SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ ආර්ථික දේහයේ අනාගත හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වා දෙන කොළඹ වරාය නගරය

(Colombo Port City) හුදු භෞතික ගොඩකිරීමක් පමණක් නොවේ. එය සාමාන්‍ය නීති රාමුවෙන්, රාජ්‍ය පරිපාලන ව්‍යුහයෙන් සහ සුලපුරුදු දේශීය ආර්ථික යාන්ත්‍රණයෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වූ වෙනස්ම පාලන තන්ත්‍රයකි. 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මඟින් ඊට ලබා දී ඇති අසීමිත ස්වයං-පාලන බලතල, අතිවිශාල ඩොලර් වැටුප් පරිමාණ සහ තිරය පිටුපස ක්‍රියාත්මක වන ප්‍රබල ව්‍යාපාරික හස්තයන් පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය වී තිබේ.

 

 

මෙම විචාරාත්මක විග්‍රහය, වරාය නගර කොමිෂන් සභාවේ මූල්‍ය පරිපාලනය, සේවක වරප්‍රසාද සහ එහි ඉහළ ස්ථරය මෙහෙයවන බලවේග පිළිබඳ ගැඹුරු කියවීමකි.

 

 

රාජ්‍ය යාන්ත්‍රණයෙන් වියුක්ත වූ පරිපාලන බුබුල

වරාය නගරයේ පරිපාලනයට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රාජ්‍ය අංශයේ හෝ අර්ධ රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වන කළමනාකරණ සේවා චක්‍රලේඛ (Management Services Circulars) කිසිසේත්ම අදාළ නොවේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවා කොන්දේසි, වේතන සහ දීමනා තීරණය කිරීමේ පූර්ණ, ඒකාධිකාරී බලය නීතියෙන්ම හිමිව ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවටමය.

 

 

මෙම අසීමිත බලතලවල භයානකම ප්‍රතිඵලය රාජ්‍ය විගණකාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබුණි. එනම්, 2023 වසර අවසන් වන විටත් මෙම ආයතනයට නිල වශයෙන් අනුමත වූ බඳවා ගැනීමේ පටිපාටියක් (Scheme of Recruitment - SOR) හෝ අනුමත සේවක කැඩරයක් (Approved Cadre) නොතිබීමයි.

 

 

බිලියන ගණනක විදේශ ආයෝජන හැසිරවීමට නියමිත ආයතනයක්, ආරම්භයේ සිටම විධිමත් මානව සම්පත් ව්‍යුහයක් නොමැතිව, කළමනාකාරීත්වයේ අභිමතය මත පදනම්ව සේවකයින් බඳවා ගැනීම යහපාලන මූලධර්මයන්ට එල්ල කරන බරපතළ ප්‍රහාරයකි. දැනට බාහිර මානව සම්පත් විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙය නිවැරදි කිරීමට උත්සාහ ගනිමින් සිටියද, ආයතනික විනිවිදභාවය සම්බන්ධයෙන් මූලික අවධියේදීම විශාල කැළලක් නිර්මාණය වී හමාරය.

 

 

ඩොලර් වැටුප්: රාජ්‍ය සේවය සහ වරාය නගරය අතර දැවැන්ත පරතරය

වරාය නගරය තුළ රැකියා අවස්ථා ප්‍රධාන ධාරා දෙකකට බෙදේ. ඒ කොමිෂන් සභාවේ සෘජු කාර්ය මණ්ඩලය සහ කලාපය තුළ ස්ථාපිත "බලයලත් ව්‍යාපාරික ආයතනවල" (Authorized Persons) සේවකයින් වශයෙනි. මින් දෙවන කාණ්ඩය සඳහා පනතේ 35 වන වගන්තිය යටතේ සම්පූර්ණයෙන්ම වෙනස්, "ඩොලර්කරණය" වූ වැටුප් ව්‍යුහයක් හඳුන්වා දී ඇත.

 

 

සාමාන්‍ය රාජ්‍ය සේවයේ ආරම්භක වෘත්තිකයෙකු මසකට රුපියල් 30,000 ත් 40,000 ත් අතර මූලික වැටුපක් ලබන විට, වරාය නගරය තුළ සේවය කරන සාමාන්‍ය දේශීය වෘත්තිකයෙකුගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 1,000 (රුපියල් 300,000 කට අධික) ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය සාමාන්‍ය රාජ්‍ය සේවයේ වැටුප මෙන් 8 ත් 10 ත් අතර ගුණයක අතිවිශාල පරතරයකි.

 

 

කෙසේ වෙතත්, මෙම වැටුප් මහජන බදු මුදලින් හෝ මහා භාණ්ඩාගාරයෙන් ගෙවන්නක් නොවේ. කොමිෂන් සභාව සිය අභ්‍යන්තර නියාමන සහ සේවා ගාස්තු හරහා උපයා ගන්නා ආදායමෙන් (Commission Fund) සිය කාර්ය මණ්ඩල වැටුප් ගෙවන අතර, ව්‍යාපාරික ආයතනවල සේවකයින්ට ගෙවීම් කරන්නේ අදාළ ආයෝජන සමාගම් විසිනි.

 

එහෙත්, කොමිෂන් සභාවේ ඉහළම නිලධාරීන්ගේ පුද්ගලික වැටුප් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ විමසූ විට, "පුද්ගලිකත්වයේ රහස්‍යභාවය" මත එම තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ, ආයතනය තුළ තවදුරටත් ආවරණය වූ මූල්‍ය කලාප පවතින බවයි.

