මහානායක හාමුදුරුවනේ,
මෙලෙස ඔබවහන්සේට ලිවීම ගැන මට සමාවෙන්න, නමුත් මම එසේ කළ යුතු යැයි මට හැඟෙනවා.
බෞද්ධ දින දර්ශනයේ වැදගත්ම දිනය වන වෙසක් දිනය සමරන මේ කාලය පවා ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් බවට පත්වෙලා. ඊට හේතුව, මේ ධර්මද්වීපයේ බුද්ධාගමට අත්ව ඇති ඉරණම ගැන දැන් කවුරුත් කතා බහ කිරීමයි.
කහ සිවුර දරාගත් සමහරුන්ගේ මෑතකාලීන හැසිරීම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ කීර්ති නාමයට බරපතළ ලෙස හානි කර තිබෙනවා. අතිමහත් බහුතරයක් තවමත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළත්, අර පූජනීය වස්ත්‍රය දරන අයගේ අවංකකම ගැන බොහෝ දෙනකුට ප්‍රශ්න පැන නැගී තිබෙන්නේ ඒ නිසයි.
හාමුදුරුවනේ, ප්‍රශ්නය දැන් උච්චතම අර්බුදයකට පැමිණ ඇති බව පෙනුණත්, මේ දේවල් එක රැයකින් සිදුවූ ඒවා නොවන බව මම යෝජනා කරන්නද? ඔබවහන්සේලා අතරින් සමහරුන්ගේ මූලික යුතුකම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම වුවත්, වසර ගණනාවක් තිස්සේ ඔවුන් වෙනත් විවිධ භූමිකාවන් භාරගන්නා හැටි අපි දැක්කා.
රජුට අනුශාසනා කිරීමේ බෞද්ධ භික්ෂුවගේ පුරාණ භූමිකාව, රට-ජාතියේ ආරක්ෂකයින් වීම ලෙස ඔවුන් අර්ථකථනය කරනවා. ඔවුන් දේශපාලනයෙහි නියැලෙන්නට පටන්ගෙන එය තමන්ගේ පළමු ප්‍රමුඛතාවය කරගන්නා තුරු එහි කිසිදු වරදක් නැහැ.
කලක සිට කිසිවෙකුත් විසඳන්නට උනන්දු නොවූ ප්‍රශ්න අපට තිබුණා. මෙය කීම ගැන නැවතත් මට සමාවෙන්න, නමුත් වසර ගණනාවක් තිස්සේ සෑම දේශපාලන පක්ෂයක්ම තම තමන්ගේම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් වගාදිගා කරගත්තා.
සමහර භික්ෂූන් වහන්සේලා වෘත්තීය සමිති නායකයින් බවට පත්වුණා. ඒ අයම තමන්ගේ පන්සල් භූමි දේශපාලන පක්ෂවලට කාර්යාල විදියට පාවිච්චි කරන්න බදු දුන්නා. කිසිවෙක් මුකුත් කිව්වේ නැහැ. ඒ දේශපාලන පක්ෂ බලයට ආවාම අර හාමුදුරුවරු විශ්වවිද්‍යාල කුලපතිවරු ලෙස පත්කෙරුණා.
සමහරුන්ට, කහ සිවුර කියන්නේ ව්‍යාපාරික ආයතන ගොඩනගන්න තියෙන කදිම නිදහසට කරුණක් වුණා. සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකම පාහේ දේශපාලඥයින්ව ආශ්‍රය කරන්න තරම් ඔවුන් කපටි වුණා. තමන්ගේ ව්‍යාපාරය දියුණු වෙනකොට, තමන්ම බුදු වුණා කියලත් ඔවුන් ප්‍රකාශ කළා!
ඊළඟට හිටියේ කලබල ඇතිකරන උදවියයි. කහ සිවුරෙන් සමාජයේ ලැබෙන තත්ත්වය හා ගෞරවය පාවිච්චි කරලා ඔවුන් ජාතිවාදී වෛරය පෝෂණය කළා. ඒ අතරින් කෙනෙක්, මීට දුසිම් වසරකට පමණ පෙර බොහෝ දෙනෙකුට ජීවිත අහිමි කළ ජාතිවාදී කෝලාහල ඇතිකරන්නට තරම් ජාතිවාදී වෛරය ප්‍රසිද්ධියේ ඇවිස්සීමට නිර්භීත වුණා.
ඒ කලහකාරියා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වුවත්, 'අයියෝ සිරිසේන' දුන් විශේෂ සමාවකින් නිදහස් කෙරුණා. දැන් චෝදනා ලබා සිටින අය වෙනුවෙන් පෙනී සිටින්නෙත් ඒ පුද්ගලයාමයි. ඔහු කියන්නේ මේවා භික්ෂූන් වහන්සේලාම විසඳාගත යුතු 'සුළු කරුණු' බවත්, ඒ ගැන අප කලබල විය යුතු නැති බවත්ය.
ජාතිවාදී වෛරය ඇවිස්සුවේ ඔහු පමණක් නෙවෙයි. 'අතන මෙතන' හාමුදුරුවෝ, දැන් අසත්‍ය බව ඔප්පු වී ඇති විකාරසහගත චෝදනා නගමින් වෛද්‍ය සාෆිට එරෙහිව ප්‍රධාන වශයෙන්ම සටන් කළ කෙනෙක්. වෛද්‍යවරයා අසීමිතව දුක් වින්දා. නමුත් ඒ හාමුදුරුවන්ට කිසිම ප්‍රතිවිපාකයක් ලැබුණේ නැහැ.
