ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ
(SLTDA) සභාපතිවරයා ලෙස මීට පෙර පත් කරන ලද බුද්ධික හේවාවසම් එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් බුද්ධික හේවාවසම් ගේ ක්‍රියාකලාපය හා හැකියාවන් නිරන්තරයෙන් වර්ණනාවට ලක් කර තිබූ පසුබිමක, විෂය භාර අමාත්‍ය විජිත හේරත් විසින් හදිසියේම සුරංජිත් වෑවිටව නව සභාපතිවරයා ලෙස පත් කිරීම මෙම ආන්දෝලනයට ප්‍රධාන හේතුව වී ඇත. බලාපොරොත්තු නොවූ මෙම හදිසි වෙනසට සැබෑ හේතුව කුමක්ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මතවාද හා කටකතා මේ වන විටත් සැරිසරමින් පවතී.
කෙසේ වෙතත්, මෙම සමාජ මාධ්‍ය කතාබහට සහ දේශපාලනික කුතුහලයට වඩා බරපතල නෛතික අර්බුදයක් නව සභාපතිවරයාගේ පත්කිරීම හරහා නිර්මාණය වී ඇති බව නීති ක්ෂේත්‍රයේ විචාරකයින් පෙන්වා දෙති. මෑතකදී පුවත්පත් වාර්තා මගින්ද පෙන්වා දෙන පරිදි, කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ සංගම්වල ආධිපත්‍යයට එරෙහිව පළාත් මට්ටමේ සේවා සපයන්නන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නව සභාපති සුරංජිත් වෑවිට, තවමත් 'ක්‍රියාකාරී ජාතික සහ කලාපීය සංචාරක මගපෙන්වන්නෙකු' (Tour Guide) ලෙස කටයුතු කරන බව ඔහුගේ සමාජ මාධ්‍ය සටහන් මගින්ම තහවුරු වේ.
නෛතික ගැටුම හටගන්නේ හරියටම මෙතැනිනි.
මෙම පත්කිරීම, සංචාරක අධිකාරිය ස්ථාපිත කළ 2005 අංක 38 දරන සංචාරක පනතේ මූලික නෛතික ප්‍රතිපාදනවලට සෘජුවම පටහැනි බව නීති විශාරදයන්ගේ මතයයි. පනතේ 5(1)(a) වගන්තිය මගින් අධිකාරියේ සභාපති ධුරය ඇතුළු සාමාජිකත්වයට පත්වීම සඳහා වන නුසුදුසුකම් ඉතා පැහැදිලිව දක්වා ඇත.


එකී 5(1)(a) වගන්තියට අනුව, යම්කිසි පුද්ගලයෙකු පහත තත්ත්වයට පත්වන්නේ නම් ඔහු එම ධුරයට නුසුදුස්සෙකු වේ.
"යම්කිසි හෝ පන්තියක හෝ විස්තරයක සංචාරක සේවා සපයන හෝ මෙහෙයවන යම් ව්‍යාපාරයක හිමිකරුවෙකු, හවුල්කරුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, බහුතර කොටස්කරුවෙකු හෝ සේවකයෙකු වන්නේ නම් හෝ එසේ වුවහොත්, එම තැනැත්තා අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කරනු ලැබීමට හෝ සාමාජිකයෙකු ලෙස දිගටම කටයුතු කිරීමට නුසුදුස්සෙකු වන්නේය."
මෙහිදී නෛතිකව වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ පනතේ 4 වන වගන්තියයි. එහි (e), (f), (g) සහ (h) ඡේද යටතේ පත්වන කර්මාන්ත නියෝජිතයින්ට (හෝටල් සංගම්, සංචාරක නියෝජිතයින් ආදීන්ට) පමණක් ඉහත කී නීතිමය බාධාවෙන් නිදහස් වීමට විශේෂ මුක්තියක් (Exemption) ලබා දී තිබේ.
එහෙත්, පනතේ 4(a) වගන්තිය යටතේ පත්වන 'සභාපතිවරයාට' එම නීතිමය මුක්තිය කිසිසේත්ම අදාළ නොවේ. නීතියේ පැහැදිලි අර්ථකථනය අනුව, සභාපතිවරයා කර්මාන්තයේ වාණිජ බැඳීම්වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වූ ස්වාධීන පුද්ගලයෙකු විය යුතුය.
පනත මගින් සභාපතිවරයාට මෙම මුක්තිය ලබා නොදෙන්නේ ඉතා වැදගත් පාලනායතනික හේතුවක් (Corporate Governance) මතය. මේ වන විටත් සංචාරක මගපෙන්වන්නන් සහ ආයතන අතර ගාස්තු සම්බන්ධයෙන් සක්‍රීය වෘත්තීය ගැටුමක් පවතී. පනතේ 53 වගන්තිය ප්‍රකාරව ගැසට් නිවේදන හරහා මෙම ගාස්තු නියම කිරීමේ අවසන් බලය ඇත්තේ සංචාරක අධිකාරියට සහ එහි සභාපතිවරයාටය. එසේ තිබියදී, සභාපතිවරයාම ක්‍රියාකාරී සංචාරක මගපෙන්වන්නෙකු වූ විට, ඔහු එක් පාර්ශවයකින් ආදායම් ලබන අතරම එම පාර්ශවයේම ගැටලුවලට ස්වාධීන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේද? එය බරපතල 'ලැදියාවන් පිළිබඳ ගැටුමක්' (Conflict of Interest) මෙන්ම යුක්තිය පසිඳලීමේ මූලධර්මවලටද දැඩි සේ පටහැනිය.
එසේ වුවද, ඇතැම් දේශපාලන විචාරකයින් විසින් මෙම පත්කිරීම දෙස හුදු නීතිමය කෝණයෙන් පමණක් නොව, පුළුල් දේශපාලනික හා සමාජීය කියවීමකින් ද විවිධ ප්‍රකාශ නිකුත් කර තිබුණි. ඒ අනුව වත්මන් ආණ්ඩුව මෙවැනි නීති සහ පනත් සම්බන්ධයෙන් ගනු ලබන විරෝධාත්මක භාවිතයන් රැඩිකල් තීන්දු ලෙසත්, ජනතාව අපේක්ෂා කළ පුළුල් 'පද්ධතිමය වෙනසක' /සිස්ටම් චේන්ජ් සඳහා ධනාත්මක පෙරනිමිති ලෙසත් එම දේශපාලන විශ්ලේෂකයෝ අර්ථකථනය කරති.

