නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතු ඉහළම පුටුවල සිටින නිලධාරීන්ට එරෙහිව දූෂණ
චෝදනා එල්ල වීම ඕනෑම රටක බරපතළ ඛේදවාචකයකි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මෑතකදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස 'ජාතික වෘත්තීය සමිති සහ සිවිල් පෙරමුණ' විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් දැඩිව ඉල්ලා සිටීම, මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ.
වෘත්තීය සමිති විශේෂඥ සහ සමාජ ක්‍රියාකාරික වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රෝහිණි කවිරත්න, දයාසිරි ජයසේකර සහ අජිත් පී. පෙරේරා යන අය විසින් පාර්ලිමේන්තුවේදී මතු කරන ලද මෙම චෝදනා කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවයි. විනිවිදභාවයෙන් යුතු පාලනයක් අපේක්ෂා කරන සමාජයක් තුළ, මෙවැනි චෝදනා යටපත් කිරීමට ඉඩ දිය නොහැක.
මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර ඇත. අගවිනිසුරුවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇත්දැයි සෙවීම මෙන්ම, සමස්ත රටටම බලපෑ 'එක්ස්ප්‍රස් පර්ල්' (X-Press Pearl) නෞකා අනතුරෙන් සිදු වූ දැවැන්ත පාරිසරික හානිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු වන්දියේ මූලික ගෙවීම වූ ඇමරිකන් ඩොලර් බිලියනයේ මුදල ලබාගැනීම ප්‍රමාද කිරීම පිටුපස ඇති හස්තයන් පිළිබඳව ද අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තීන්දු ලබාදී තිබූ මූලික ගෙවීම ලෙස ඩොලර් බිලියනයක මුදලත්, අනතුරුව ඉදිරියේදී තවත් අමෙරිකන් ඩොලර් බිලියන පහකට අධික මුදලක් ගැනත් දැන් කියැවෙන්නේ නැති තරම්ය. පාර්ලිමේන්තුවේ පවා කියැවෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියනයක වන්දිය ගැන පමණි.
මීට අමතරව, කන්ටේනර් වංචා, ගල් අඟුරු සහ මහා භාණ්ඩාගාරය ආශ්‍රිත වංචා මෙන්ම කතානායකවරයාට සහ වත්මන් ජනාධිපති ලේකම්වරයාට එරෙහිව මීට පෙර එල්ල වූ චෝදනා පිළිබඳව ද වහාම විමර්ශනය කළ යුතු බව අදාළ සංවිධානය අවධාරණය කරයි. මේවා හුදෙක් දේශපාලන සටන් පාඨ නොවී, මෙහි නෛතික ප්‍රගතිය නොපමාව අධිකරණයට වාර්තා කිරීම අල්ලස් කොමිසම ඇතුළු බලධාරීන්ගේ වගකීමකි.
එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් රටට අහිමි වූ වන්දි මුදල් නැවත අයකර ගැනීමට බලධාරීන් ප්‍රායෝගික පියවර ගත යුතු බව සමාජ ක්‍රියාකාරී අචල දිවාකර ද මෙහිදී පෙන්වා දී තිබේ. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ නම්, එම චෝදනා හුදෙක් නිෂ්ප්‍රභ කිරීමෙන් පමණක් ගැටලුව විසඳෙන්නේ නැත.
රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයන් වුවද නීතියට ඉහළින් සිටිය නොහැක. මෙම චෝදනා සත්‍ය ද, අසත්‍ය ද යන්න තහවුරු කර ගැනීම සඳහා ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් අත්‍යවශ්‍ය වේ. ජනතා මුදල් සහ රටේ සම්පත් සුරැකීම වෙනුවෙන් වහාම සත්‍ය හෙළිදරව් කර, ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒම රජයේ නොපිරිහෙළා ඉටුකළ යුතු යුතුකමකි. සමාජ ක්‍රියාකාරීන්ගේ සහ පුරවැසියන්ගේ මෙම හඬ, යහපාලනයේ සහ සාධාරණත්වයේ අනාගතය තීරණය කරනු ඇත.
පුවත් මූලාශ්‍රය - ඩේලි මිරර්

