SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යනු මෙරට අධ්‍යාපන අර්බූදය පිළිබඳ දිඳුලන නිදසුනකි.

ඇය පසුගිය බදාදා (6) පාර්ලිමේන්තුවේ දී රෝහිත රාජපක්ෂගේ (රොකට් රෝහිත) Supreme Sat සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව පිළිබඳ ලබාදුන් පිළිතුරෙන් ඒ බව යළි තහවුරු විය. ඒ පිළිතුර තඩි බොරුවකින් සහ අර්ධ සත්‍ය ගණනාවකින් සමන්විතය.

 

 

රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක්?

 

තමන්ට ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය "2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ, 2012.05.23 දින. 2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා. සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයැදුම් පතෙහි තොරතුරු අනුව ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැත" යැයි කියා සිටියාය.

 

 

"ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ දේශීය වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් ව්‍යාපෘතියක් ලෙස යි, ඒක ආයෝජනය කරල තියෙන්නෙ. රුපියල් මිලියන 1828 ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින Supreme SHST පෞද්ගලික සමාගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිත ය. මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත" යැයි හෙළි කළ ආචාර්ය හරිනි අමරසූරිය Supreme Global Holdings (PVT) Limited ආයතනයට කොටස් 80%ක සහ Supreme SL Investments (PVT) Limited ආයතනයට කොටස් 20%ක අයිතියක් පවතින බව හෙළි කළාය.

 

 

වාර්තා සහගත ආදායම් වාර්තා…

 

ඇය අදාළ සමාගම වසර 2015 සිට වසර 2023 පළමු මාස හය සඳහා ලබා ගෙන තිබෙන වාර්ෂික ආදායම පිළිබඳ වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ය. ඒ අනුව සමාගම ලබා තිබෙන ආදයම මෙසේ ය:

2015/2016 - රු. මිලියන 19617

2016/2017 - රු. මිලියන 28133

2017/2018 - රු. මිලියන 29106

2018/2019 - රු. මිලියන 34169

2019/2020 - රු. මිලියන 42960

2020/2021 - රු. මිලියන 62545

2021/2022 - රු. මිලියන 87789

2023 පළමු මාස 6 - රු. මිලියන 39590

 

 

හරිනිගේ තඩි බොරුව…

 

ඒ අනුව, වසර 2015 සිට 2023 වසරේ පළමු මාස හය දක්වා එම සමාගම ලබා තිබෙන සමස්ත ආදායම රුපියල් මිලියන 343,909 කි. මෙය අදහාගත නොහැකි අති දැවැන්ත ආදායමකි. මේ අගය තඩි බොරුවකි. ඒ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ කැබිනට් සගයෙකු වන වසන්ත සමරසිංහ පසුදින පාර්ලිමේන්තුවේදී හෙළි කළේ ය. ඔහුට අනුව අදාළ සමාගම වාර්තා කර තිබෙන ආදායම පහත දැක්වෙයි:

2015/2016 - රු. මිලියන 19.61

2016/2017 - රු. මිලියන 28.13

2017/2018 - රු. මිලියන 29.10

2018/2019 - රු. මිලියන 34.17

2019/2020 - රු. මිලියන 42.96

2020/2021 - රු. මිලියන 62.54

2021/2022 - රු. මිලියන 87.79

2023 පළමු මාස 6 - රු. මිලියන 39.59

 

 

හරිනි නොදන්නා දශම ස්ථාන..

 

ඒ අනුව, වසර 2015 සිට 2023 වසරේ පළමු මාස හය දක්වා එම සමාගම ලබා තිබෙන සමස්ත ආදායම රුපියල් මිලියන 344ට ආසන්නය. එනම් වසරක ආදායම රුපියල් මිලියන 46ක් පමණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මෙයට වඩා දහස් ගුණයකින් වැඩි අගයකි. ඇය දශම ස්ථානය නොසළකා හැර සමාගමේ ආදායම් වාර්තා ඉදිරිපත් කර තිබෙන බව පැහැදිලිය. එසේ නොමැති නම් ඇයට ඉදිරිපත් කර තිබූ වාර්තාව සකස් කළ නිළධාරීන් දශම ස්ථාන නොසළකා හැර තිබේ. දශම ස්ථාන තුනක් නොසළකා හැර තිබෙන විට අගය දහස් ගුණයකින් ඉහළ ගොස් තිබේ. මේ බව අදාළ සමාගම වන සුප්‍රීම්සැට් හි අනුබද්ධ සුප්‍රීම් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කංචන කොඩිතුවක්කු තහවුරු කර ඇත. තමන් රජයට නිවැරදි සංඛ්‍යා දත්ත ලබාදුන් අතර ඒවා වැරදි ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම පිලිබඳ වගකීම තම සමාගමට භාරගත නොහැකි බව ඔහු පවසයි.

