SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන්

මේ දිනවල බුද්ධිමය මෙන්ම දේශපාලනික කතිකාවක් නිර්මාණය වී තිබේ. එහිදී ස්පාටකස් සාමූහිකයේ  මාධව රුවන්පතිරණ විසින් ජාක් ලැකාන්ගේ (Jacques Lacan) මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය පදනම් කරගනිමින් ගෙන එන කියවීම්වලට ප්‍රතිචාර දක්වමින්, ප්‍රකට දේශපාලන හා නීති විශ්ලේෂක ශිරාල් ලක්තිලක සිය ෆේස්බුක් ගිණුමේ තියුණු විචාරාත්මක සටහනක් තබා ඇත.

 

 

ශිරාල් සිය ලිපියෙන් තර්ක කරන්නේ, මාධව ඇතුළු පිරිස සංකීර්ණ න්‍යායික වචන හරහා ජනාධිපතිවරයාගේ බල ව්‍යාපෘතියේ සැබෑ ස්වභාවය වසං කිරීමට උත්සාහ දරන බවයි. අරගල සමයේ පද්ධතිය ප්‍රශ්න කළ අනුර කුමාර, බලයට පත්වීමත් සමග පැරණි පාලකයන් සේම "ස්වාමියාගේ කතිකාවට" (Master’s Discourse) අවතීර්ණ වී ඇති ආකාරය ශිරාල් මෙහිදී ලැකානියානු අර්ථයෙන්ම විග්‍රහ කරයි.

 

මෙම ලිපිය මගින් මතුකරන දේශපාලනික හා සංකල්පීය අභියෝගය සුළුකොට තැකිය නොහැක. එබැවින් මෙම විචාරය හමුවේ නිහඬව නොසිට, මීට විධිමත් පිළිතුරක් ලබාදීම මාධව රුවන්පතිරණ මෙන්ම ස්පාටකස් සාමූහිකයේද පැහැර හැරිය නොහැකි වගකීමකි. විචාරශීලී දේශපාලන සංවාදය ඉදිරියට ගෙන යාම උදෙසා ඔවුන්ගෙන් ඊට සවිස්තරාත්මක ප්‍රතිචාරයක් නුදුරේදී ම ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 

ශිරාල් ලක්තිලක පළකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

 

 

22 වන සංශෝදනය පිලිබදව ලැකානියානු කෝනයෙන් - මාධවට පිලිතුරක්

 

 

 

22 සංශෝදනයට අදාලව පක්ෂ හා විපක්ෂ කථිකාව ඉදිරියට යන විට මාධව පල කරන අදහස් 22ට පක්ෂව දරන අදහසක් බව සමාජයට ඒත්තු ගියද ඒ තුල කාටත් නොතේරෙන තර්කයක් මත තම පක්ෂපාතීත්වය තහවුරු කරන බව පෙනීගොස් තිබුනි.

 

මෙම ලියවිල්ලෙන් උත්සාහ දරන්නේ මාධව එසේ නොතේරෙන තර්කයන් තුලින් වහංගු කිරීමට දරන අනුර ජනාධිපති වරයාගේ අවිඥ්ඤානය හෙලි පෙහෙලි කර ගැනීමටය.

ඒ තුලින් 22 පිටුපස පවතින අරමුන කියවා ගැනීමටය.

මාධවගේ නොතේරෙන තර්කන පදනම් වන්නේ ජාක් ලැකාන්ගේ (Jacques Lacan) මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය ඔස්සේ බව පෙනෙති.

නමුත් ලංකාවේ බහුතර සමාජයට නොතේරෙන මාධව ඇතුලු ලාංකික මනෝ විශ්ලේෂක (psycho-social ) ප්‍රජාව පමනක් ප්‍රගුන කොට ඇති ලැකානියානු දර්ශනය තුලින්ම අපට අනුරගේ අවිඥ්ඥානය පැහැදිලි කරගත හැකිව තිබේ.

මාධව අපට කියන්නට උත්සාහ කරන්නේ ලැකානියානු දෘෂ්ටිකෝණයෙන් බලන කල 22 වන සංශෝධනය යනු සම්භාව්‍ය රෝග ලක්ෂණයක් (symptom) වන බවය.

