SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පූර්ව සටහන

 

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආර්ථික සහ පරිපාලන දේහයට සම්පූර්ණයෙන්ම බාහිරින් ස්ථාපිත කර ඇති

කොළඹ වරාය නගරය (Colombo Port City) යනු හුදු භෞතික වැලි ගොඩකිරීමක් පමණක් නොවේ. එය 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මඟින් මෙරට සාමාන්‍ය නීති රාමුවෙන්, රාජ්‍ය පරිපාලන ව්‍යුහයෙන් සහ සුපුරුදු දේශීය ආර්ථික යාන්ත්‍රණයෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත කළ සුවිශේෂී ස්වයං-පාලන බලතල සහිත කලාපයකි.

 

 

මෙහි ඇති වැදගත්ම ව්‍යුහාත්මක ලක්ෂණය වන්නේ, සාමාන්‍ය රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන නියාමනය වන කළමනාකරණ සේවා චක්‍රලේඛ (Management Services Circulars) හෝ සාම්ප්‍රදායික රෙගුලාසි වරාය නගර පරිපාලනයට කිසිසේත්ම බලනොපෑමයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ වැටුප්, වේතන සහ සේවා කොන්දේසි තීරණය කිරීමේ පූර්ණ, ඒකාධිකාරී බලය නීතියෙන්ම හිමිව ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවටමය. විශේෂ පනත් මඟින් ස්ථාපිත ඇතැම් රාජ්‍ය අධිකාරීන් සහ ව්‍යවස්ථාපිත ආයතන ද සාමාන්‍ය රාජ්‍ය සේවා රෙගුලාසිවලින් බැහැරව මෙවැනි ස්වාධීන පාලන ක්‍රියාවලීන් පවත්වාගෙන යාම ලංකාවට අලුත් දෙයක් නොවන මුත්, වරාය නගරය තුළ ක්‍රියාත්මක වන මෙම ‘ඩොලර් පාරාදීස’ ව්‍යුහය සහ එහි විනිවිදභාවය වර්තමාන දැඩි ආර්ථික අර්බුදය හමුවේ සමාජ-දේශපාලන විවේචනයට ලක්වෙමින් පවතී.

 

සාමාන්‍ය රාජ්‍ය සේවයේ ඉහළම තනතුරුවලට පවා සීමිත වැටුප් පරිමාණයන් පවතින පසුබිමක, වරාය නගර කොමිසමේ නිලධාරීන් ලබන රුපියල් ලක්ෂ ගණනක අධික වැටුප් සහ පොරොන්දු වූ ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජනවල සැබෑ තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව දැන් පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රශ්න කෙරෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් විසින් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඍජුවම ප්‍රශ්න කර සිටි, වරාය නගරයේ මූල්‍ය වගවීම සහ මහජන ප්‍රතිලාභ පිළිබඳ ඔහු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න කාලීන දේශපාලන සංවාදයට අතිශය වැදගත් වන්නකි.

 

 

Questions surrounding the Port City of Colombo - Features | Daily Mirror

ලක්ෂ ගණන් පඩි ගන්නා කොමිසම කෝප් කමිටුවට කැඳවන්න - ශානකියන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

 

කොළඹ වරාය නගර (Port City) ව්‍යාපෘතිය හරහා මෙරටට ලැබී ඇති සැබෑ ආයෝජන, අදාළ සමාගම්වල මූල්‍ය විනිවිදභාවය සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ නිලධාරීන්ට ගෙවන අධික වැටුප් සම්බන්ධයෙන් රජය වහාම රටට හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

 

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙත ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රශ්නාවලියක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, වරාය නගරය හරහා ඩොලර් බිලියන 15ක ආයෝජන සහ රැකියා 80,000ක් ලබා දෙන බවට මූලිකව පොරොන්දු වුවද, අද වන විට රැකියා නොමැතිකම හේතුවෙන් මෙරට තරුණ පරපුර වාර්තාගත ලෙස රට හැර යමින් සිටින බවයි.

 

විශේෂ ආර්ථික කලාපයේ වෙළඳපොළකරණය කළ හැකි හෙක්ටයාර 178න් (අක්කර 440කින්) අක්කර 116ක්ම වසර 99ක බදු පදනම මත චීන රජය සතු සමාගමක අනුබද්ධිත ආයතනයක් වන "CHEC Port City Colombo Private Limited" වෙත පවරා දී ඇති බවත්, ඔවුන් එම ඉඩම් අලෙවි කරමින් ආදායම් ලබන බවත් ඔහු කියා සිටියේය.

 

Govt. gazettes Colombo Port City investment incentives | Daily FT

 

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් පහත ප්‍රශ්න 05 ඍජුවම විමසා සිටියේය.

 

බදු දුන් ඉඩම්වල වර්තමාන තත්ත්වය

චීන සමාගමට බදු දී ඇති අක්කර 116න් මේ වන විට තෙවන පාර්ශවයන් වෙත උප-බදු (Sub-lease) දී ඇති හෝ පවරා ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද?


එම ආයෝජකයින්, ඔවුන් අයත් රටවල්, බදු කාලසීමාවන් සහ ලාංකික සමාගම්වලට හිමිව ඇති ඉඩම් ප්‍රතිශතය ඇතුළත් වාර්තාවක් සභාගත කරන්නේද?

 

රජයේ ආදායම පිළිබඳ සංසන්දනය

මෙතෙක් වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජය උපයා ඇති සමස්ත ආදායම කොපමණද?
එය අදාළ චීන සමාගම (CHEC) විසින් උපයා ඇති ආදායම සමඟ සසඳන විට කෙබඳුද?

 

සෘජු විදේශ ආයෝජන (FDI) වල සත්‍ය දත්ත

පසුගිය වසර 05 තුළ වරාය නගරය වෙත සැබවින්ම ලැබී ඇති විදේශීය ආයෝජන ප්‍රමාණය ඩොලර්වලින් කොපමණද?


ඊට සාපේක්ෂව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා ලැබී ඇති ආයෝජන ප්‍රමාණය කොපමණද?

 

රැකියා උත්පාදනයේ සත්‍යතාව

මේ වන විට වරාය නගරය තුළ සේවය කරන මුළු සේවකයින් සංඛ්‍යාව කොපමණද?


එයින් ශ්‍රී ලාංකිකයින්, වයස අවුරුදු 35ට අඩු තරුණයින් සහ විදේශීය සේවකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද?

 

කොමිසමේ නඩත්තු වියදම්

පසුගිය වසර 05 සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ (CPCEC) සමස්ත වියදම් (වැටුප්, දීමනා සහ ප්‍රාග්ධන වියදම්) කොපමණද?

 

 

චීන කොලනියක් සහ ලක්ෂ ගණන් පඩි ලබන නිලධාරීන්

 

May be an image of dais and text

 

2021 අප්‍රේල් මාසයේදී වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ගෙන ආ අවස්ථාවේදී වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස එයට විරුද්ධ වූ බවත්, එය "චීන කොලනියක්" වනු ඇති බවට එදා ඔවුන් අනතුරු ඇඟවූ බවත් රාසමාණික්කම් මන්ත්‍රීවරයා සිහිපත් කළේය. එදා වසන්ත සමරසිංහ ඊට එරෙහිව අධිකරණයට පවා ගිය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

රාජ්‍ය සේවයේ වැදගත් තනතුරුවලට රුපියල් 60,000ක පමණ වැටුපකට නිලධාරීන් බඳවා ගැනීමේ අපහසුතා පවතින පසුබිමක, වරාය නගර කොමිසමේ ඇතැම් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 10ත් 12ත් අතර මාසික වැටුප් ගෙවන බව ඔහු අනාවරණය කළේය. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් වඩා වැඩි වැටුපක් ලබන මෙම නිලධාරීන්ගෙන් රටට ලැබුණු සැබෑ ප්‍රතිලාභය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

 

අද වන විට වරාය නගරයේ සිදුවන්නේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ උදෑසන ගොස් එහි වැලි කඳු මත බගී (Buggy) රථ පැදවීම පමණක් යැයි උපහාසාත්මකව සඳහන් කළ මන්ත්‍රීවරයා, මහජනතාවට ඉන් කිසිදු සෙතක් අත් වී නොමැති බව අවධාරණය කළේය.

 

මහජන මුදල් මෙලෙස නාස්ති වීම වැළැක්වීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව වහාම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට (COPF) හෝ කෝප් කමිටුවට (COPE) කැඳවා දැඩි විමර්ශනයක් සිදු කළ යුතු බව ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

 

මෙම ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, මතු කරන ලද කාලීන හා වැදගත් ප්‍රශ්න සඳහා අවශ්‍ය සවිස්තරාත්මක දත්ත වහාම සූදානම් කර පිළිතුරු ලබා දීමට කල් ලබා දෙන ලෙසයි.

 

නවතම ලිපි