රජයේ රෝහල්වල ඖෂධ මිල 12.5%කින් ඉහළට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) මිල කමිටුව විසින් රජයේ රෝහල් වෙත සැපයෙන
දේශීය වශයෙන් නිපදවන ඖෂධ වර්ග 350ක මිල ගණන් සියයට 12.5කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 2023 වසරෙන් පසුව කිසිදු මිල සංශෝධනයක් සිදු නොවූ බව පවසන බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය (SLPMA), පවතින නිෂ්පාදන පිරිවැය හමුවේ මෙම 12.5%ක වැඩිවීම පවා ප්‍රමාණවත් නොවන බවත්, මිල ගණන් ඊටත් වඩා වැඩි විය යුතු බවත් අවධාරණය කරයි.
කර්මාන්තකරුවන්ගේ තර්ක සහ යථාර්ථය
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, මැදපෙරදිග යුද්ධය හමුවේ සක්‍රීය ඖෂධ අමුද්‍රව්‍ය (API) සහ නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ යාම, මෙන්ම විදුලිය, ඉන්ධන සහ අභ්‍යන්තර ප්‍රවාහන වියදම් වැඩිවීම නිෂ්පාදකයන් ඉදිරිපත් කරන ප්‍රධාන හේතු වේ. කෙසේ වෙතත්, මෙම සාධක සමස්ත සමාජයටම සහ රටේ සෑම ක්ෂේත්‍රයකටම එකසේ බලපා ඇති පසුබිමක, අත්‍යවශ්‍ය ඖෂධ සපයන්නන් පමණක් ඒ මත පදනම්ව තවදුරටත් සිය ලාභ අනුපාත පවත්වා ගැනීමට උත්සාහ කිරීම සාධාරණීකරණය කළ නොහැක. රජයේ රෝහල් පද්ධතිය දැඩි සෞඛ්‍ය හා මූල්‍ය අර්බුදයක සිටින මොහොතක, මෙලෙස මිල ඉහළ දැමීමට දැරෙන උත්සාහය ජාතික අර්බුදයක් හමුවේ සිදුකරන "බොරදියේ මාළු බෑමක්" ලෙස ක්ෂේත්‍රයේ විචාරකයෝ හඳුන්වති.
ඓතිහාසික ආවරණය සහ මහජන පීඩනය
"දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ" නාමයෙන් පවතින සහ පසුගිය රජයන් ලබාදුන් විශේෂ ආවරණ හේතුවෙන්, දේශීයව නිපදවන ඖෂධ බොහෝ විට ආනයනික ඖෂධවලටත් වඩා වැඩි මිලකට රජයේ රෝහල්වලට සැපයීමට නිෂ්පාදකයන්ට අවස්ථාව හිමිවිය. රජය ඒ සඳහා ගෙවනු ලබන්නේද මහජනතාවගේ බදු මුදල්වලිනි. අසීමිත බදු බරින් සහ ජීවන පිරිවැයෙන් ජනතාවගේ ජීවන තත්ත්වය "නාහෙ ළඟටම ගිලී" ඇති මොහොතක, කලක් තිස්සේ අධික ලාභ ලැබූ දේශීය නිෂ්පාදකයන් සෞඛ්‍ය අර්බුදය හමුවේ නැවතත් එම බර සාමාන්‍ය පන්තියේ අසරණ රෝගීන් මතට හෙළීමට උත්සාහ කිරීම අතිශය අසාධාරණය.
ව්‍යුහාත්මක බදු පටලැවිල්ල සහ නිවැරදි විසඳුම
දේශීය ඖෂධ නිෂ්පාදනයෙන් 96%ක්ම රජයේ රෝහල් පද්ධතිය හරහා අලෙවි වන අතර පුද්ගලික වෙළඳපොළ පංගුව 5%ක් තරම් කුඩා අගයකි. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ නිමි ඖෂධ බදුවලින් නිදහස් කර තිබියදී, දේශීය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී 18%ක VAT, 5%ක PAL සහ 2.5%ක SSCL වැනි අධික බදු පැනවීමයි. රජය කළ යුත්තේ ඖෂධවල මිල ඉහළ දමා රාජ්‍ය මුදල් අනවශ්‍ය ලෙස නිෂ්පාදකයන් වෙත ගැලීමට සැලැස්වීම නොව, අමුද්‍රව්‍ය මත පනවා ඇති අසාධාරණ බදු ඉවත් කර නිෂ්පාදන පිරිවැය සැබෑ ලෙසම පහත හෙළීමයි.
ප්‍රතිපත්තිමය වගකීම
ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදී කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති ඇතුළු බලධාරීන් දේශීය කර්මාන්ත නගාසිටුවීමේ සංකල්පීය තර්කවලට නතු නොවී, විද්‍යාත්මක පිරිවැය විගණනයක් මත පදනම්ව කටයුතු කළ යුතුය.
දේශීය නිෂ්පාදකයන් සාධාරණ මිලකට ඖෂධ සැපයීමට අපොහොසත් වන්නේ නම්, ඒ සඳහා යටත් නොවී ජාත්‍යන්තර වෙළඳපොළෙන් අඩු මුදලට තත්ත්වයෙන් උසස් ඖෂධ ආනයනය කර අසරණ රෝගීන්ට සහන සැලසීමට රජය පියවර ගත යුතුය. මහජන සෞඛ්‍යය යනු වෙළඳ ලාභ උපයන මෙවලමක් නොවන බව වටහාගෙන කටයුතු කිරීම පවතින රජයේ පරම වගකීම වේ.
# සමාරා පරණවිතාන

