ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය දැඩි කම්පනයකට ලක් කරමින්, ඇමරිකානු ඩොලර්
බිලියනයකට ආසන්න (රුපියල් බිලියන 340ක්) අතිවිශාල ප්‍රාග්ධනයක් ව්‍යාජ ආනයන හරහා නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත පිටමන් කිරීමේ සංවිධානාත්මක ජාවාරමකට සෘජුවම සහාය දුන් ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 අගෝස්තු 17 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර, අදාළ කළමනාකරුවන් සිව්දෙනාම ඔවුන් සේවය කළ පෞද්ගලික බැංකු පරිශ්‍රයන් තුළදීම අත්අඩංගුවට පත්වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා බැංකු ඉතිහාසය තුළ මෙවැනි ඉහළ පෙළේ විධායක නිලධාරීන් පිරිසක් තම සේවා ස්ථානයේදීම අත්අඩංගුවට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව පොලිසිය තහවුරු කරයි.
සතිපතා අල්ලස් සහ ලක්ෂ 10ක තනි ගෙවීම
මෙම ජාවාරම හුදෙක් පද්ධතිමය අතපසුවීමක් නොව, ක්‍රමානුකූල අල්ලස් ජාලයක් හරහා බැංකු නිලධාරීන් මිලදී ගෙන සිදු කරන ලද්දක් බව විමර්ශනවලදී තහවුරු වී ඇත. ජාවාරමේ ප්‍රධාන මොළකරු විසින් ටෙලිග්‍රැෆික් මුදල් හුවමාරු (TT) සහ වෙළෙඳ මූල්‍ය අනුමත කිරීම වෙනුවෙන් මෙම නිලධාරීන්ට අඛණ්ඩව සතිපතා මුදල් ගෙවා තිබේ. එක් එක් නිලධාරියාගේ මැදිහත්වීම මත සතියකට රුපියල් 30,000, 50,000 සහ රුපියල් 100,000 බැගින් මුදල් ලබා දී ඇති අතර, ඉන් එක් බැංකු කළමනාකරුවෙකුට එක් නිශ්චිත අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ක (රුපියල් මිලියනයක) විශාල මුදලක් එකවර ලබා දී ඇති බවද හෙළි වී ඇත.
ව්‍යාජ සමාගම් 105ක් සහ TT 26,108ක දැවැන්ත ජාලය
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රථම වරට හෙළි කළ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු සමස්ත ණය මුදලින් තුනෙන් එකකට (1/3) සමාන වන මෙම ඩොලර් බිලියනයේ ප්‍රාග්ධන පලායාම සිදුව ඇත්තේ "ව්‍යාජ ආනයන" (Phantom Imports) ජාලයක් හරහාය.
කිසිදු භෞතික ව්‍යාපාරික පැවැත්මක් නොමැති ව්‍යාජ සමාගම් (Shell Companies) 105ක් හරහා වාණිජ බැංකු 13ක් තුළ ගිණුම් 227ක් විවෘත කර ඇත. දෘඪාංග, නානකාමර උපාංග සහ රන් ආභරණ ගෙන්වන මුවාවෙන් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) 26,108ක් නිකුත් කර අත්තිකාරම් ලෙස විදේශයන් වෙත යවා තිබේ. දින 180ක් ඇතුළත භාණ්ඩ රේගුව හරහා නොපැමිණියහොත් ඒ බව මහ බැංකුවට දැනුම් දීමේ නීතිමය යාන්ත්‍රණය අල්ලස් ගත් බැංකු කළමනාකරුවන් විසින් හිතාමතාම අඩපණ කර ඇත.
ප්‍රධාන සැකකරු, 'හවුස් ඔෆ් ෆැෂන්' සහ මත්ද්‍රව්‍ය කළු සල්ලි
මෙම දැවැන්ත ජාලය මෙහෙයවූ කොළඹ කොටුවේ 'ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්' (A.Y. Investment) ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි ජෙෆ්රි මොහොමඩ් නමැත්තා රහස් පොලිසිය විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඔහු සතුව තිබී වාහන 08ක්, රුපියල් කෝටි 20ක සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රත්තරන් තොගයක් විමර්ශකයන් භාරයට ගෙන තිබේ.
CID ය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති පරිදි, කොළඹ ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයක් වන 'හවුස් ඔෆ් ෆැෂන් මෝල්' (House of Fashion Mall) ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම් 21ක් මෙම මූල්‍ය විශුද්ධිකරණ ජාලය සමග සෘජු මූල්‍ය සබඳතා පවත්වා ඇත. ජාලයට සම්බන්ධ 'Next Gen' සමාගමකින් පමණක් ඩොලර් මිලියන 42.7ක් රටවල් 26ක පිහිටි විදේශ සමාගම් 256කට යවා තිබේ.
වඩාත් බරපතල කරුණ වන්නේ මෙය "සේවාවක් ලෙස විශුද්ධිකරණය" සැපයීමක් බවට පත්ව තිබීමයි. දිවුලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් මෙන්ම, NDB බැංකුවේ සිදු වූ බව කියන රුපියල් බිලියන 13ක මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළ මුදල්ද මෙම A.Y. Investments ගිණුම් ජාලය හරහා විදේශගත කිරීමට උත්සාහ කර ඇති බව හෙළි වී ඇත.
ඩිජිටල් බිඳවැටීම සහ නව නීතිය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම
මෙම වංචාව වසර ගණනාවක් ක්‍රියාත්මක වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ ASYCUDA දත්ත පද්ධතිය සහ වාණිජ බැංකු පද්ධති අතර තත්‍ය කාලීන ඩිජිටල් සම්බන්ධතාවක් නොමැති වීම බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (CoPF) තහවුරු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යෝජනා කළ බහු-ආයතනික පරීක්ෂණයට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිය පූර්ණ එකඟතාවය පළ කළේය.
මේ වන විට 2025 'අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනත' යටතේ මෙම විමර්ශන ක්‍රියාත්මක වන අතර, මුදල් යවන ලද්දේ නීත්‍යානුකූල ව්‍යාපාර සඳහා බව ඔප්පු කිරීමේ භාරය දැන් පැවරී ඇත්තේ විත්තිකරුවන්ටය. සාක්ෂි සැඟවීමේ සහ විමර්ශනවලට බාධා කිරීමේ අවදානම මත සැකකාර ජෙෆ්රි මොහොමඩ්ගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් FCID ය වැඩිදුර විමර්ශන සිදු කරයි.

