනි අයට පමණක් නොව ඊලන් මස්ක්ගේ සිට සිල්ලර කඩ හිමියා දක්වා ව්‍යාපාරිකයින් හට මෙන්ම සමාජයේ අනෙකුත් ස්ථරයන් හට ද ඔවුනොවුන්ගේ භෞතික ක්‍රියාවන් තුල එක ලෙස අදාළ වේ.
දෘෂ්ටිවාදය යනු සත්‍යය වසා තබන වෙස්මුහුණක් නොවේ. එය අපගේ සමාජ යථාර්ථයම ව්‍යුහගත කරන එක්තරා ආකාරයක ෆැන්ටසි ව්‍යුහයකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ එම කල්ලියක හෙංචයියෙකුට තමන්ගේ සමාජීය තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැතිවා නොවේ. ඒ වෙනුවට, ඔවුන්ගේ දෛනික ක්‍රියාවන් මෙහෙයවනු ලබන්නේ අවිඥානික ආශාව සහ ප්‍රමෝදය (jouissance — එනම් වේදනාකාරී, අතිරික්ත තෘප්තිය) මගිනි. ප්‍රචණ්ඩකාරී කළු කඩ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම, ප්‍රාග්ධනය සමුච්චය කිරීම සහ නිර්දය ලෙස තරඟකාරිත්වය තුරන් කිරීම හරහා, ඔවුන්ගේ ව්‍යුහාත්මක ක්‍රියාවන් මගින් ධනවාදී ධාවකයේ (capitalist drive) පිරිසිදුම ස්වරූපය (ඊලන් මස්ක් තුල හෝ ලංකාවේ ගරු බුහුමන් ලබන වෛද්‍යවරයෙකු වැනි අයෙකු තුල ඇත්තේ ද එයයි) මූර්තිමත් වේ. ඔවුන් කුමන ආකාරයේ සවිඥානික අදහස් හෝ සාධාරණීකරණයන් ඉදිරිපත් කළ ද, ඔවුන් සැබවින්ම සිදු කරන්නේ ධනවාදී ෆැන්ටසිය එහි අන්තයටම රඟ දැක්වීමයි.
පීඩිත පන්තිය ලෙස "අපරාධකාරී ස්ථරය" වැළඳ ගැනීම යනු ධනවාදී ෆැන්ටසිය තවදුරටත් ශක්තිමත් කිරීමකි. සැබෑ විමුක්ති දේශපාලනයක් කළ හැක්කේ මෙම ප්‍රමෝදයේ සහ ෆැන්ටසියේ පර්යාය බිඳ දැමීමෙනි.
තවත් සමහරුන් විසින් පවසන්නේ නිර්ප්‍රභූන් ප්‍රභූන් බවට පත්ව නිර්ප්‍රභූන් වන හිරකරුවන් මරා දැමූ බවය.
මෙසේ පවසන සියලු දෙනා අවසානයේ සිටගන්නේ විපක්ෂ කතිකාව සමගය. එනම් මේ ආණ්ඩුව හැකි ඉක්කමින් පලවා හැර දැමිය යුතුය යන ස්ථාවරයයි (ඔවුන් ඒ සඳහා හිරගෙදර සිදුවීම වැනි සිදුවූමක් හෝ අල්ලාගෙන දැඟලීම තුලින් පෙනී යන්නේ ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයයි). එවැනි අයගේ මහා පොදු සාධකය වන්නේ සතිපතා පැමිණෙන මෙවැනි නිකුත්වීම් තුල මිඩංගු වීමයි. සැබවින්ම කල යුතු වන්නේ එවන් නිකුත්වීම තුල මිඩංගු වීම නොවේ. එය විපක්ෂයේ කාර්යයි.
වත්මන් ආණ්ඩුවට මුලින්ම එරෙහි වන්නේ රජයේ සේවකයින් බව අප පැවසූයේ මහා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ දිනයේය. මේ වන විට එය සත්‍ය වී තිබේ. එනම්, ආණ්ඩුවට එරෙහි රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ඉහල යමින් තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන්ට වඩා දරුණු සිද්ධීන් ඉදිරියේදී ඇති වනු ඇත. ආණ්ඩුව කෙතරම් කල් තියා සූදානම් වුව ද ඒවා ඇති නොවීමට වගබලා ගැනීම දුෂ්කරය. ඒ නොහිතන ආකාරයකින් සිද්ධීන් ඇති විය හැකි බැවිනි.
ඊළඟ සිද්ධිය බොහෝ දුරට පැමිණෙනුයේ අධිකරණ පද්ධතිය තුලින් සහ නීතිඥ සංගමය තුලිනි. ඒ සඳහා මේ වන විටත් රනිල්, විජේදාස රාජපක්ෂලා ප්‍රමුඛ විපක්ෂය ක්‍රියාත්මක වී තිබෙන බව පෙනේ. ආණ්ඩුවට ඇති එකම විසඳුම නොනවතින මර්දනය පමණි. දැන් ආපසු හැරීමක් නොමැත. ආපසු හැරීම හෝ ඩීල් දැමීම යනු සියදිවි නසා ගැනීමේ මාවතට අවතීර්ණ වීමයි.
මතු සම්බන්ධයි...
උපුටාගැනීම - ස්පාටකස් ලිපි

