SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි

'නිල් දිය පොකුණ' යනු හුදු සංචාරක ගමනාන්තයක් පමණක් නොවේ; එය වසර මිලියන ගණනක් පුරා සොබාදහම විසින් නිර්මාණය කරන ලද අතිශය සංවේදී භූගෝලීය කලාපයකි. ඌව කඳුකරයේ හුණුගල් පාෂාණ ජලයෙන් දියවී යාමෙන් නිර්මාණය වූ කාර්ස්ට් භූවිෂමතාවයකට හිමිකම් කියන මෙම මීටර් 52ක් පමණ ගැඹුරු භූගත ගුහා සංකීර්ණය, රාවණා රජුගේ ජනප්‍රවාද සමඟ ද බද්ධ වී පවතී.

 

 

එහෙත්, මෙම අපූර්ව නිර්මාණය අද වන විට කතාබහට ලක්ව ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසාම නොව, මානව ක්‍රියාකාරකම් සහ පාරිසරික සංරක්ෂණය අතර හටගත් බරපතල අර්බුදයක කේන්ද්‍රස්ථානය බවට එය පත්ව ඇති බැවිනි.

 

 

හඳුනානොගෙන පැවතීමේ වැදගත්කම

නිල්දිය_2.jpeg

ස්වභාවධර්මයේ සමහර අපූර්ව නිර්මාණ නිර්මාණය වී ඇත්තේම මිනිස් ස්පර්ශයෙන් තොරව, නිහඬව පැවතීමටය. 'අත නොගැසිය යුතු ඇස නොගැටිය යුතු ජාතික සම්පත්' ලෙස අප හඳුනාගත යුත්තේ මෙවැනි අතිශය සංවේදී පරිසර පද්ධතීන්‍ ය. නිල් දිය පොකුණේ අතිශය පිරිසිදු ජලය, එහි වෙසෙන වැහිලිහිණියන්, වවුලන් මෙන්ම වසර දහස් ගණනක් පුරා නිර්මාණය වූ ස්පීලියෝතෙම් (Stalactites සහ Stalagmites) වැනි හුණුගල් නිර්මාණ පවතින්නේ බාහිර ලෝකයෙන් හුදෙකලා වූ නිශ්චිත ඔක්සිජන් සහ උෂ්ණත්ව සමතුලිතතාවයක් මතය.

 

 

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීමත් සමඟ, කිසිදු පාලනයකින් තොරව මිනිසුන් රංචු පිටින් මෙම ගුහාව ආක්‍රමණය කිරීම ආරම්භ විය. මිනිස් ශ්වසනය හේතුවෙන් ගුහාව තුළ ඔක්සිජන් මට්ටම පහත වැටීම, ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු වීම සහ සංචාරකයින්ගේ අනිසි හැසිරීම් හේතුවෙන් මෙම "අත නොගැසිය යුතු" සම්පත ශීඝ්‍ර විනාශයකට ලක්වෙමින් පැවතුණි. සොබාදහමේ ඇතැම් රහස්, රහස් ලෙසම පැවතීමට ඉඩ හැරීම එක්තරා ආකාරයක උත්තරීතර සංරක්ෂණයකි. සෑම අහුමුළුවක්ම ගවේෂණය කිරීමට යාමෙන් අප අවසානයේ සිදු කරන්නේ එම සම්පතේ මරණ සහතිකය ලිවීමයි.

 

 

 

නෛතික අර්බුදය සහ ප්‍රජා ගැටුම

රාවණා ඇල්ල අභයභූමිය තුළ පිහිටා ඇති බැවින් වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ පාලනය වන මෙම කලාපය තුළ සිදුවන පාරිසරික විනාශය සහ සංචාරකයින්ගේ ජීවිතවලට ඇති දැඩි අවදානම සලකා, 2025 දෙසැම්බර් 26 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිල් දිය පොකුණ තාවකාලිකව වසා දමන ලදී.

 

එහෙත් අර්බුදය එතැනින් නිමා වූයේ නැත. ප්‍රදේශයේ තරුණයින්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට මෙය පත්ව තිබූ බැවින්, තහනම නොතකා සංචාරකයින් ගුහාවට රැගෙන යාම අඛණ්ඩව සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2026 ජූනි මාසයේදී මඟපෙන්වන්නන් 72 දෙනෙකුට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට වනජීවී නිලධාරීන්ට සිදුවිය. තත්ත්වය කොතරම් උග්‍ර වූයේද යත්, 2026 ජූලි මාසයේදී මධ්‍යම පරිසර අධිකාරිය ජල සාම්පල් ලබාගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් ආරක්ෂාව පවා යෙදවීමට සිදු වූ අතර, ප්‍රදේශවාසීන් ආගමික පූජා පවත්වා බලහත්කාරයෙන් ස්ථානය විවෘත කිරීමට ද උත්සාහ කළහ. මෙය හුදු පාරිසරික ගැටලුවක් පමණක් නොව, සංරක්ෂණය සහ ප්‍රජා ආර්ථිකය අතර පවතින ගැඹුරු සමාජ-ආර්ථික ගැටුමක් බව මින් මනාව සනාථ වේ.

