SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශීය වෛද්‍ය විද්‍යාව සහ අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින්, රජයේ දැඩි නියාමනයක් යටතේ

කංසා වගා කිරීමට ආයෝජකයන්ට අවසර ලබා දීම පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබේ.

 

 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින් මේ පිළිබඳව කළ ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය හරහා විවිධ අදහස් හුවමාරු විය. බොහෝ දෙනෙක් මෙම තීරණය වත්මන් රජය විසින් ගනු ලැබූ ප්‍රගතිශීලී පියවරක් ලෙස හඳුන්වමින් ස්තුතිය පළ කළහ.

 

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව මෙම යෝජනාවේ මූලික අනුමැතිය සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාදාමයන් ආරම්භ කර ඇත්තේ පසුගිය රජය විසින් ය.

 

 

“මේ සඳහා අනුමැතිය ලබාදෙන්නේ 2024 අප්‍රේල් මාසයේදී, එවකට දේශීය වෛද්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කළ සිසිර ජයකොඩි අමාත්‍යවරයාගේ කාලයේදී. මේ සඳහා වන රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්. නමුත් පහුගිය කාලයේදී මෙවැනි ආයෝජකයින් 7 දෙනෙක් පැමිණියත් මේ සඳහා වෙච්ච ක්‍රමවේදයේ තිබුණු අඩුපාඩුකම් නිසා කාලයක් ගතවෙලා තිබුණා”.

 

 

පසුබිම සහ ක්‍රියාදාමය

 

අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ, කංසා වගාව සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ 2024 අප්‍රේල් මාසයේදී බවයි. එවකට දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සිසිර ජයකොඩි ගේ කාලයේදී මෙම ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. ඒ අනුව, අවශ්‍ය රෙගුලාසි සකස් කර ඇති අතර, ආයෝජන මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ සැලසී ඇත.

 

කංසා වගාව සහ අපනයනය සම්බන්ධයෙන් මීට පෙර ආයෝජකයින් කිහිප දෙනෙක් (7 දෙනෙක් පමණ) උනන්දුවක් දැක්වූ නමුත්, ක්‍රමවේදයේ පැවති අඩුපාඩුකම් නිසා ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද විය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැනි ආයතන කිහිපයකම අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම අඩුපාඩුකම් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, රජය විසින් දැඩි ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

 

ව්‍යාපෘතියේ විශේෂතා

 

මෙම කංසා වගා ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමයි. මෙහිදී වගාවේ සියලුම කොටස් අපනයනය කිරීමට නියමිත අතර, මෙය මෙරට ආර්ථිකයට නව ආයෝජන අවස්ථා විවෘත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

මේ වන විට, ආයෝජන මණ්ඩලය සහ ආයෝජන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවතී. මෙය ශ්‍රී ලංකා රජයේ නියාමනයට යටත්ව අපනයනය සඳහා ආයෝජකයින්ට අවස්ථාව ලබා දෙන පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. මෙමගින් රටට විදේශ විනිමය ගෙන ඒමට සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

 

පසුගිය පාලන සමයේ දී මේ පිළිබඳව පාර්ලමේන්තුව තුළ විශාල හඩක් නැගූයේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීී ඩයනා ගමගේ විසින් ය.