SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

2016 වසරේදී සිදුවූ රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

ඇතුළු පිරිසකට එරෙහිව දැනට විභාග වන නඩුව සම්බන්ධයෙන්, විත්තියේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මතු කළ කරුණු හරහා මෙය හුදෙක් නීතිය පසිඳලීමකට වඩා සංකීර්ණ පසුබිමක් සහිත ක්‍රියාවලියක් ද යන පැනය සමාජය හමුවේ මතු කර තිබේ.

 

 

මෙම නඩුවේ කාලරාමුව සහ නෛතික පසුබිම සම්බන්ධයෙන් විත්තිය විසින් එහිදී දැඩි ලෙස කරුණු විමසන ලදී.

 

 

2016 වසරේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් දෙවන විත්තිකරු වරද පිළිගෙන 2017 වසරේදී දඩ මුදල්ද ගෙවා අවසන්ව තිබූ පසුබිමක, 2019 වසරේ සිදුවූ දේශපාලන බල පෙරළියත් සමඟ යළිත් වරක් නව පැමිණිල්ලක් මතුවීම සම්බන්ධයෙන් විත්තිය අධිකරණයේදී ප්‍රශ්න කළේය.

 

 

අධිකරණයක ගෞරවය සහ තීන්දුවක සාධාරණත්වය රැඳී පවතින්නේ ඉදිරිපත් වන සාක්ෂිවල විශ්වාසනීයත්වය මත වන අතර, පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවකු අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිවල බරපතළ පරස්පරතා පවතින බව විත්තියේ නීතිඥවරුන් විසින් පෙන්වා දෙන ලදී. තමන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා යැයි මුලින් පැවසූ සාක්ෂිකරු, පසුව තමන් සූපවේදියෙකු බව පිළිගැනීම ඊට නිදසුනක් ලෙස ඔවුහු මතු කළහ.

 

මෙම සාක්ෂි දීමේදී අධිකරණයේදී මතු වූ සංවාද මඟින් සාක්ෂිකරුගේ එම පරස්පරතාවන් මනාව පිළිඹිබු වූ බව නිරීක්ෂණය විය. හෘදයාබාධයක් ඇති නිසා සෙමින් ඇවිදින බව කියූ සාක්ෂිකරුගෙන්, ඔහු සමඟ සිටි අල්විස් ද වට තුනහමාරක් එලෙසම සෙමින් ඇවිද්දේ ඔහුටත් එවැනිම රෝගයක් තිබූ නිසාදැයි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විමසූ විට සාක්ෂිකරුට සිනහවක් මතු වූ අතර, එහිදී මෙවැනි දෙබසක් නිර්මාණය විය.

 

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න:-
“ඔබ කියන දේවල්වලට ඔබටත් හිනා නේද? ... මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කිරීම සිදු කළේ ඔබද?”
(එයට සාක්ෂිකරුගෙන් පැහැදිලි පිළිතුරක් අධිකරණයේදී නොලැබිණි.)

 

 

මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවටත්, දේශපාලන පළිගැනීම් සඳහා සාමාන්‍ය පුරවැසියන් "ඉත්තන්" ලෙස යොදාගෙන ඇති බවටත් විත්තිය විසින් අධිකරණය හමුවේ තර්ක කරන ලදී. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ සාක්ෂිකරු අතර ඇති වූ පහත හරස් ප්‍රශ්න ඇසීමේ සංවාදය ඊට පදනම් කරගෙන තිබිණි.

 

 

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න:-
"දෙවන විත්තිකරු වරද පිළිගෙන දඬුවම් ලබා වසර තුනක් ගතවී තිබියදී, ඔබ ඇයි එකපාරටම 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත්වූ පසු මේ ප්‍රශ්නය කරළියට ගෙනාවේ?"

 

සාක්ෂිකරු:-
"එවකට පාඨලී චම්පික ඇමතිවරයෙකු නිසා ජීවිතය ගැන බියක් තිබුණා. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුණෙත් නෑ."

 

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න:-
"මේ සිදුවීමෙන් වසර තුනකට පසු එනම් 2019 වසරේ ඔබ ගෝඨාභය රාජපක්ෂගේ නව ආණ්ඩුව පත්වීමෙන් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම ප්‍රශ්නය යළි යොමු කළේ ඇයි?"

 

සාක්ෂිකරු:-
"ස්වාමීනි, එම අවදියේ මා හට උදව් කළේ උදය ප්‍රභාත් ගම්මන්පිල නිසා, ඔහු සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින මම ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා යොමු වුණා‍..."

 

 

සාක්ෂිකරු තවදුරටත් අධිකරණයේදී කළ පහත ප්‍රකාශය මඟින්, මෙම නඩුවට දේශපාලන මැදිහත්වීමක් පවතින බවට තමන් නඟන තර්කය තවදුරටත් තහවුරු වන බව විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්හ.

 

 

"මට ඒ වෙලාවේ උදවු කළේ ගම්මන්පිල විතරයි, නීතිමය උපදෙස් දුන්නා, මාධ්‍යයට කියන්න කිව්වා.. මම මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ ගම්මන්පිලගේ ඔෆිස් එකේ. මම දන්නවා පළමු විත්තිකරු ගම්මන්පිල එක්ක තරහයි කියලා."

 

 

මීට අමතරව, සාක්ෂිකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් විසින් ලබාදී ඇති බව කියන වාර්තාවක් ද විත්තිය විසින් අධිකරණයේ අවධානයට යොමු කරමින්, පැමිණිල්ලේ සාක්ෂියේ විශ්වාසනීයත්වය ප්‍රශ්න කරනු ලැබීය. මෙවැනි පරස්පරතා සහිත සාක්ෂි මත නඩුවක් පවත්වාගෙන යාම පිළිබඳව විත්තියේ නීතිඥවරුන් එහිදී සිය විරෝධය පළ කර සිටියහ.

 

 

සමස්තයක් ලෙස ගත් කල, විවෘත අධිකරණයේදී වාර්තා වන මෙවැනි කරුණු සහ විත්තිය විසින් නඟනු ලබන තර්ක සමාජය හමුවේ තැබීම මාධ්‍යයේ වගකීමකි. නීතියේ ආධිපත්‍යය දේශපාලන වුවමනාවන් මත හැසිරවිය නොහැකි බවත්, එය දේශපාලන සතුරන් දඩයම් කිරීමේ ආයුධයක් බවට පත් නොවිය යුතු බවටත් විත්තිය විසින් අධිකරණය හමුවේ මතු කරන ලද පුළුල් කතිකාව මෙම නඩු විභාගය හරහා සමාජගත වී තිබේ.

 

නවතම ලිපි