 

 

 

ඊනියා විද්‍යාත්මක මැදිහත්වීම සහ වර්තමාන තත්ත්වය 

 

නිල්දිය_3.jpeg

 

 

අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලෙස, පරිසර අමාත්‍යාංශය විසින් පත් කළ විශේෂ තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත නව නියාමන රාමුවක් සකස් කෙරිණි. 2026 අගෝස්තු 18 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නව රෙගුලාසි ගැසට් කිරීමත් සමඟ නිල් දිය පොකුණ සම්පූර්ණයෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල අධීක්ෂණය යටතට පත් විය.

 

මෙම නව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන නියාමන කොන්දේසි මෙසේය.

 

දෛනිකව ගුහාවට ඇතුළු විය හැකි සංචාරකයින් සංඛ්‍යාව සහ කාලය (Carrying Capacity) දැඩි ලෙස සීමා කිරීම.

 

මීටර් 52ක් ගැඹුරේ ඇති පොකුණේ දිය නෑම හෝ පීනීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම.

 

ප්‍රමිතිගත හිස්වැසුම් (Safety Helmets), අධි-ශක්ති ආරක්‍ෂිත ලණු සහ වෝකි-ටෝකි (Walkie-talkie) සංනිවේදන පහසුකම් අනිවාර්ය කර තිබීම.

 

අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දුන් ප්‍රදේශවාසී තරුණයින්ට වනජීවී දෙපාර්තමේන්තුව යටතේ විශේෂ පුහුණුවක් ලබා දී නිල මඟපෙන්වන්නන් ලෙස ලියාපදිංචි කිරීම.

 

 

 

නිල් දිය පොකුණ ආශ්‍රිතව ගොඩනැගුණු නව නියාමන ක්‍රමවේදය, ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක කර්මාන්තයේ පූර්වාදර්ශයක් ලෙස හඳුන්වති. අනාරක්ෂිත ව්‍යාපාරයක් වෙනුවට, ප්‍රජා සහභාගීත්වයෙන් යුතු විධිමත් කළමනාකරණ මොඩලයක් හඳුන්වා දීම විද්‍යාත්මක නිර්ණායක සොයන්නන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇති කරුණකි.

 

කෙසේ වෙතත්, මිනිසාට මිනිසාව දරාගැනීමට නොහැකි වටාපිටාවක මෙවැනි පාරිසරික සම්පත් දරාගැනීමට තරම් අවකාශයක් නැති නිසා අඩුම තරමින් දී ඇති විද්‍යාත්මක මොඩලය හෝ සාර්ථක වීමට නම් නිරන්තර පසුවිපරම් අත්‍යවශ්‍ය වේ. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් මාස හයකට වරක්වත් ගුහාවේ ජල සංයුතිය සහ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ පාරිසරික විගණනයක් සිදු කළ යුතුය. එසේම, ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා විශේෂ 'සෙවීම් සහ බේරාගැනීමේ' කණ්ඩායමක් කලාපය තුළ ස්ථාපිත කිරීම සහ මාර්ගගත ටිකට්පත් වෙන්කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම ප්‍රමාද නොකර සිදු කළ යුත්තකි. මේවා කොලකෑලිවලට පමණක් හෝ රැකියාවේ තවත් "වැඩක්" ලෙස සීමා නොවිය යුතුය.

 

 

නිල් දිය පොකුණ අපට උගන්වන ප්‍රධානම පාඩම නම්, සොබාදහමේ සියලුම දොරටු මිනිසාගේ විනෝදාස්වාදය වෙනුවෙන් විවෘත කළ නොහැකි බවයි. සංචාරක කර්මාන්තය කොතරම් ලාභදායී වුවද, 'අත නොගැසිය යුතු' ස්වාභාවික සීමාවන් හඳුනාගෙන ඒවාට ගරු කිරීමට අප වහා පුරුදු විය යුතුය.

 

SLLeader.lk

නවතම ලිපි