SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ස්පාටකස් සාමූහිකය විසින් සම්පාදිත මෙම ලිපිය මගින්, සමකාලීන

ලාංකීය බෞද්ධ සමාජය තුළ ගිහියා සහ භික්ෂුව අතර පවතින ව්‍යාජ සබඳතාව ලැකානියානු මනෝවිශ්ලේෂණ (Lacanian Psychoanalysis) සහ මාක්ස්වාදී දෘෂ්ටිවාදී ප්‍රවේශයන් ඔස්සේ ඉතා ගැඹුරු දේශපාලනික කියවීමකට ලක් කරයි.

 

ධනවාදී සමාජ රටාව තුළ ගිහියා සිය පව්කාර ලෞකික ජීවිතය නඩත්තු කිරීමේදී ඇතිවන ආතතිය සමනය කරගැනීම සඳහා භික්ෂුවගේ විනය සහ ශුද්ධත්වය "ආදේශක ප්‍රමෝදයක්" (Vicarious Jouissance) ලෙස භාවිත කරන ආකාරයත්, භික්ෂුවගේ අක්‍රමවත් හැසිරීම් හරහා තමන් ගොඩනඟාගත් එම ශුද්ධ වූ 'ෆැන්ටසිය' බිඳ වැටෙන විට ගිහියාට ඇති වන කාංසාව සමාජය තුළ ප්‍රචණ්ඩත්වයක් ලෙස මුදාහැරෙන ආකාරයත් මෙහිදී මැනවින් විග්‍රහ කෙරේ.

 

එපමණක් නොව, ජන බලය වැනි කල්ලි හරහා ආගමික 'මහා අනෙකාගේ' (The Big Other) භූමිකාව රාජ්‍යයට හෝ නීතියට පවරා දීම මගින් ආගමික ආයතනයන්හි පවතින 'අශ්ලීල යටිපැත්ත' (Obscene underside) තවදුරටත් වසාගැනීමට දරන හිස්ටීරික උත්සාහයත්, 'පිරිසිදු ශාසනයක්' වෙනුවෙන් නීතිය අතට ගැනීම පිටුපස සැඟවී ඇති ගිහියාගේ පරපීඩක කාමයත් (Sadism) මෙම විචාරය මගින් මනාව නිරාවරණය කරනු ලබයි.

 

 

626b7ac2-9a0e-42cc-a8b8-78624f363cf5.jpeg

 

ගිහියාට භික්ෂූන් විනයානුකූල වීම අවශ්‍ය වන්නේ ඔහුට නිවන් දැකීමට නොව, නිදහසේ පව් කිරීමටයි

 

අනුරලා යනු පන්සලත් සමඟ හැදුණු වැඩුණු මිනිසුන්ය. දහම මත පදනම් වූ මහා සංඝරත්නය වැරදි වැඩ කරන විට අනුරලාට දැනෙන්නේ දැඩි වේදනාවකි (කාංසාවකි / anxiety).

 

විනයානුකූල භික්ෂූන් වහන්සේලා පන්සල් තුළ සිවුරු පොරවාගෙන සිටීමේ සැබෑ අවශ්‍යතාව පවතින්නේ ගිහියාටය. ගිහියා තමන්ගේ පව්කාර ජීවිතය වසා ගැනීම සඳහා හාමුදුරුවරුන්ගෙන් "ශුද්ධත්වය" ඉල්ලා සිටීම (Vicarious Jouissance) ධනවාදය තුළ මෙම ගිහි-පැවිදි සබඳතාව නඩත්තු වීමේ මූලික පදනමයි (එනම්, ශුද්ධ වූ පන්සල සහ අශුද්ධ වූ 'ප්‍රමෝදය' අතර පරස්පරයයි). භික්ෂූන් වහන්සේලා වැරදි වැඩ කරන විට ගිහියාට වේදනාවක් දැනෙන්නේ, භික්ෂූන් විසින් නියෝජනය කරනු ලබන ඒ ශුද්ධ වූ පර්යාය හෙවත් ‘මහා අනෙකා’ (The Big Other) බිඳ වැටෙන බැවිනි.

 

ශුද්ධ වූ පර්යාය සිදුරු වූ විට, ගිහියාට තමන්ගේ ප්‍රමෝදය (Jouissance) වසා ගැනීමට තිබූ ආරක්ෂිත ආවරණය අහිමි වෙයි. අනුර මෙහිදී කතා කරන්නේ ඒ සාමාන්‍ය ගිහියාගේ "ෆැන්ටසිය" ආරක්ෂා කර දෙන දේශපාලනඥයෙකු ලෙසය.