 

 

සරළ අංක ගණිතය පිළිබඳ අර්බූදය..

 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රෝහිත රාජපක්ෂට සම්බන්ධ චන්ද්‍රිකා සමාගමේ ආදායම දහස් ගුණනකින් වැඩි කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මන්ද? මෙය පළමුව සරළ අංක ගණිතය පිළිබඳ ප්‍රශ්නයකි. අපේ රටේ කලා මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන මානව ශාස්ත්‍රීය බුද්ධිමතුන් මුහුණ දෙන අර්බූදයකි. ඔවුන්ට සරළ අංක ගණිතයේ දශම ස්ථාන, ලක්ෂය, කෝටිය, මිලියන, බිලියනයේ සංඛ්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් ඔවුන්ට මනා අවබෝධයක් නැත. එසේ නොමැති නම් වැඩි ප්‍රසිද්ධියක් නොමැති මෙවැනි සමාගමක වාර්ෂික ආදායම රුපියල් මිලියන 87789 (වසර 2020/2021) යැයි කියා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්නේ නැත. මෙය අපේ අධ්‍යාපන ක්‍රමයේ මූලික ගණිත සංකල්ප පැහැදිලි කිරීමේ අර්බූදයකි.

 

 

හරිනිගේ සාමාන්‍ය බුද්ධියේ තරම…

 

ආචාර්ය හරිනි අමරසූරිය යනු අපේ රටේ සිටින ප්‍රාමාණික බුද්ධිමතෙකි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඇයට සාමාන්‍ය බුද්ධියේ (common sense) අඩුවක් පවතියි. කැබිනට් ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ යොමුවන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ අදාළ ආයතනවල නිළධාරීන්ය. එහෙත් අදාළ නිළධාරීන් ඉදිරිපත් කරන පිළිතුරු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට පෙර අදාළ ඇමතිවරයා ප්‍රශ්නය මෙන්ම පිළිතුර මනා අවබෝධයකින් සිටිය යුතුය. එසේ වන්නේ අදාළ පිළිතුර මත පදනම්ව අතිරේක ප්‍රශ්න කිහිපයක් විමසීමට ප්‍රශ්න අසන මන්ත්‍රීවරයාට අවස්ථාව ලැබෙන බැවිනි. එහෙත් Supreme Sat සමාගම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රශ්නය මෙන්ම පිළිතුර පිළිබඳව නිසි අධ්‍යයනයක් කර නොමැති බව පැහැදිලිය. ඇය තමාට ලැබුණ ලිපිගොනුවේ පිළිතුර කිසිදු ඇහිල්ලක් බැලිල්ලිකින් තොරව ඉදිරිපත් කළාය. සාමාන්‍ය බුද්ධියක් සහිත ඕනෑම පුද්ගලයෙකු එම ලිඛිත පිළිතුර විනාඩි කිහිපයක් අධ්‍යයනය කළේ නම් එහි සැක කටයුතු මෙන් අපැහැදිලි ස්ථාන ගණනාවක් හඳුනාගත හැකිය.

 

 

චානකගේ දේශපාලන කුමන්ත්‍රණය..

