SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යනු හුදෙක් ආර්ථික අංශයක් පමණක් නොව, එය මෙරට

දේශපාලන බලය සහ සමාජ ස්ථාවරත්වය තීරණය කරන ප්‍රබලතම සාධකයකි. නමුත් දශක ගණනාවක් තිස්සේ පොහොර ප්‍රසම්පාදනය යනු දේශපාලඥයින්, අකාර්යක්ෂම නිලධාරීන් සහ පෞද්ගලික ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් මාෆියාවක රන් ආකරයක් බවට පත්ව ඇත.

 

 

පසුගියදා ජාතික ගොවි සම්මේලනයේ සම්බන්ධීකාරක නිමල් වට්ටුහේන විසින් අල්ලස් කොමිසම වෙත ගොනු කර ඇති රුපියල් බිලියන 1.867 ක දැවැන්ත මූල්‍ය වංචාව, එම දූෂිත පද්ධතියේ නවතම සහ බරපතලම අනාවරණයයි.

 

 

මෙම අර්බුදයේ මූලික යාන්ත්‍රණය ක්‍රියාත්මක වී ඇත්තේ පූර්ව එකඟතාවයන් අත්තනෝමතික ලෙස උල්ලංඝනය කිරීම හරහාය. 2026 මාර්තු 17 වැනිදා කෘෂිකර්ම බලධාරීන් සහ පෞද්ගලික ආනයනකරුවන් අතර ඇතිකරගත් එකඟතාවය වූයේ යූරියා මෙට්‍රික් ටොන් 101,000 ක්, ටොන් එකක් රුපියල් 9,500 බැගින් වූ ස්ථාවර මිලකට ගොවීන්ට සැපයීමයි. නමුත් ප්‍රායෝගිකව සැපයුණේ ඉන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් වන ටොන් 46,566 ක් පමණි. එපමණක් නොව, එම සීමිත ප්‍රමාණය ද සපයා ඇත්තේ එකඟ වූ මිලට නොව රුපියල් 10,200 ක වැඩි මිලකටය.

 

මෙහි ඇති බරපතලම අපරාධය වන්නේ, හිඟ වූ පොහොර ප්‍රමාණය පියවා ගැනීම සඳහා රජය විසින් අතිරේක යූරියා ටොන් 16,000 ක් ඊටත් වඩා ඉහළ මිලකට හදිසි මිලදී ගැනීම් (Spot Purchases) ලෙස ලබා ගැනීමට කටයුතු කිරීමයි. වෙළඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් මවාපා, රජය සිරකර, වැඩි මිලට පොහොර විකිණීමේ මෙම පෞද්ගලික ඒකාධිකාරී උපක්‍රමය හේතුවෙන් මහජන භාණ්ඩාගාරයට අහිමි වූ මුදල රුපියල් බිලියන 1.867 කි.

 

 

ඇමති ලාල් මොකද කළේ?

මෙම ගනුදෙනුවේදී වඩාත් ප්‍රබල දේශපාලන ප්‍රශ්නාර්ථය එල්ල වන්නේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ගේ මැදිහත්වීම කෙරෙහිය.

 

 

ජුනි 18 වන දින ඔහු විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ සංදේශය හරහා, මුලින් රු. 9,250 ට සැපයීමට අපේක්ෂා කළ පොහොර, අවසානයේ පෞද්ගලික සැපයුම්කරුවන්ට බෙහෙවින් වාසිදායක වන ලෙස ඉහළ මිලකට ලබා ගැනීමට කටයුතු කළේ කෙසේද යන්න බරපතල ලෙස විමර්ශනය විය යුත්තකි. රාජ්‍ය ප්‍රසම්පාදන යාන්ත්‍රණය සහ කැබිනට් මණ්ඩල අනුමැතිය මහජන මුදල් කොල්ලකෑමේ නෛතික පලිහක් කරගත්තේද යන්න මෙහිදී මතු වන ප්‍රධානතම සැකයයි.

 

 

මෙම තත්ත්වය අපට නැවත සිහිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සමයේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ කාලයේ සිදුවූ චීන කාබනික පොහොර අර්බුදයයි.

 

 

ප්‍රමිතියෙන් තොර, පසට හානිකර පොහොර නැවකට ඩොලර් මිලියන 6.7 ක වන්දියක් ගෙවීමට සිදුවූ එම අපරාධයේත්, වත්මන් බිලියන 1.8 ක අර්බුදයේත් වෙනසක් නැත. චරිත වෙනස් වුවද, රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලන බලපෑම් මත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුරු භාවිතා කරමින් මහජන මුදල් ගසාකෑමේ දූෂිත පද්ධතිය තවමත් නොවෙනස්ව පවතී.

 

 

මේ අතර, පොහොර ආනයනය නියාමනය කළ යුතු ජාතික පොහොර ලේකම් කාර්යාලය (NFS) මෙම වංචාවන් හමුවේ සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇත. රජය විසින් පෞද්ගලික සමාගම්වලට ගෙවිය යුතු රුපියල් බිලියන 4.8 ක හිඟ මුදලක් පවතින බව පවසමින්, ආනයනකරුවන්ගේ ද්‍රවශීලතා ගැටලු පිටින් දමා මේ සමස්ත වෙළඳපල හසුරුවීම සාධාරණීකරණය කිරීමට බලධාරීන් උත්සාහ කරමින් සිටී. මෙය හුදු පරිපාලන දුර්වලතාවයක් නොව, සැලසුම් සහගතව නිර්මාණය කළ අරාජිකත්වයකි.

 

 

ගොවියාගේ හිස මතටම පොහොර කොල්ලයේ පාඩුවත් පතිත වීම

මේ සියලු දූෂිත ක්‍රියාවලීන්හි අවසන් වින්දිතයා බවට පත්ව ඇත්තේ මෙරට ගොවියාය. පෞද්ගලික අංශය විසින් ඉහළ මිලට පොහොර සැපයීම හේතුවෙන් අද වන විට වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 12.50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

 

රජය වී සඳහා සහතික මිලක් නියම කරමින් 30% ක ලාභයක් ගොවියාට ලබා දෙන බව පැවසුවද, යථාර්ථයේදී වැඩි මිලට පොහොර මිලදී ගැනීමට සිදුවීම නිසා ඒ ලාභය ගොවියාට කිසිදා හිමිවන්නේ නැත. ගොවියාට සිදු වන්නේ පෞද්ගලික මෝල් හිමියන්ගේ ඒකාධිකාරියට අඩු මිලට අස්වැන්න විකුණා දැමීමටය.

 

 

පොදු අපේක්ෂයෙක්ට සුපිරි අවස්ථාවක්!

ලෝක බැංකුව වැනි ආයතන STEP මාර්ගගත පද්ධතිය හරහා කොතරම් දැඩි ප්‍රසම්පාදන නීති ගෙන ආවත්, දේශීය පාලන යාන්ත්‍රණය දේශපාලනීකරණය වී ඇත්නම් ඉන් පලක් නැත.අනෙක් අතට ලාංකීය ගොවි ප්‍රශ්නය යනු ආණ්ඩු ගෙදර යවන සහ නායකයින් නිර්මාණය කෙරෙන බලගතු කොන්දේසියකි. 

 

 

දැන් අල්ලස් කොමිසමට කළ හැක්කේ එකම දෙයකි. ඒ, 2023 අංක 09 දරණ නව දූෂණ විරෝධී පනතේ ඇති දැඩි බලතල අපක්ෂපාතීව භාවිතා කිරීමයි. අහිමි කළ මුදල මෙන් තුන් ගුණයක් රාජසන්තක කිරීමේ සහ ඇප නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නීතිය වගකිවයුතු දේශපාලඥයින්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව ක්‍රියාත්මක කළ යුතුය.

 

 

එක්කෝ කළ හැක්කේ වෙළඳපල විකෘති කරන මෙම භෞතික පොහොර බෙදාහැරීමේ ක්‍රමය මුළුමනින්ම ඉවත් කර, ගොවියාගේ බැංකු ගිණුමට සෘජුවම මූල්‍ය සහනාධාර ලබා දෙන විනිවිදභාවයෙන් යුත් ඩිජිටල් ක්‍රමවේදයකට යාමය. එවිට ගොවිජන සේවා හැකිතරම් අඩුකර අතිරික්ත සේවකයින්ව ගෙදර යවන්නටද හැකියාවක් ඇත. එසේ නොමැති නම්, කෘෂිකර්මාන්තය යනු ගොවියා බිල්ලට දී බලයේ සිටින කිහිපදෙනෙකුගේ සාක්කු පුරවන තවත් එක් ව්‍යාපෘතියක් පමණක් වනු ඇත.

 

 

 

නවතම ලිපි