 

"ජන බලය" නමැති විකාරය ද දරා සිටින්නේ අනුරලාගේ සූත්‍රයමය. ඔවුන්ට ද අවශ්‍ය වී ඇත්තේ "බෞද්ධ වටිනාකම් විනාශ නොකරන" විනයානුකූල භික්ෂූන්ය. ඒ සඳහා ඔවුහු 'විහාර දේවාලගම් පනත' සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටිති.

 

 

ගිහියාට භික්ෂූන් විනයානුකූලව අවශ්‍ය වන්නේ තමාට නිවන් දැකීමට නොව, තමාට නිදහසේ පව් කිරීමටය. ගිහියා සිතන්නේ, "මම වැරදි වැඩ කළත්, මා වෙනුවෙන් පන්සලේ සිල් රකින හාමුදුරු කෙනෙක් ඉන්නවා" යනුවෙනි. උදාහරණයක් ලෙස හාමුදුරුවන් වහන්සේ නමක බීමත්ව සිටින විට හෝ ස්ත්‍රියක සමඟ සිටින විට සිදු වන්නේ ගිහියාගේ මෙම "ආදේශක ශුද්ධත්වය" අහිමි වීමයි. එවිට ඔහුගේ පව්කාර ජීවිතය සෘජුවම ඔහුට මුණගැසෙන අතර, ඔහුට එය දරාගත නොහැකි වෙයි.

 

 

දැන් මෙම සහසම්බන්ධය අර්බුදයට යමින් පවතින බවක් පෙනේ. ශාසනය රාජ්‍යයට යටත් කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟී ඇත්තේ එබැවිනි. එනම්, මෙතෙක් කල් ධර්මය නිසා "විනයගරුක" වී සිටි බව පැවසූ භික්ෂූන් තවදුරටත් එසේ නොවන බැවින්, නීතිය මඟින් ඔවුන්ව විනයගරුක භාවයට පත් කිරීමයි. සරලවම කිවහොත්, ධනවාදය තුළ ගිහියාගේ පව්කාර ජීවිතය සඳහා වන අවශ්‍යතාව ධර්මයෙන් නොව නීතියෙන් ඉටුකර ගැනීමයි (ශාසනය රාජ්‍යයට යටත් කිරීමයි). මෙය කෙතරම් ප්‍රහසනයක් ද?

 

 මීට අදාලව අප පෙර දී  පල කල ලිපිය පහතින්....

 

710755768_1038725635169923_3000235187658198016_n.jpeg

 

අප වෙනුවෙන් පින් කරන හාමුදුරුවරු: 'පිරිසිදු ශාසනයක්' සඳහා වන "ජන බලයේ" හිස්ටීරික ඉල්ලීම

 

බීමත් භික්ෂුවකට පහර දෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එසේ පහර දෙන පුද්ගලයන්ට අනුව, ඊට හේතුව වී ඇත්තේ අදාළ භික්ෂුව ස්ත්‍රීන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම සහ බේබද්දෙකු වීමයි. පහර දීමෙන් අනතුරුව ඔවුහු ඔහුව පොලිසියට භාර දෙන බව පවසති.

 

"ජන බලය" යනු ද හරිම අපූරු සංවිධානයකි. ඔවුන්ට අනුව දැන් බෞද්ධාගම සහ ශාසනය රැක ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුය. "ජන බලයට" අනුව දැනට පවතින්නේ පන්සල් නොව "බූදල්" ය. එබැවින්, ඔවුන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වී ඇත්තේ මෙම බූදල් ක්‍රමය නැති කර දැමීම බව පවසයි.

 

'විහාර දේවාලගම් පනත' යනු ශාසනය විනාශ කිරීම සඳහා ඉංග්‍රීසින් දී ඇති ලණුවක් බවත්, ඒ නිසා එය කඩා දැමීම පහසු නොවන බවත්, ශාසනයේ 'ලොක්කන්ට' ළමයි සිටින බවත්, ඒ ළමයි දේපොළවලට නඩු කියන බවත් ඔවුහු පවසති. "ජන බලය" එහිදී අවධාරණය කරන ප්‍රධාන කාරණය වන්නේ ශාසනය බේරා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව මැදිහත් වී නීති සම්පාදනය කළ යුතු බවත්, 'විහාර දේවාලගම් පනත' සංශෝධනය කිරීමෙන් පන්සල ශුද්ධ වූ ස්ථානයක් බවට පත් කළ හැකි බවත්ය.

 

ඒ අනුව "ජන බලය" වෙතින් විමසිය යුතු ප්‍රශ්නයක් තිබේ: එනම්, මෙම සටහනෙහි මුලින්ම සඳහන් කළ හාමුදුරුවන්ට පහර දුන් පිරිස සහ "ජන බලය" අතර ඇති වෙනස කුමක්ද යන්නයි.

 

පහර දුන් අයට අනුව භික්ෂුවක් ස්ත්‍රීන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම සහ සුරාපානය කිරීම යනු දඬුවම් දිය හැකි නීතිමය වැරදි වේ. නමුත් එය කිසිසේත්ම එසේ නොවේ (එවැනි ගැටලු විසඳීම සඳහා ආගමික ව්‍යුහය තුළ වෙනම ක්‍රමවේදයක් පවතී. අධිකරණ සංඝනායක භික්ෂූන් වහන්සේලා යනු ඊට අදාළ බලධාරීන්ය).

 

"ජන බලය" සෘජුවම පවසනුයේ ආගම සහ ශාසනය රැක ගැනීම සඳහා රාජ්‍යය විසින් නීති සම්පාදනය කළ යුතු බවය. එනම්, කුහක ගිහියන්ට පස් පවෙන් වැළකෙන හැටි කියා දෙන භික්ෂු ප්‍රජාව විනයානුකූල කිරීමේ වගකීම රාජ්‍යය සතු බවත්, ඒ සඳහා නීති තිබිය යුතු බවත්, මෙතෙක් පැවති ආණ්ඩු විසින් නොකළ එම කාර්යය වත්මන් ආණ්ඩුව විසින් කළ යුතු බවත්ය.

 

"ජන බලයේ" උත්සාහය වන්නේ සිංහල බෞද්ධ පුරවැසියන් පන්සල් යවා, පස් පවෙන් වැළකෙන ආකාරය පිළිබඳව විනයානුකූල භික්ෂූන්ගෙන් ධර්ම දේශනා අස්වැවීමයි (ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය). ඉන්පසු එම "පෘථග්ජන" ගිහියන්ගේ දරුවන් නොබියව දහම් පාසල් යවා, ප්‍රජාතන්ත්‍රවාදය තුළ යහපත් පුරවැසියන් බවට පත් කළ හැකි බව "ජන බලයේ" විශ්වාසයයි.

 

"ජන බලයේ" මෙම ස්ථාවරය තුළින් හෙළිදරව් වන්නේ "ආගම", "නීතිය" සහ 'මහා අනෙකා' (The Big Other) අතර පවතින දෘෂ්ටිවාදී සබඳතාවයි.

 

"ජන බලය" වැනි සංවිධාන උත්සාහ කරන්නේ ආගමික ව්‍යුහයට අදාළ 'මහා අනෙකාගේ' භූමිකාව ආගමික ව්‍යුහයෙන් ඉවත් කර, එය "රජය" හෝ "නීතිය" වෙත පැවරීමටය (බීමත් හාමුදුරුවන්ට පහර දෙන මිනිසුන් සිතන්නේ ද දැනටමත් එය එසේම කියාය).

 

සාම්ප්‍රදායිකව භික්ෂුවකගේ විනය පාලනය වූයේ ආගමික 'සංකේත පර්යාය' තුළය. නමුත් දැන් ගිහියන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත් වී හාමුදුරුවරුන්ව විනයානුකූල කළ යුතු බවයි. මෙහිදී සිදු වන්නේ "ශුද්ධ වූ" දේ සහ "ලෞකික" දේ අතර ඇති සීමාව මකා දැමීමකි. ඔවුන් රජය නමැති 'මහා අනෙකාගෙන්' ඉල්ලා සිටින්නේ ආගමික 'ස්වාමි හැඟවුම්කාරකය' (Master Signifier) වන "භික්ෂුව" නමැති සංකල්පය නීතිය මඟින් සහතික කරන ලෙසයි.

 

ෆොයර්බාක් පිළිබඳ සිව්වන නිබන්ධනයේ (Theses on Feuerbach) මෙසේ සඳහන් වේ:

"...උදාහරණයක් ලෙස, ශුද්ධ වූ පවුලේ රහස සැබැවින්ම පවතින ලෞකික පවුල බව වරක් වටහා ගත් පසු, එම ලෞකික පවුල න්‍යාය තුළ විවේචනයට ලක් විය යුතු අතර ව්‍යවහාරය තුළ විප්ලවීය වෙනසකට භාජනය විය යුතුය..."