 

පළමුව මේ ප්‍රශ්නය යොමුකරන්නේ කවුද යැයි සළකා බැලිය යුතුය. ප්‍රශ්නය යොමු කරන්නේ පොහොට්ටුවේ D.V චානක ය. චානක යනු රාජපක්ෂ පවුලේ අංක එකේ සට්ටැඹිරාළ කෙනෙකි. ඔහු රාජපක්ෂ පවුල අපහසුතාවයට පත්වන ප්‍රශ්නයක් අසන්නේ නැත. දෙවනුව මෙවැනි සමාගමකට වාර්ෂිකව රුපියල් බිලියන ගණනින් ආදායමක් ලබා ගැනීමට හැකි ද යන්න ගැන සිතා බැලිය යුතුව තිබිණි. තෙවනුව කිසිදු ප්‍රසිද්ධියක් නොමැති මේ සමාගම හරිනිගේ වචනයෙන් “ රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක්” ආයෝජනය කළේ කෙසේ දැයි විමසිය යුතුව තිබිණි. එහෙත් අවාසනාවකට ආචාර්ය හරිනි අමරසූරියට එම සාමාන්‍ය බුද්ධිය තිබුණේ නැත. එවැනි බුද්ධියක් තිබුණා නම් හරිනි අමරසූරිය D.V චානකගේ දේශපාලන ඇම කන්නේ නැත. මෙය බැලූ බැල්මට චානක, ආයෝජන මණ්ඩලයේ පොහොට්ටු ආධාරකරුවන් සමඟ එක්ව ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණයක් බව පැහැදිලිය.

 

 

දෙවන පුරවැසියාගේ වගකීම..

 

රටේ අග්‍රාමාත්‍යවරයා යනු රටේ දෙවන පුරවැසියාය. එම දෙවන පුරවැසියාට සිය තනතුර පිළිබඳ විශාල වගකීමක් තිබිය යුතුය. විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන විට එහි විශාල වගකීමක් සහ බරක් තිබේ. ඕනෑම හාල්පාරුවෙකු ලියාදෙන ප්‍රකාශයක් කිසිදු සොයා බැලීමකින් තොරව කියවන ගිරාපෝතක අග්‍රාමාත්‍යවරුන් අපට අවශ්‍ය නැත. රජයේ කණිෂ්ඨ පරිපාලන නිළධාරියෙකු පවා තමාට ලබා දෙන ලිපියකට දෑස පියාගෙන අත්සන් තබන්නේ නැත. රටට අවශ්‍ය වන්නේ අගමැති ධූරයේ වගකීම දරා ගැනීමට හැකි එම තනතුර බැබළවිය හැකි දෙවන පුරවැසියෙකි. අවාසනාවකට ආචාර්ය හරිනි අමරසූරිය අතින් තවම එම වගකීම ඉටුවී නැති බව කිව යුතුය. "අගමැතිතුමිය නම් උත්තර දෙන්නෙ, ඒක හරියට බලල ඒ තහවුරුව අරගෙන කියන්න ඕනෙ. ඒ නිසා පිළිතුරු ලබා දීම වැරැද්දක් නිලධාරීන් කරල තියෙනවා" වසන්ත සමරසිංහ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ විවේචනය සාධාරණය. අවාසනාවකට ඇය වැටී ඇත්තේ වසන්ත සමරසිංහලා, නලීන් හේවගේලා මට්ටමටය.

 

 

මහාචාර්ය තිස්ස විතාරණගෙන් ඉගෙන ගන්න..

 

රෝහිත රාජපක්ෂගේ Supreme Sat සමාගමේ ප්‍රශ්නය යනු දුෂ්කර පලාතක රජයේ පාසැලක සම්පත් පිළිබඳ විමසීමකට වඩා වෙනස්ය. වඩාත් තීරණාත්මකය. එහි විශාල දේශපාලන සංරචයක් තිබේ. රෝහිතගේ රොකට් ප්‍රශ්නය පිළිබඳ රාජපක්ෂ ආණ්ඩුවේ විද්‍යා සහ තාක්ෂණ ඇමතිවරයා වූ මහාචාර්ය තිස්ස විතාරණට පාර්ලිමේන්තුවේ දී මෙවැනිම ප්‍රශ්නයකට පිළිතුරුදීමට සිදුවිය. ඒ අවස්ථාවේ ඔහු කියා සිටියේ 'ශ්‍රී ලංකාව කිසිදු චන්ද්‍රිකාවක් ගුවන් ගත කර නොමැති' බවයි. ඔහු නිවැරදි ය. අදාළ සමාගම චීනය ගුවන් ගත කළ චන්ද්‍රිකාවක සේවා ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුවකට එළඹ සිටියි. එහි වරදක් නැත. එහෙත් ශ්‍රී ලංකාව චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවූ බවට රාජපක්ෂ රෙජීමය ගෙන ගිය ප්‍රචාරය පට්ටපල් බොරුවකි. හරිනිට පැරණි හැන්සාඩ් වාර්තා සොයා බැලුවේ නම් මෙයට වඩා නිවැරදි පිළිතුරක් ලබාදීමට හැකිව තිබිණි.