ඒ අනුව මාධව කියන්නේ 22 සංශොදනයට එරෙහිවීම යනු රාජ්‍ය බිඳවැටීමේ කම්පනය වසං කරමින්, රාජ්‍යය පිළිබඳ බිඳී ගිය කල්පිත ප්‍රතිරූපය ප්‍රතිසංස්කරණය කිරීමට දරන උත්සාහයක් ලෙසටය.

22 ට පක්ෂ වන්වුන් කරන්නෙ විධායකයේ පරම ආශ්වාදයේ එන්ජිම නොකැළැල්ව පවත්වාගෙන යන පුනරාවර්තන නෛතික චාරිත්‍රයක් පමනක් වන බවය.

ඒ අනුව මෙම සංශෝධනය හුදු නෛතික ප්‍රතිසංවිධානයකට වඩා ශ්‍රී ලංකාවේ දේශපාලන අවිඤ්ඤානය (political unconscious) තුළ ක්‍රියාත්මක වන රෝග ලක්ෂණාත්මක චාරිත්‍රයක් (symptomatic ritual) ලෙස හඳුනාගත යුතු බවය.

මෙතැනදී කිවයුතු වන්නේ මාධව රෝග ලක්ෂන ලැකානියානු අර්ථයෙන් පැහැදිලි කලද රෝගයට පවතින විකල්ප විසදුම් පැහැදිලි කිරීමට උත්සුක නොවන බවයි.

ලංකාවේ විධායක බලය අධි-කේන්ද්‍රගත කිරීමේ (18 සහ 20 වන සංශෝධන) ප්‍රවනතාවය සහ කේන්ද්‍රය ප්‍රජාතන්ත්‍රවාදී සහ විමධ්‍යගත කිරීමේ (19, 21 සහ අභියෝගයට ලක්වූ 22 වන සංශෝධන ප්‍රයත්න) ප්‍රවනතාවය අතර දෝලනය වන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බව සත්‍යයකි.

 

එම නිසාම, ආන්ඩුක්‍රමය පිලිබද සමාජ කථිකාව

1. පූර්ණත්වයේ මනඃකල්පිතය සහ "යහපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” අතර දෝලනය වන කල්පිතයක් බව (imaginary) බව පැහැදිලිය

2. ලාංකේය දේශපාලන කතිකාව තුළ ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියාත්මක වන්නේ සමාජය තුළ පවතින ගැඹුරු දෙදරීම් වසා දැමීමට තනන ලද (Imaginary fantasy) ලෙසට බවද පැහැදිලිය

3. 22 වන සංශෝධනය සංකේතීය බෙලහීනකරණ ප්‍රයත්නයකි. එනම් නීතියට යටත් වන බව පෙන්වන්නේ වුවද, එමගින් සිදු කරන්නේ විධායකයේ මූලික බලය ව්‍යුහාත්මකව ආරක්ෂා කරගැනීමට බව පැහැදිලිය

4. ලාංකේය ඡන්දදායකයාගේ මනස බෙදුණු දේශපාලනයකට උරුම කියයි. එනම්, එක් පසෙකින් ප්‍රජාතන්ත්‍රවාදී වගවීම, පිරිසිදු පාලනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ සවිඥානික ඉල්ලීමත්, අනෙක් පසින් ආකර්ෂණීය අධිකාරීවාදී නායකත්වය, දේශපාලන අනුග්‍රහය සහ ජනවාර්ගික-ජාතික ආරක්ෂාව පිළිබඳ අවිඥ්ඤානික බැඳීමත් අතර ඔවුහු දෝලනය වන බවකි.

 

මාධව අපට කියන්නට උත්සාහ කරන්නෙ 22 වන සංශෝධනය මගින් ආන්ඩු ක්‍රමය යන නිරපේක්ෂ අධිකාරිය සංකේතීය බෙලහීනකරණයකට (symbolic castration) ලක් කරන බවට සිදු කරන තර්කය ඉහත සදහන් කරුනු මත ගර්හිත තර්කයක් වන බවය.

එමගින් විධායකයද නීතියට යටත් ය යන පියාගේ නාමය (Name-of-the-Father / Nom-du-Père) රාජ්‍ය යාන්ත්‍රණය තුළ යළි තහවුරු කරන බවය.

 

නමුත් අපට අනුව ලැකානියානු අර්ථයෙන් අනුර කුමාර ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව තේරුම් ගන්නේ විපක්ෂයේ සිටියදී සහ 'අරගලය' සමයේදී ජවිපෙ/ජාජබ ක්‍රියාත්මක වූයේ හිස්ටීරිකයාගේ කතිකාව (Hysteric’s Discourse) තුළිනි.

එහිදී අනුර පැවති ස්වාමියාගේ නිරුවත සහ පද්ධතියේ ඌනතාව නිරන්තරයෙන් ප්‍රශ්න කළේය.

එහෙත් රාජ්‍ය බලය හිමිවීමත් සමග, ජනාධිපතිවරයා ස්වයංක්‍රීයව ස්වාමියාගේ කතිකාවට (Master’s Discourse) අවතීර්නව තිබෙන බවය.

නමුත් ජාජබ දේශපාලනය මහජන මනස තුළ ගොඩනැගුවේ සියලු දුෂ්ටකම්වලින් තොර "නොකැළැල් පාලනයක්" පිළිබඳ කල්පිත පරමාදර්ශයකි (Ego-Ideal).

එහෙත් දැන් ඔවුන් අපට අභිමුඛ වන්නේ ප්‍රායෝගික පාලනය හමුවන්නේ තාත්විකය (The Real) සමගිනි.

එනම් IMF කොන්දේසි, භූ-දේශපාලනික බලපෑම් සහ රාජ්‍ය ණය අර්බුදය නියෝජනය කරන්නේ එම තාත්වියන් වන්නේය.

පෙර දුන් පොරොන්දු ඉටුකිරීම වෙනුවට පවතින ආර්ථික හා මර්දනකාරී රාමු එලෙසම නඩත්තු කිරීමට සිදුවීම හරහා ඔවුන්ම ගොඩ නැගූ තමන්ගේ කල්පිත ප්‍රතිරූපය දැන් දෙදරා යමින් පවතී.

 

අනුර විසින් විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළද, බලයට පත්වූ පසු එම ආයතනික බලය අත්හැරීමට අනුර දක්වන මැළිකම නියෝජනය කරන්නේ ලැකානියානු 'ප්‍රතික්ෂේපනය' (disavowal - Verleugnung) බව අපගේ අදහසයි.

මෙහිදී අනුර ජනාධිපති වරයා සිතන බව පෙනෙන්නට ඇත්තේ මට එහි ඇති විනාශකාරී බව වැටහෙනවා, එහෙත් මගේ අරමුණු ඉටුකරගැනීමට මට තවමත් එම බලය අවශ්‍යයි" යන ස්ථාවරය බව පෙනෙන්නට තිබේ.

22 සංශොදනය අරබයා නීතිඥ සංගමය, සිවිල් සමාජය මඟහැර කටයුතු කිරීම මගින් පෙන්වන්නේ ද ස්වාධීන ආයතනවල නීතියට වඩා තම දේශපාලන අධිකාරිය ඉහළින් තැබීමට අනුර ජනාධිපති වරයා දරන උත්සාහයයි.

මෙම ප්‍රවනතාවය තහවුරු කරන්නේ 17.19,21 සංශෝධනයන් තුලින ගොඩනැගූ සංකේතීය තුලනය නැවතත් ඒකපාර්ශ්වික විධායක අභිමතය දෙසට ඇද දැමීමේ අවදානමයි.

එසේ අතීතයේදී ක්‍රියා කලේ මහින්ද හා ගෝටාභය විසිනි.

අනුර දැන් ඔවුන් ගිය අඩි පාරේම යන ස්වයංක්‍රීයව පෙර ස්වාමියාගේ කතිකාවට (Master’s Discourse) අනුගතවී ඇති බවය.

ලැකාන් නොමැතිවත් මෙම ප්‍රවනතාවය සාධාරන මිනිසකුගේ මනසට තේරුම් ගැනීමට අසිරු නොවන්නේය.

නමුත් ප්‍රශ්නය වන්නේ මාධව එසේ කියන්නට මැලි වීමය!

 

ශිරාල් ලක්තිලක

උපුටාගැනීම - මුහුණුපොතිනි.

නවතම ලිපි