කහ සිවුරු දරාගත් 22 දෙනෙක් තමන්ගේ මුහුණු ඒ සිවුරෙන්ම වසාගෙන, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අධිකරණයට ගෙන යන කණගාටුදායක දසුනත් අපි දැක්කා. ඔවුන්ව සිවුරු හැරවීමට ඔබවහන්සේලා නිර්දේශ කළ බව අපි දන්නවා. ඒත් එය සිදුවුණාද යන්න මට විශ්වාස නැහැ.
ඕනෑම කෙනෙකුට ලැජ්ජා හිතෙන තරමේ වැරදිවලට ප්‍රභූ භික්ෂුවකට චෝදනා එල්ල වීමේ වඩාත් කණගාටුදායක කතාවක් අපට ඇහෙන්නේ ඒ නිසායි. වරදකරුවෙකු වන තුරු නිවැරදිකරුවෙකු ලෙස සලකනු ලැබීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා, නමුත් මෙවැනි දේවල් අසන්නට අපි නම් කැමති නැහැ.
ළමයින් ආරක්ෂා කිරීමට පත්කර ඇති ආයතනය, පොලිසියට ක්‍රියාත්මක වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින තුරු, පොලිසිය අදාළ චෝදනා සම්බන්ධයෙන් කිසිවක් කළේ නැති බව එම නඩුව විභාග වන විට අපි දැක්කා. සාමාන්‍යයෙන් නීතිඥයින් ලබාදෙන දෙපාර්තමේන්තුව එතැන හිටියේ නැහැ. චූදිතයාගේ බලය කෙතරම්ද කිවහොත් තත්වය එයයි.
මහානායක හාමුදුරුවනේ, මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ කහ සිවුර දරන සමහරුන්ගේ විනය, සදාචාරය සහ අවංකභාවය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවයි. ඔවුන්ට සිවුර කියන්නේ නිවනට මඟ නෙවෙයි, එය කීර්තිය, ධනය, බලය සහ අනෙකුත් සැප සම්පත් ලබාගන්නා මාර්ගයයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පමණක් දොස් පැවරිය නොහැකි බව යමෙක් කිව්වොත් මම එයට එකඟයි. වෙනත් ආගම්වලිනුත් මෙවැනි කතා අපට ඇහෙනවා. එහෙත්, ව්‍යවස්ථාවෙන් පවා ප්‍රමුඛස්ථානයක් දී ඇති බහුතරයේ ආගම ලෙස, ඔබවහන්සේලා ආදර්ශයක් දිය යුතු නොවේද?
පුදුමයට කරුණ නම්, මේ සියල්ල මැද, දෙපාර්ශ්වයේම දේශපාලඥයින් බිහිරි නිහැඬියාවක් රැකීමයි. ඔවුන්ගේ හැටි අපි දන්නවනේ, හරි දේ කළොත් ඡන්ද කීයක් නැතිවෙයිද කියලා තමයි ඔවුන් මුලින්ම බලන්නේ. ජනතාවගේ ගෞරවය ඔවුන්ට අහිමි වී ඇත්තේ ඒ නිසයි.
අපි සැටලයිට් එක්ක එකඟ වෙන්නේ කලාතුරකින් වුණත්, මේ සතියේ ඇය ශාසනය පිරිසිදු කරන්න සංගායනාවක් ඕනෑ කියලා යෝජනා කළා. අනුර සහෝදරයාත් ඒ වගේම අදහසක් ප්‍රකාශ කළා. 'නීතියට ඉහළින් කවුරුත් නැහැ' කියලා ඔහු නිතරම කිව්වත්, සමහරු අනිත් අයට වඩා සමාන බව අපට පේනවා.
දැන්වත් පියවරක් ගත්තේ නැත්නම්, බුදුරජාණන් වහන්සේ මේ ජාතියට දැල්වූ ආලෝකය නිවී යාවි. එතකොට, අර පූජනීය කහ සිවුර දරන අයත්, කලක් ඔවුන්ට තිබූ ගෞරවය අහිමි වී ගිය දේශපාලඥයින්, වෛද්‍යවරුන් සහ නීතිඥයින්ගේ ගොඩටම එක්වේවි. දැන් ඒ ආලෝකය ඔබවහන්සේලා දෙසටම හරවාගත යුතු කාලයයි.
අවසරයි, හාමුදුරුවනේ, පුංචි පුතා
ප.ලි: මීට පෙරත් කහ සිවුර දරන අයට නඩු පවරන්න අපි නීති වෙනස් කළා. මරණ දඬුවම අහෝසි කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී, කහ සිවුරක් දාගත් කෙනෙකු අතින්ම ඝාතනයට ලක්වුණාම, එය නැවත හඳුන්වා දුන්නා. අපි දේශපාලඥයෙක් ගොදුරු වෙනකම්ම බලාගෙන ඉන්න ඕනෙද, මහානායක හාමුදුරුවනේ?
(සන්ඩේ ටයිම්ස් පුංචි පුතා කොළමේ අනුවර්තනයකි)