 

 

හරිනි රාජපක්ෂ බයියන්ගේ වීරයා බවට පත්වීම…

 

ආචාර්ය හරිනි අමරසූරිය වැලේ වැල් නොමැතිව සිටි රාජපක්ෂ බයියන්ට ශිශිරතරණයෙන් (hibernation) නැඟිටීමට අවස්ථාව ලබා දුන්නේ ය. එය මේ වනවිට පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත්, සමාජ මාධ්‍යයේත් අපූරුවට දැකිය හැක. අද රාජපක්ෂ බයියන්ගේ ගැලවුම්කාරයා සහ වීරයා වී සිටින්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ය. දේශපාලන සතුරන් තමන්ව උත්කර්ෂයට නංවන්නේ නම් තමන් කර තිබෙන දේශපාලන හානියේ, විනාශයේ තරම සිතා ගත හැකිය. හරිනිට රෝහිත රාජපක්ෂගේ චන්ද්‍රිකා ප්‍රශ්නයේ දේශපාලන බර සහ වගකීම තේරුම් ගැනීමට නොහැකි විය. එහි සමස්ත පාඩු දැන් මාලිමා ආණ්ඩුව සහ එය බලයට ගෙන ආ දේශපාලන බලවේගයේ කර මතට වැටී ඇත. ඒ හරහා යළිත් ප්‍රදර්ශනය වූයේ හරිනිගේ දේශපාලන නූගත්කම සහ දිළිඳුබවයි. ඇය වහාම තමන් අතින් සිදුවූ වරද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් නිවැරදි කළ යුතුය. තමා කළ යුතු නිවැරදි කිරීම අනෙකුත් තෝල්කයන් හරහා කිරීමෙන් පලක් නැත. වරදක් සිදු වූ විට වරද පිලිගෙන එය නිවැරදි කිරීමට තරම් මූලික සදාචාරයක් හරිනි අමරසූරියගෙන් අපි බලාපොරොත්තු වෙමු.

 

 

විචාර බුද්ධිය සහිත ගෝලීය පුරවැසියෙකු බිහිකිරීමේ අභියෝගය…

 

ආචාර්ය හරිනි අමරසූරිය කකුල කටේ දමාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. මෙයට පෙර කොළඹ චීන තානාපතිවරයා සහභාගී වූ රාජත්‍රාන්ත්‍රික උත්සවයකදී චීනය “Republic of China” නමින් හැඳින්වීය. Republic of China යනු තායිවානයේ නිළ නාමයයි. තායිවානය යනු චීනයේ පරම සතුරාය. තායිවානය රටක් වශයෙන් පිලිගන්නා බොහෝ රටවල් සමඟ චීනය රාජත්‍රාන්ත්‍රික සම්බන්ධතා පවත්වන්නේ නැත. තමාට ලියා දෙන ප්‍රකාශයක් කිසිදු සොයා බැලීමකින් තොරව කියවීම හේතුවෙන් එම අර්බූදය හට ගත්තේ ය.

 

පසුගිය දා රනිල් රාජපක්ෂලාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හොර උප්පැන්න සහතිකයක් ලියා ගැනීමට ගොස් ආචාර්ය හරිනි අමරසූරිය හත් පොලේ ගා ගත්තා ය. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා හරිනිට තමාව නිදසුනකට ගත හැකිය. ආචාර්ය උපාධියක් තිබුණත් තමාට නොමැති විචාර බුද්ධිය සහිත ගෝලීය පුරවැසියෙකු බිහි කළ හැකි මට්ටමේ නව අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීමට ඇය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමතිවරිය වශයෙන් අධිෂ්ඨාන කර ගත යුතු බව අපගේ විශ්වාසයයි.

 

 

@ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව

https://www.lankaenews.com/category/33

(උපුටාගැනීම - ලංකා ඊ නිව්ස්)

නවතම ලිපි