 

එනම්, ක්‍රිස්තියානියේ ඇති "ශුද්ධ වූ පවුල" සැබැවින්ම නොපවතින බවත්, ශුද්ධ වූ පවුල නමැති ආගමික පරිකල්පනය ගොඩනැඟෙන්නේ සැබෑවට පවතින අශුද්ධ (ලෞකික) පවුල තුළින් බවත්ය. තවත් ආකාරයකින් පවසන්නේ නම්, සැබෑවට පවතින අශුද්ධ පවුල නොමැති නම් ශුද්ධ වූ පවුලක් ද නැත.

 

ආගම විසින් ව්‍යාජ ලෙස අපේක්ෂා කරන "ශුද්ධ වූ මිනිසුන්" ප්‍රජාතන්ත්‍රවාදය තුළ ලොව කොතැනකවත් සැබෑවටම නැත. නීති, පොලිසි, හමුදා සහ අධිකරණ වැනි ව්‍යවස්ථාපිත ව්‍යුහයන් අවශ්‍ය වන්නේ එබැවිනි. දැන් "ජන බලයට" අවශ්‍ය වී ඇත්තේ බෞද්ධ ශාසනය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය යටතට පත් කිරීමටය.

 

ගිහියන් "පිරිසිදු ශාසනයක්" ඉල්ලා සිටින්නේ ඇයි?

 

ගිහියන්ට පස් පවෙන් වැළකී සිටීමට අවශ්‍යතාවක් නැත; ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් වෙනුවෙන් පස් පවෙන් වැළකී සිටින 'අනෙකෙකු' (The Other) පමණක් නොව, ඊටත් එහා ගිය සුවිශේෂී තත්ත්වයක පසුවන චරිතයක් පන්සලේ සිටිනු දැකීමටය.

 

 

හාමුදුරුවෝ බොන්නේ නැතිව, ස්ත්‍රීන් ඇසුරු කරන්නේ නැතිව ඉන්නවා නම්, ගිහියාට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී "පව්කාර ජීවිතය" ගැන ඇති වන බිය (Anxiety) සමනය කරගත හැකිය (Vicarious Jouissance). හාමුදුරුවෝ බොන විට බිඳ වැටෙන්නේ ගිහියාගේ ඒ සැනසිලිදායක 'ෆැන්ටසියයි'. පහර දීම යනු එම බිඳුණු 'ෆැන්ටසිය' වෙනුවෙන් කරනු ලබන ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියාවකි.

 

 

"ජන බලය" පවසන පරිදි, පන්සල් "බූදල්" වී ඇති බවත් හාමුදුරුවන්ට ළමයි සිටින බවත් පැවසීම, ශාසනයේ 'අශ්ලීල යටිපැත්ත' (Obscene Underside) හෙළිදරව් කිරීමකි. 'සංකේත පර්යාය' පවතින්නේ මෙවැනි අශ්ලීල රහස් වසා ගනිමිනි. තත්ත්වය එසේ තිබියදී "ජන බලය" උත්සාහ කරන්නේ රජයේ නීතිය මඟින් පන්සල "ශුද්ධ" කිරීමටය. නමුත් අපට අනුව, ඕනෑම "ශුද්ධ" ආයතනයක් පිටුපස මෙවැනි අශ්ලීල යටිපැත්තක් අනිවාර්යයෙන්ම නඩත්තු වේ. නීති සම්පාදනය කිරීමෙන් කරන්නේ එම අශ්ලීලත්වය නැති කිරීම නොව, එය වඩාත් සංකීර්ණ ලෙස වසා දැමීමයි.

 

හාමුදුරුවන්ට පහර දෙන මිනිසුන් තුළ ඇත්තේ හුදු "ආගම් භක්තියක්" නොවේ. එහි ඇත්තේ 'අශ්ලීල ප්‍රමෝදයකි'. තමන්ට වඩා "උසස්" යැයි සම්මත පුද්ගලයෙකු (භික්ෂුව) පහත් තත්ත්වයට ඇද වැටුණු විට, ඔහුට පහර දීම හරහා ගිහියා තමන්ගේම අභ්‍යන්තරයේ පවතින ආතතිය පිට කර ගනී. ඒ අතරම, තමන් කොතරම් ජඩයන් වුව ද රට, ජාතිය සහ ආගම වෙනුවෙන් සටන් වදින්නන් ලෙස 'මහා අනෙකා' ඉදිරියේ පෙනී සිටිය හැකිය (වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නේ එබැවිනි).

 

 

නීතිය අතට ගැනීම හෝ රජයේ නීතිය ඉල්ලා සිටීම යනු මහා අනෙකාගේ නාමයෙන් තමන්ගේ පරපීඩක කාමය (Sadism) තෘප්තිමත් කර ගැනීමකි.

 

ඉතින්, "ජන බලය" ඉන් වෙනස් වන්නේ කෙලෙසද?

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි