SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විධායකය සහ අධිකරණය අතර පවතින බල අරගලය ලාංකීය දේශපාලන ව්‍යුහය තුළ කිසිසේත්ම

අලුත් මාතෘකාවක් නොවේ. යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය හුදු පරිපාලනමය වෙනසක් ද නොවේ. එය ව්‍යවස්ථාදායක යාන්ත්‍රණය සහ අධිකරණයේ ස්වාධීනත්වය අතර පවතින තුලනය බිඳදමන බරපතල කාරණාවක් ලෙස නීති ප්‍රජාව දකින්නේ ප්‍රබල ඓතිහාසික සහ නෛතික කරුණු පදනම් කරගෙනය.

 

 

 

ලංකා දේශපාලන ඉතිහාසය පිරික්සීමේදී මීටත් වඩා අතිශය දරුණු ලෙස අධිකරණයට සෘජුව බලපෑම් කළ අවස්ථා ඕනෑතරම් හමුවේ. ජේ. ආර්. ජයවර්ධන යුගයේදී නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය, චන්ද්‍රිකා යුගයේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා මාර්ක් ප්‍රනාන්දු වැනි විනිසුරුවන් මඟහරිමින් සරත් එන්. සිල්වා පත් කිරීම මෙන්ම, මහින්ද රාජපක්ෂ යුගයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එල්ල කළ නින්දිත දෝෂාභියෝගය ඒ අතර ප්‍රමුඛය.

 

 

පුදුමයට කරුණ නම්, එදා එම දේශපාලනික මැදිහත්වීම් වලට සෘජුව හෝ වක්‍රව සහාය දුන් සහ අනුබල දුන් දේශපාලඥයින් අදටත් ඊනියා අධිකරණ ස්වාධීනත්වයේ නාමයෙන් දේශපාලනයේ රැඳී සිටිමින් වීදි බැසීමයි.

 

 

මිලියන 1.1 කට අධික නඩු කන්දරාව විසඳීමට අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් පද්ධතිය තුළ රඳවා ගැනීම මෙම යෝජනාව පිටුපස ඇති රජයේ මතුපිට තර්කයයි. එහෙත් නීතියේ ආධිපත්‍යය සුරැකීමට බැඳී සිටින නීතීඥ ප්‍රජාවට (BASL) සහ පහළ අධිකරණ විනිසුරුවරුන්ට (JSA) ඇත්තේ ඊට වඩා පුළුල් වෘත්තීයමය ගැටලුවකි. වසර 50ක් තිස්සේ පැවති ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දේශපාලන අවශ්‍යතා මත හිටිහැටියේ වෙනස් කිරීම ව්‍යවස්ථාවේ පූජනීයත්වය කෙලෙසීමකි. අනෙක් අතට, ඉහළ අධිකරණවල දැනට පවතින පුරප්පාඩු හෝ නොපුරවා විශ්‍රාම වයස පමණක් දිගු කිරීමෙන් කනිෂ්ඨ විනිසුරුවරුන්ගේ උසස්වීම් අහිමි වී සමස්ත පද්ධතියම අභ්‍යන්තරයෙන් බිඳ වැටෙන බව ඔවුන්ගේ තර්කයයි.

 

 

කෙසේ වෙතත්, මේ මොහොතේ රජයේ යෝජනාවට එරෙහිව මොරදෙන විපක්ෂයේ දේශපාලන කඳවුරේ සැබෑ උවමනාව කිසිසේත්ම අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම නොවේ. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කණ්ඩායම නියෝජනය කරන්නේ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත මේ වන විටත් අධිකරණය හමුවේ 'ඇපපිට හෝ සැකපිට' සිටින දේශපාලනඥයින්ගේ ජාලයකි. මෙම ඊනියා විරෝධයේ හදවත ගැහෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නෛතික ආරක්ෂාව වෙනුවෙනි.

 

 

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවතින රුපියල් මිලියන 16.6 ක මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර අවසන්ය. කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් කොතරම් දැඩි නියෝග ආවත් වත්මන් නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීම ප්‍රමාද කරමින් සිටින්නේ සුවිශේෂී උපායමාර්ගයක් මත පිහිටාය. එනම්, බාහිර බලපෑම්වලට නතු නොවන, දැඩි ස්වාධීනත්වයක් සහිත වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  2026 දෙසැම්බර් මස සාමාන්‍ය පරිදි විශ්‍රාම යන තුරු නෛතික ක්‍රියාවලිය ඇදගෙන යාමයි.

 

 

අගවිනිසුරු සූරසේන ධුර කාලය තුළ රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් (Trial-at-Bar) පත්කෙරුණහොත්, ඊට අතිශය අපක්ෂපාතී සහ දැඩි විනිසුරුවරුන් පත්කරනු ඇතැයි මෙම දේශපාලන කඳවුර මැනවින් දනී. ආණ්ඩුවේ 22 වන සංශෝධනය හරහා විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කළහොත්, අගවිනිසුරුවරයාගේ ධුර කාලය තවත් වසර දෙකකින් (2028 දක්වා) අනිවාර්යයෙන්ම දිගු වේ. එයින් සිදුවන්නේ කල් මරමින් සිටින නීතිපතිගේ උප්පරවැට්ටිය හමාර වී, රනිල් වික්‍රමසිංහ ට දැඩි නෛතික අවදානමකට මුහුණ දීමට සිදුවීමයි.

 

 

ජනමත විචාරණයක් ඉල්ලමින් ද, "Nemo iudex in causa sua" (කිසිවෙකුට තමන්ගේම නඩුවේ විනිසුරු විය නොහැක) වැනි උසස් නෛතික න්‍යායන් අවභාවිත කරමින් ද විපක්ෂය මේ ගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සටනක් නොවේ. එය පිරිසිදු ලෙසම වත්මන් අගවිනිසුරුවරයා කෙසේ හෝ නියමිත දිනට විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන යන දේශපාලන මෙහෙයුමකි.

 

 

ව්‍යවස්ථාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය දරන උත්සාහය කොතරම් භයානකද, ඊට නොදෙවෙනි ලෙස තමන්ගේ නෛතික ගැලවීම සඳහා "අධිකරණ ස්වාධීනත්වය" ජනතා පලිහක් කරගන්නා 'ඇපපිට' කඳවුරේ කුහකත්වය ද මෙරට නීතියේ ආධිපත්‍යයට එල්ල කරන්නේ මරු පහරකි.

 

නවතම ලිපි