ශ්‍රී ලංකාවේ පළමු මාක්ස්වාදී ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක
සිය පාලන කාලයේ ඉදිරි වසර වෙනුවෙන් සංචාරක කර්මාන්තය නැංවීමට නව උපායමාර්ගයක් අනුගමනය කරමින් සිටී.
ඒ අනුව, ඉන්දියාවෙන් සහ චීනයෙන් පැමිණෙන ධනවත් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට කැසිනෝ කර්මාන්තය යොදා ගැනීමට රජය සැලසුම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණයේ කැසිනෝ කිහිපයක් ක්‍රියාත්මක වේ. ඊට අමතරව, පසුගියදා ජනාධිපතිවරයා විසින් කොළඹදී අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක වටිනාකමින් යුත් City of Dreams කැසිනෝ සංකීර්ණය විවෘත කරන ලදී. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මැකාවු හි මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts & Entertainment) අතර වූ හවුල් ව්‍යාපාරයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
මෙම කර්මාන්තයට ජනාධිපතිවරයා දක්වන වැදගත්කම මැනවින් පිළිබිඹු කරමින්, කැසිනෝ ඇතුළු සූදු කටයුතු නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමද සිදුවිය.
රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ප්‍රකාශ කළේ, මේ වසරේ සංචාරක පැමිණීම් සියයට 50කින් ඉහළ නංවා මිලියන 3ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි. එමගින් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 3.7 සිට බිලියන 5 දක්වා ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
“අප මුහුණ දී ඇති ආර්ථික ගැටලුවලින් ගොඩ ඒමට සංචාරක කර්මාන්තය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඉදිරි වසර කිහිපය තුළ කෙටි කාලීන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරමින් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අප කටයුතු කරනවා. දිගු කාලීනව අපේ සැලසුම වන්නේ ගුණාත්මක, තිරසාර සහ ඉහළ මට්ටමේ සංචාරක ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා කැසිනෝ සහ සූදු කර්මාන්තය ද වැදගත් කොටසක් බවට පත්වෙනවා”
යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4කට පමණ සංචාරක කර්මාන්තය දායක වී ඇති අතර, රජය බලාපොරොත්තු වන්නේ එය අනාගතයේදී සියයට 10 දක්වා ඉහළ නැංවීමටය. විදේශ ප්‍රේෂණ සහ ඇඟලුම් අපනයනයට පසුව රටට වැඩිම ඩොලර් ආදායමක් උපයන තෙවැනි විශාලතම මූලාශ්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි.
ශ්‍රී ලංකාවේ මහ බැංකුව මේ වසර සඳහා සියයට 4.5ක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇති අතර, ඊට ප්‍රධාන හේතුවක් ලෙස ශක්තිමත් සංචාරක ක්ෂේත්‍රය සැලකේ. මෙය ලෝක බැංකුව අප්‍රේල් මාසයේදී කළ සියයට 3.5ක පුරෝකථනයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයකි.
අමෙරිකානු ඩොලර් බිලියන 99ක ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව, 2022 වසරේ විදේශ ණය පැහැර හැරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබා ගත්තේය. වසර දෙකක දැඩි ආර්ථික හැකිලීමකින් පසු, පසුගිය වසරේදී නැවත වර්ධනයක් පෙන්නුම් කළේය. 2028 වසරේ සිට ශ්‍රී ලංකාව සිය ණය හිමියන්ට නැවත ගෙවීම් ආරම්භ කළ යුතුය.
කොළඹ වෙරළ තීරයේ පිහිටි City of Dreams හි කාමර 800ක්, සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක් සහ සම්මන්ත්‍රණ පහසුකම් ඇති අතර, එමගින් ධනවත් සංචාරකයින් ආකර්ෂණය වනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරති.
මෙල්කෝ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ රොයිටර් පුවත් සේවයට පැවසුවේ,
“මෙය සම්පූර්ණයෙන්ම නව ක්ෂේත්‍රයක්. මීට පෙර මැනිලා, මැකාවු සහ සයිප්‍රස් වැනි රටවල අප මෙම ක්ෂේත්‍රය දියුණු කළ ආකාරයටම මෙය දියුණු කළ හැකියි. ශ්‍රී ලංකාවේ සංචාරක සහ ඒකාබද්ධ නිවාඩු නිකේතන සූදු කර්මාන්තයේ විභවය සීමිත යැයි මම සිතන්නේ නැහැ”
යනුවෙනි.
නියෝජ්‍ය අමාත්‍ය රණසිංහ අපේක්ෂා කරන්නේ ඉදිරි දශකය තුළ ප්‍රධාන වශයෙන් ඉන්දියානුවන් මෙම කර්මාන්තයට ආකර්ෂණය වනු ඇති බවයි. ලෝකයේ වැඩි ජනගහනයක් සිටින ඉන්දියාවේ, කැසිනෝ සීමිත ස්ථාන කිහිපයකට පමණක් බලපත්‍ර ලබා දී ඇති අතර, චීනයේ සියලුම නීත්‍යානුකූල කැසිනෝ මෙහෙයුම් මැකාවු වෙත සීමා කර ඇත.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි මිලියන 2ක සංචාරකයන්ගෙන් හතරෙන් එකක් පමණ ඉන්දියානුවන් වූ අතර, චීන සංචාරකයින් සියයට 7ක් විය. ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය යන දෙරට සමඟම සමීප ආර්ථික සබඳතා පවත්වන අතර, එම රටවල් දෙකෙහිම පුරවැසියන්ට වීසා රහිතව ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා දී ඇත.
ආදායම් ඉහළ නැංවීම සහ වගකීම් සහිත සූදු කටයුතු දිරිමත් කිරීම සඳහා, සූදු නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට පසුගිය සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය අනුමත කරන ලදී. කෙසේ වෙතත්, මෙම නීති මගින් මුදල් අමාත්‍යවරයාට පුළුල් බලතල ලබා දීම, රාජ්‍ය ලොතරැයි මෙයට ඇතුළත් නොවීම, අධිකාරියේ සංචාරක කර්මාන්ත නියෝජනයක් නොමැතිවීම සහ උල්ලංඝනය කිරීම් සඳහා අඩු දඬුවම් නියම කිරීම පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවේචන එල්ල කරයි.
රජය මෙම නීති සම්පාදනය ආරක්ෂා කරමින් පවසන්නේ, කර්මාන්තය දියුණු කරන අතරම සමාජීය හානිය අවම කිරීමට සහ රැකියා අවස්ථා වැඩි කිරීමට එය අත්‍යවශ්‍ය බවයි.
“ශ්‍රී ලංකාවේ සහ කොළඹ සූදු කටයුතු පැවතුණත්, එය එතරම් වැදගත් මට්ටමක තිබුණේ නැහැ. City of Dreams පැමිණීමත් සමඟ ලොව පුරා සිටින ඉහළ පෙළේ පාරිභෝගිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි මට විශ්වාසයි”
යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
CNews