ආණ්ඩුවේ අලුත්ම මර්දනය සහ අවලාද ප්‍රහාරයට පිළිතුරක්!
මා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉන්දියාවට හිනා වෙන්න එපා යැයි කළ ප්‍රසිද්ධ ප්‍රකාශය අල්ලාගෙන ආණ්ඩුව සහ ඔවුන්ගේ ආධාරකරුවන් හර්ෂ රට පාවා දුන්නා. ඔහු සමාව ගත යුතුයි වැනි අදහසක් මතු කරමින් සිටිනවා. ආණ්ඩුව විසින් සිදුකරන මේ සංවිධානාත්මක මඩ සහ අවලාද ප්‍රහාරය මා එතරම් ගණන් නොගත්තත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවය වෙනුවෙන් මා මේ අදහස් දැක්වීම කරනවා.
මා එසේ කිව්වේ ඇයි? ඉන්දියාව මේ වනවිට ඇමරිකානු බදු ප්‍රශ්නයේ අසීරු අවස්ථාවක සිටීමත් ලංකාවට අමාරු අවස්ථා වලදී උපකාර කළ රටක් වූ නිසයි.
(ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකුගේ මුහුණු පොතේ පෝස්ටු කිහිපයක්)
පාර්ලිමේන්තුවේ එදා සිදුවූ සැබෑ සිදුවීම් වලට ප්‍රතිචාරයක් ලෙස මා ඉන්දියාවට හිනාවෙන්න එපායැයි ප්‍රකාශය ප්‍රසිද්ධියේ කළා. එය හැංගි හොරා කළ දෙයක් නෙවෙයි. මොවුන් කියන පරිදි එම කතාව මා ඉංග්‍රීසි උප සිරැසි සමග මාගේ සමාජ මාධ්‍යයේ පළ කිරීම වරදක්. මා දේශපාලනයට පැමිණිදා සිට මාගේ දේශපාලන කතා ඉංග්‍රීසි, දෙමළ උපසිරැසි සහිතව නොයෙක් වර සමාජ මාධ්‍යයේ පළකර තිබෙනවා. මොවුන් කියන පරිදි මාගේ එම වීඩියෝව ඉන්දියාව තුළ වයිරල්වීම වරදක්. නමුත්, මොවුන් නොදන්නා කාරණය වන්නේ මාගේ ඇතැම් වීඩියෝ ලංකාවට බාහිරව වයිරල් වී තිබෙන බවයි.
පුද්ගලික නිදහස පිළිබඳව අවබෝධයක් නොමැති, භාෂණයේ නිදහස පිළිබඳව අවබෝධයක් නොමැති, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව අවබෝධයක් නොමැති ලෝකය පොල්කටුවෙන් වැසිය හැකියැයි සිතන පිරිසකට මා ද්‍රෝහියෙකු වූ පළමු අවස්ථාව මෙය නොවන බව මතක් කරමි. අප සුවසැරිය මෙරටට හඳුන්වාදීමට සැරසුණු අවස්ථාවේදී මා දේශද්‍රෝහියෙකු කළ අතර වත්මන් ආණ්ඩුව දොහොත් මුදුන් තබා නමදින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයැයි මා මුල්වරට කී විටද වර්තමානයේ ආණ්ඩුවේ සිටින සමහරුන්ට මා දේශද්‍රෝහියෙකු වුණා.
මෙම මඩ ප්‍රහාරයේ වැදගත්ම කොටස වන්නේ මෙය වත්මන් ආණ්ඩුවේ අලුත්ම මර්දන අවිය වීමයි. ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වන පිරිස අනාගතයේ දේශද්‍රෝහීන් වීමට බොහෝවිට ඉඩකඩ තිබෙන බව අවධාරණය කරමි. මා පසුගිය කාලයේ විදුලි බල පනත මගින් විදුලි ක්ෂේත්‍රයට වත්මන් ආණ්ඩුව කරන විනාශය, පොලිකාබනේටඩ් කාඩ් මගින් රටට සිදුවීමට යන පාඩුව ඇතුළු රට ආපස්සට අදින බොහෝ කාරණා වලදී හඬ අවදිකර තිබේ. එය ආණ්ඩුවට හිසරදයක් වී තිබෙන බවත් ඒ නිසා අපව මර්දනය කළ යුතුයැයි ආණ්ඩුව තරයේ සිතා සිටින බවත් මේ අවලාද ප්‍රහාර වලින් ගම්‍යවන සත්‍යයයි. මේ නිසා, හර්ෂ ද සිල්වාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීම ආණ්ඩුවේ නවතම ක්‍රියාන්විතය වී තිබෙන බව අපට දැන ගන්නට ලැබී ඇත.
මා ඉන්දියාවට හිනා වෙන්න එපායැයි කී විට එයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වෙනවා නම් එයින් ඉන්දියානුවන් ලංකාවට ඒම අඩුකරනවා නම් මේ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලින් ඇති ඵලය කිම? එදා රට තෙල් නොමැතිව ඖෂධ නොමැතිව ආර්ථික අර්බුදයක ගිලී සිටින විට මෙරටට ඩොලර් එවන්නට එපායැයි අද වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස් කීවිට ඔවුන් දේශප්‍රේමීන් වන්නේද? අපිත් දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි හොඳින් දන්නා බව මතක් කරමි.
මා දේශපාලන ලිං මැඩියෙකු නොවේ. අප වෙත මෙවැනි බොළඳ දේශපාලන මඩ අවලාද එල්ලකර මර්දනය කළ නොහැකි බවත් ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් බවට පත්කිරීම අපගේ සිහිනය බවත් යළිත් අවධාරණය කරමි.
@ හර්ෂ ද සිල්වා