 

 

පාලන අධිකාරිය තුළ සැඟවුණු ප්‍රබල ව්‍යාපාරික සෙවනැලි

වරාය නගර කොමිසමේ විනිවිදභාවය පිළිබඳ විචාරාත්මක කියවීමකදී එහි පාලන මණ්ඩලයේ සංයුතිය සහ ඔවුන්ගේ බාහිර සබඳතා මඟහැර යා නොහැක. කොමිෂන් සභාවේ වත්මන් සභාපතිවරයා වන්නේ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් වීරක්කොඩි මහතාය. නමුත් වඩාත් බරපතළ අවධානයක් යොමු වන්නේ එහි තීරණ ගැනීමේ ඉහළම මණ්ඩලය නියෝජනය කරන ප්‍රබල කොමසාරිස්වරයෙකු (සාමාජිකයෙකු) වන ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා කෙරෙහිය.

 

හර්ෂ අමරසේකර යනු මෙරට ප්‍රබලතම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ ප්‍රධානතම භූමිකාවක් නිරූපණය කරන අයෙකි. ඔහු ධම්මික පෙරේරාට අයත් Vallibel One, Royal Ceramics ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කරයි. රටේ දැවැන්තම විදේශ ආයෝජන සහ ආර්ථික කලාපය පාලනය කරන නියාමන ආයතනයක මුදුනේම, මෙරට ප්‍රබලම දේශීය කතිපයාධිකාරී (Oligarch) ව්‍යාපාරික ජාලයක ඍජු නියෝජිතයෙකු සිටීම තුළින් පැන නඟින්නේ බලවත් 'බැඳියාවන් අතර ගැටුමකි' (Conflict of Interest). මෙය හුදු අහඹුවක් ද, නැතහොත් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආයතනික ප්‍රාග්ධනයේ (Corporate Capital) හැඩයට නවා ගැනීමේ උපායමාර්ගයක් ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු තත්වයකි.

 

 

2026 බදු සංශෝධනය: තරඟකාරීත්වයට එල්ල වූ මරු පහර

රජයේ නීතිවලින් වියුක්ත වූ වරාය නගරයට අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි කොන්දේසි හමුවේ හිස නැමීමට සිදුවී තිබේ. එහි ආකර්ශනීයම සාධකය වූ 'පුද්ගලික ආදායම් බදු (PAYE/APIT) වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වීමේ' වරප්‍රසාදය, 2026 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව සංශෝධන හරහා අහෝසි කර ඇත.

 

පැරණි සේවකයින්: වසර තුනක සංක්‍රාන්ති කාලයකින් (Transitional Window) පසු සාමාන්‍ය දේශීය බදු අනුපාතවලට යටත් වීමට සිදුවේ.

 

නව බඳවා ගැනීම්: බඳවා ගන්නා මොහොතේ සිටම කිසිදු බදු සහනයක් නොලැබෙන අතර, වැටුප සම්පූර්ණයෙන්ම බදුවලට යටත් වේ.

 

මෙම තීරණාත්මක හැරවුමත් සමඟ ඩුබායි හෝ සිංගප්පූරුව වැනි අඩු බදු ප්‍රතිපත්ති සහිත දැවැන්ත මූල්‍ය කලාප සමඟ කරට කර තරඟ කිරීමට වරාය නගරයට තිබූ ප්‍රධානතම තුරුම්පුව අහිමි වී ඇත. ජාත්‍යන්තර මට්ටමේ දක්ෂයින් ආකර්ෂණය කර ගැනීමට නම්, අනාගතයේදී ආයෝජකයින්ට සිය සේවකයින්ගේ මූලික වැටුප් විශාල වශයෙන් ඉහළ දැමීමට සිදුවනු ඇත.

 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යනු ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ නිලධාරිවාදයෙන් මිදුණු, ඩොලර් මත පදනම් වූ වේගවත් යාන්ත්‍රණයක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. නමුත් විධිමත් බඳවා ගැනීමේ පටිපාටි නොමැතිකම, වැටුප් ව්‍යුහයන්හි පවතින රහස්‍යභාවය සහ ප්‍රබල ව්‍යාපාරික හස්තයන් පාලන තන්ත්‍රය අත්පත් කරගෙන සිටීම හරහා ගම්‍ය වන්නේ, මෙය හුදෙක් විදේශ ආයෝජකයින්ගේ පාරාදීසයක් පමණක් නොව, දේශීය ධනේශ්වර පැලැන්තියේ බලය තහවුරු කරන නවීනතම බලකොටුව බවට පත්වීමේ අනතුරක් පවතින බවයි.

 

වත්මන් රජය බලයට පැමිණි විට සිදුවේ යැයි බහුතරයක් ජනයා විශ්වාස කළ තත්වයන් සිදුනොවන බවත් පෙර පරිදිම රටේ අනෙකුත් කටයුතු මෙන්ම වරාය නගරයද සුපුරුදු පරිදි පවත්වාගෙන යන බවත් දැන් අවිවාදිතය.

කෙසේ වෙතත් බදු සහන අහිමි වීමේ අභියෝගයත් සමඟ වරාය නගරය ඉදිරියේදී සැබෑ ලෙසම ජාත්‍යන්තර තරඟකාරීත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න අප විමසිල්ලෙන් බලා සිටිය යුතුව ඇත.

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි