SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන

මරණ පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එය මෙරට ආන්දෝලනාත්මක සුදු කරපටි අපරාධ විමර්ශන සහ ඊට අදාළ නෛතික ක්‍රියාවලියේ පවතින ඛේදවාචකයන් මනාව පිළිඹිබු කරන කැඩපතක් බවට පත්ව තිබේ. පැය දෙකකුත් මිනිත්තු හතළිහකට අධික කාලයක් පුරා ඇසුණු සාක්ෂි මගින්, මිය යාමට පෙර කපිල චන්ද්‍රසේන ගත කළ අවසන් හෝරා කිහිපය තුළ ඔහු මුහුණ දුන් දැඩි මානසික පීඩනය සහ ඊට බලපෑ ආසන්නතම නෛතික අර්බුදය පිළිබඳව පුළුල් කරුණු අනාවරණය විය.

 

 

 

කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙහෙයවීම යටතේ අද දින ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි. ඒ, මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ නැගණිය වන ප්‍රියංගි අනුෂ්කා විජයනායක සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ සාක්ෂියයි. මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඉතිරි නොවන පරිදි විද්‍යාත්මක සාක්ෂි තහවුරු කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම්වලට මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවසර ලබා දුන්නේය.

 

 Aravinda De Silva's Brother In Law CEO Kapila Chandrasena Found Dead in His  House -

 

ඒ අනුව මරණකරුගේ රුධිර සාම්පල, සියදිවි නසා ගැනීමට යොදාගත් පටියේ කැබලි දෙක, මිය යන විට හැඳ සිටි ඇඳුම් සහ දේහය තිබූ කාමරයෙන් සොයාගත් භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය. ඊට අමතරව තාක්ෂණික විමර්ශන ඔස්සේ මරණකරුගේ හැඳුනුම්පතට අදාළ දුරකථන දත්ත වාර්තා කැඳවීමට සහ ඔහුගේ පුද්ගලික බැංකු කාඩ්පත් විමර්ශන අවසන් වන තෙක් අක්‍රිය කිරීමට ද අධිකරණ අවසරය හිමි විය. මෙම විමර්ශන මගින් මරණයට පෙර ඔහු සම්බන්ධ වූ පුද්ගලයින් සහ මූල්‍යමය ගනුදෙනු පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නුදුරේදීම නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

කපිල චන්ද්‍රසේනගේ මරණය හුදු අල්ලස් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත වීම නිසා ඇතිවූවක් පමණක් නොවන බවත්, එයින් ඇප මත නිදහස් වී පැය හතළිස් අටක් ගතවීමටත් මත්තෙන් උද්ගත වූ ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ බරපතල නෛතික අර්බුදය මීට සෘජුවම බලපා ඇති බවත් සාක්ෂි විභාගයේදී පෙනී ගියේය.

 

 

අරවින්ද ද සිල්වාගේ සාක්ෂිවලට අනුව, රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් සඳහා සුදුසුකම් ලත්, එනම් ග්‍රාම සේවා සහතික සහිත ඇපකරුවන් කඩිනමින් සොයා ගැනීමේ ප්‍රායෝගික අපහසුතාව මත නීතිඥ උපදෙස් අනුව විකල්ප ක්‍රමවේදයකට යොමු වී ඇත. එහිදී අරවින්ද ද සිල්වාගේ කාර්යාල සේවකයෙකු වූ ගනේෂ් පෙරුමල් සහ තිස්ස නැමැත්තෙකු ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා ඔවුන්ට රුපියල් පහළොස් දහස බැගින් මුදලක් ද ලබා දී තිබේ. මෙම ව්‍යාජ ක්‍රියාවලිය අධිකරණය හමුවේ හෙළිදරව් වීමත් සමඟ, මැයි හත්වන දින කපිල චන්ද්‍රසේනට නැවතත් වරෙන්තුවක් නිකුත් වී ඇත.

 

 

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් අදාළ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම මගින් මෙම නීති විරෝධී ක්‍රියාවලියේ බරපතලකම තහවුරු වන අතර, මෙයට බන්ධනාගාර නිලධාරියෙකු ද සම්බන්ධ වී සිටීම මගින් අධිකරණ සහ බන්ධනාගාර පද්ධතියේ පවතින දුෂිත සිදුරු මනාව නිරූපණය වේ.

