ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහගේ නඩුව මගහරිනවාද?
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය මුල් කරගනිමින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දියත් කළ ආන්දෝලනාත්මක විමර්ශනය මේ වන විට දැඩි ප්‍රශ්න කිරීම් රැසකට ලක්ව තිබේ. රජයේ මුදල් විශාල වශයෙන් වැය කරමින් සිදුකළ මෙම විමර්ශනයේ නීතිමය සහ තාර්කික පදනම පිළිබඳව පමණක් නොව, වත්මන් ආණ්ඩුව මෙම නඩුව හිතාමතාම මඟහරිමින් සිටින්නේද යන බරපතළ සැකයද මේ වන විට දේශපාලන හා නීති ක්ෂේත්‍ර තුළ නිර්මාණය වී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයට අදාළ වියදම් සහ කරුණු සොයා බැලීම සඳහා රහස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියද, එම විමර්ශනය නිසි ඉලක්කයක් කරා ගමන් කර තිබේද යන්න ගැටලුවකි.
විමර්ශනය වැරදි පාරකද?
මෙම විමර්ශන ක්‍රියාවලියේ ඇති වඩාත්ම හාස්‍යජනක කරුණ ලෙස නීති විචාරකයින් පෙන්වා දෙන්නේ, රහස් පොලිසිය අදාළ කරුණු විමසා ඇත්තේ ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයෙන් වීමයි.
වාර්තා වන අන්දමට, රනිල් වික්‍රමසිංහ සිය එංගලන්ත සංචාරය අතරතුර ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය වෙත පය තබා හෝ නැත. එවැනි තත්ත්වයක් තුළ, වික්‍රමසිංහට එරෙහිව පවතින නඩුවකට අදාළ සාක්ෂි, ඔහු නොගිය ස්ථානයකින් සෙවීමට CID නිලධාරීන් කටයුතු කිරීම විමර්ශනයේ වෘත්තීයභාවය පිළිබඳ දැඩි සැකයක් මතු කරයි.
මඟහැරුණු ප්‍රධාන සාක්ෂිකරුවන්
මෙම සංචාරයේ සැබෑ අරමුණ සහ ඊට අදාළ නීතිමය තත්ත්වය නිවැරදිව අනාවරණය කර ගැනීමට නම්, විමර්ශන නිලධාරීන් මූලිකවම ප්‍රශ්න කළ යුතුව තිබුණේ පහත පාර්ශවයන්ගෙනි.
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය (University of Wolverhampton)
හිටපු ජනාධිපතිවරයාට ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා නිල ආරාධනයක් ලැබුණේද නැද්ද යන්න තහවුරු කර ගැනීම.
මහා බ්‍රිතාන්‍ය රජය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස එම සංචාරයේදී ඔහුට බ්‍රිතාන්‍ය රජය විසින් නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් සපයනු ලැබුවේද යන්න තහවුරු කර ගැනීම.
මෙම ප්‍රධාන සහ සෘජු පාර්ශවයන්ගෙන් කරුණු විමසනු වෙනුවට, මෙරට මහජන මුදල් මිලියන ගණනින් වැය කරමින් බ්‍රිතාන්‍යයට ගිය නිලධාරීන් කණ්ඩායම, සිද්ධියට සෘජු සම්බන්ධයක් නැති මහා කොමසාරිස් කාර්යාලය වටා කාලය සහ ධනය නාස්ති කර ඇත.
මාස 5ක් සැඟවූ CID ලන්ඩන් ගමනේ බිල්පත
මෙම නිලධාරීන් පස්දෙනාගේ ලන්ඩන් සංචාරය වෙනුවෙන් මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් කොපමණ ප්‍රමාණයක් වැය වූයේද යන්න දැනගැනීම සඳහා 'තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත' (RTI) යටතේ නිල වශයෙන් ඉල්ලීමක් කර ඇතත්, ඊට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර මේ වන විට මාස පහකට අධික කාලයක් ගතවී ඇතත්, රහස් පොලිසිය හෝ අදාළ බලධාරීන් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීමට අපොහොසත් වී තිබීම පිටුපස ඇත්තේ හුදු නිලධාරීවාදී ප්‍රමාදයක් පමණක්ද යන්න සැක සහිතය.
ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහගේ නඩුව මගහරිනවාද?
මහජන මුදල් නාස්තිය පිළිබඳ තොරතුරු වසන් කිරීමේ මෙම ක්‍රියාවලිය හරහා නැඟෙන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ, වත්මන් ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහගේ නඩුව හිතාමතාම යටපත් කිරීමට උත්සාහ කරන්නේද යන්නයි.
රාජ්‍ය මුදල් අවභාවිතය සහ නාස්තිය පිටුදැකීම ප්‍රධාන දේශපාලන මාතෘකාවක් වී ඇති වත්මන් වටපිටාවක, පූර්ව සැලසුමකින් තොරව සිදුකළ මෙවැනි විමර්ශන චාරිකා සඳහා වැයවූ මහජන මුදල් පිළිබඳ තොරතුරු වසන් කිරීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින බවට චෝදනා එල්ල වේ. අදාළ සාක්ෂි සොයා නිසි ස්ථානවලට නොයාම සහ වියදම් වාර්තා මාස ගණනාවක් තිස්සේ වසන් කිරීම, කිසියම් දේශපාලන එකඟතාවයක හෝ ඩීල් එකක ප්‍රතිඵලයක්ද යන්න සමාජය ප්‍රශ්න කරමින් සිටී.
රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙහෙයවන මෙම විමර්ශනය හුදු දේශපාලන සංදර්ශනයක් පමණක්ද, නැතහොත් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබේද යන්න කඩිනමින් රටට ඔප්පු කර පෙන්විය යුතුව ඇත. එසේ නොමැති නම්, මෙම "ලන්ඩන් මිෂන් එක" තවත් එක් මහජන මුදල් නාස්තියක් ලෙස පමණක් ඉතිහාසයට එක්වනු ඇත.
#සමාරා පරණවිතාන