 

ප්‍රියංගි අනුෂ්කා සහ අරවින්ද ද සිල්වා යන අයගේ සාක්ෂි මගින් කපිල චන්ද්‍රසේන ගත් අවාසනාවන්ත තීරණයේ පූර්ව සූදානම මැනවින් පැහැදිලි වෙයි.

 

"මම එළියට ඇවිල්ලා දවසක් යන්න කලින් මාව ඇතුළට දාන්න යනවා" යනුවෙන් ඔහු දෙවතාවක්ම අරවින්ද ද සිල්වා සමඟ පවසා තිබීම තුළින්, නැවත වරක් සිරමැදිරියකට යාමට ඔහු තුළ තිබූ දැඩි භීතිය සහ අපේක්ෂාභංගත්වය ගම්‍ය වේ. නීතිඥ උපදෙස් මත සිය නිවසට නොගොස් අරවින්ද ද සිල්වාගේ නිවසේ රැඳී සිටි ඔහු, සිය නිවසේ මෙහෙකාරියට දුරකථනයෙන් අමතා ඇඳුම් සහ බෙහෙත් සමඟ ජිම් මැට් එකක් ගෙන්වා ගෙන ඇත. එහි විශේෂත්වය වන්නේ ඔහු එම ජිම් මැට් එක තුළ සරමකට යටින් සඟවා සියදිවි නසා ගැනීමට යොදාගත් පටිය ගෙන්වා ගෙන තිබීමයි. මෙය ක්ෂණික කෝපයක් හෝ ආවේගයක් මත නොව, ඉතා සවිඥානිකව සහ පෙර සූදානමක් සහිතව සැලසුම් කළ ක්‍රියාවක් බව මින් තහවුරු වේ.

 

 

මැයි හත්වන දින රාත්‍රියේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති ඔහු, අමුත්තන්ගේ කාමරයට වී හුදකලා වී ඇති අතර පසුදින අලුයම නීතිඥවරුන් පැමිණ අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් වන මොහොත වන විටත් ඔහු සිය ජීවිතය තොර කරගෙන අවසන්ය.

 

 

මෙම සිදුවීම හුදු පුද්ගල මරණයක් ඉක්මවා ගිය ගැඹුරු සමාජීය, නෛතික සහ දේශපාලනික කියවීමක් ඉල්ලා සිටින ඛේදවාචකයකි. සමාජයේ ඉහළම ස්ථරවල වැජඹෙන, ආයතනික ප්‍රධානීන් ලෙස කටයුතු කළ පුද්ගලයින් අපරාධ චෝදනා යටතේ සිරගත වීමේදී ඔවුන්ට එල්ල වන සමාජ අපවාදය සහ මානසික පීඩනය අතිමහත්ය. බන්ධනාගාරගත වීමේ කම්පනය දරාගැනීමට ඔවුන්ට ඇති හැකියාව අවම බව මෙම සිදුවීමෙන් පෙනී යයි.

 

 

අනෙක් අතට ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ ජාලයට බන්ධනාගාර නිලධාරීන් පවා සම්බන්ධ වීමෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය කෙතරම් දුර්වල වී ඇත්ද යන්නයි. තාවකාලික සහනයක් අපේක්ෂාවෙන් නීතිඥ උපදෙස් හෝ වෙනත් මැදිහත්වීම් මත සිදුකළ මෙම නීති විරෝධී කෙටි මාර්ගය, අවසානයේ විත්තිකරුගේ ජීවිතය බිලිගන්නා ප්‍රධාන සාධකය බවට පත් විය.

 

 

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන නිලධාරීන් බොහෝ විට දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාත්මක කරන්නන් බවට පත්වන අතර අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන විට, සැබෑ දේශපාලන හස්තයන් නීතියෙන් රිංගා යද්දී නිලධාරීන්ට හුදකලාව නීතියට මුහුණ දීමට සිදුවීම ලාංකීය දේශපාලන සංස්කෘතියේ සුලභ දසුනකි. කපිල චන්ද්‍රසේන මුහුණ දුන් අර්බුදය පිටුපස ද මෙවැනි අදෘශ්‍යමාන පීඩනයක් පැවතියේද යන්න සමාජය හමුවේ ඇති නොවිසඳුණු ගැටලුවකි. සිද්ධියට අදාළ අනෙකුත් සාක්ෂිකරුවන් පස්දෙනාගේ සාක්ෂි විභාගය ලබන දාහතර වැනිදාට කල් තබා ඇති අතර, එමගින් මෙම අභිරහස් ඛේදවාචකයේ තවත් සැඟවුණු පැතිකඩයන් රැසක් නිරාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි