SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් හෝ ජාතික ජන බලවේගයේ

සාමාජිකයෙක් හෝ නොවන පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කල පුරවැසියෙක් ලෙස කිව යුතු කතාවක් තියෙනවා.  

 

ඒ කතාව තමයි මේ සටහනේ ඉදිරියට තියෙන්නෙ..

 

 

ජනාධිපතිවරයා පත්වෙලා අවුරුද්දකට ආසන්නයි. ආණ්ඩුවට මාස 10 විතර වෙනවා. මේ කාලය තුළ දැකපු දෙයක් තමයි ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙනකොට හරි ඇමතියෙක් මොකක්හරි කරල හරි කියල හරි නා ගන්නකොට, ආණ්ඩුව පච වෙනකොට ජනාධිපතිවරයා සිරසට හරි , පාර්ලිමේන්තුවට හරි ඇවිත් කතා කරල අවධානය වෙනතකට යොමුකිරීම..

 

ආසන්නතම සිදුවීම පෙරේදා පාර්ලිමේන්තුවේ දී හරිනි අගමැතිනිය SupremeSAT චන්ද්‍රිකාව ගැන කරපු ප්‍රකාශය. ඇත්තටම අගමැතිනියගෙ පිළිතුර ආණ්ඩුවට පාරාවළල්ලක් වුණා. මාලිමාවට ඡන්දය දීපු අය කළකිරුණා. ඒකෙන් පොහොට්ටුවට දේශපාලන වාසියක් ආවා. ඊයෙ ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් කතා කලේ පෙරේදා සිදුවීම යටපත් කරන්න හා එහි අවාසිය මඟ හරවාගන්න කියල දේශපාලනය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න අමාරු නෑ..

 

Truth about satellite launch and funding clear after 13 years

 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිත් හැමදාම කියන්නෙ එකම කතාව. ජනාධිපතිවරයා නිතරම පාර්ලිමේන්තු ඇවිත් හැමදාම එකම කතාව කියන්න ගියාම වෙන්නෙ ඔහු ගණන් ගන්නෙ නැති එක. ඇත්තෙන්ම එයින් හෑල්ලුවට ලක් වෙන්නෙ අනුර කුමාර දිසානායක ජනාධිපති පමණක් නෙවෙයි එම තනතුරත් හෑල්ලුවට ලක් වෙනවා..

 

අපි පෙර ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට පැමිණ කතා කරනවා දැකල තියෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ජනාධිපති කතා කරනකොට කවුරුවත් බාධා කරන්නෙ නෑ. ඒ වගෙම ජනාධිපතිවරයා තමන්ගෙ කතාව කරනවා මිසක් ඉදිරියේ ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු සමඟ සංවාද ස්වරූපයෙන් කතා කරේ නෑ. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදි ඉදිරිපස ඉන්න විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙ නම් කියමින් ඔවුන් සමග සංවාදයේ යෙදෙමින් , ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් ඒ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් , කෑගැසීම් මැද්දෙ තමයි කතා කරන්නෙ. ඇත්තටම එවැනි පරිචයක් ජනාධිපති තනතුරට ගැලපෙන්නෙ නෑ.

 

 

පොළොවේ පය ගහල ඉන්න එක වෙනම කතාවක්. ඒත් තනතුරට ලැබිය යුතු ගෞරවය අභිමානය ආරක්ෂා විය යුතුයි. එහෙම නැති උනොත් හැම එකාම ගණන් ගන්නෙ නැති ජෝක්කාරයෙක් වෙනවා. තනතුරේ ගෞරවය අභිමානය ඉබේම ආරක්ෂා වෙන්නෙ නෑ. ඒක ආරක්ෂා වෙන්නෙ අදාළ තැනැත්තාගේ ක්‍රියාකාරිත්වය අනුව..

 

 

ඊයෙ ජනාධිපතිවරයා කිව්වා රාජ්‍යය වැට්ටීමට කුමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවා කියල. රාජ්‍යය හා ආණ්ඩුව කියන්නෙ දෙකක්. රාජ්‍යය වට්ටන්න කටයුතු කරනවා කියන්නෙ ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකට එරෙහිව ගන්න ඕනි තරම් නෛතික ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පනතේ හා මහජන ආරක්ෂක ආඥා පනතේ තියෙනවා. මුළු රාජ්‍යය යාන්ත්‍රණයම තමන් යටතේ තියෙන්නෙ. ජනාධිපති , ආරක්ෂක ඇමති , සන්නද්ධ සේවාවන්හි අණදෙන නිලධාරී අනුර. ඒ හින්දා රාජ්‍යයට එරෙහිව මොනම හෝ ක්‍රියාවක් කරනවනම් ඒක කිය කියා , මතක් කර කර , බය කර කර ඉන්නෙ නැතුව නීතිය ක්‍රියාත්මක වීමයි කල යුත්තෙ..

 

තව එකක් ආණ්ඩුව වට්ටන්න ඕනෑම ක්‍රියාවක් කරන්න පුලුවන්. ආණ්ඩුව කියන්නෙ රාජ්‍ය නෙවෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ලංකා ඉතිහාසයේ ඕන තරම් ඒවට උදාහරණ තියෙනවා. 2022 අරගලයත් එහෙම එකක්. විපක්ෂයට ඡන්දයකින් තොරව පාලන බලය ගන්න පුලුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදියි. ඒ හින්දා ආණ්ඩුව කල යුත්තේ විපක්ෂයේ ආණ්ඩු පෙරළීමේ වෑයම විවේචනය කිරීම හෝ තර්ජනය කිරීම නෙවෙයි , එවැනි අවස්ථාවන් උදා නොකිරීමට වගබලා ගැනීම..

 

ජනාධිපතිවරයා ඊයෙත් කිව්වා හමුදා කදවුරකින් T 56 හැත්තෑ පහක් පාතාලයට යාම ගැන. මම ඕක ජනාධිපතිවරයගෙන් විසි වතාවකට වඩා අහල තියෙනවා. අහලම එපා වෙලා. කියව කියව ඉන්නෙ නැතුව ඒවා හොයගන්න. ඔයාලගෙ ආණ්ඩුවක් තියෙන්නෙ. ඕක තවදුරටත් කීමෙන් ප්‍රදර්ශනය වෙන්නෙ නොහැකියාව..

 

 

ඔය ගිනි අවි වගෙම ආර්ථිකයෙ , දේශපාලනයෙ ප්‍රගමනයට ඇති සම්ප්‍රදායික බාධා ගැන කලින් වගෙම ඊයෙත් කිව්වා. විධායක ජනාධිපතිකම , 2/3 පාර්ලිමේන්තුව , පළාත් පාලන ආයතනවල වැඩි බලයක් දුන්නෙ තමන්ට ඕනි නිලධාරීන් පත් කරල , ඕන නැති අය අයින් කරල ඒ ඒ ක්ෂේත්‍රවල වෙනස්කම් ඇති කරන්න මිසක් කෙඳිරි ගාන්න නෙවෙයි..

 

 

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දශක ගණනාවක් මිනිසුන්ට කතා කලා විපක්ෂෙ ඉන්නකොට. දැන් ඔයාල ආණ්ඩු කරන්නෙ. ආණ්ඩු කිරීම කියන්නෙ කයිය ගැසීම නෙවෙයි වැඩ කිරීම. කයිය ගැසීම අයිති විපක්ෂයට. මොකද විපක්ෂයට වෙන කරන්න වැඩක් නෑනෙ. කයිය ගහන්න ඕනිම නම් වැඩ කරල කයිය ගහන්න..

 

 

ආණ්ඩුවේ ඉන්න ඇතැම් මැති ඇමතිවරු කතා නොකර කට පියාගෙන ඉන්නවනම් ජනාධිපතිවරයාට සිරසට හා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථා සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. සුනිල් හඳුන්නෙත්ති , ලාල් කාන්ත , වසන්ත සමරසිංහ , නාමල් කරුණාරත්න , නලින් හේවගේ , නිලන්ති කොට්ටහච්චි , ලක්මාලි හේමචන්ද්‍ර වගෙ අය කතා නොකර ඉන්න තරමට ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා වෙනවා..

 

 

ආණ්ඩුවේ ඇතැම් වැඩ ජනතාව වෙත සන්නිවේදනය කිරීම ඉතාමත් දුර්වලයි. ඒ දුර්වලකම හින්දා සමාජගත වෙන්නෙ විපක්ෂය හා සමාජ මාධ්‍ය ගොතන ලද , විකෘති කරන ලද තොරතුරු. ආසන්නතම උදාහරණය තමයි අගමැතිනිය ඉදිරිපත් කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. තම අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ සන්නිවේදනය කිරීමේ නොහැකියාවෙන් අංක එක අගමැතිනිය..

 

 

ලංකාව කියන්නෙ පසුගිය දශක ගණනාවක අපරාධ රාජ්‍යයක්. දේශපාලන කාරණා උදෙසා මිනිමැරීම් , පැහැරගෙන යාම් , අතුරුදහන් කිරීම් , කප්පම් ගැනීම් , දේපොළ මංකොල්ලකෑම් , සොරකම් , රාජ්‍ය දේපළ සොරකම් , වංචා කිරීම් , සාවද්‍ය පරිහරණය කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුවයි..

 

 

ඔය සියලු ආකාරයේ අපරාධ සඳහා ලංකාවේ දැනට පවතින නීතිය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. ගැටලුව තියෙන්නෙ නීතියේ නෙවෙයි නීතිය ක්‍රියාත්මක නොවීමේ. පෙර පැවති ආණ්ඩු සමයන්හි කල අපරාධ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමේ අරමුණකින් තොරව විය යුත්තක්..

 

දේශපාලන විරුද්ධවාදියටත් දරුණුම අපරාධකාරයටත් නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක විය යුත්තෙ සමානව..

 

 

ජනාධිපතිවරය ඊයෙත් ඉන් පෙරත් දිගින් දිගටම කිව්වා පසුගිය රජයන් සමයේ කරපු අපරාධ සඳහා පවතින නීති මදිනම් අලුතෙන් නීති හදල හරි දඬුවම් කරනවා කියල. මම ඒක සලකන්නෙ පළිගැනීමේ අදහසින් ද්වේෂයෙන් කරපු කතාවක් විදිහට..

 

 

මම එහෙම කියන්නෙ කරුණු දෙකක් මත. එක, ඒ සියලු වැරදිවලට දඩුවම් කරන්න පුලුවන් නෛතික ප්‍රතිපාදන දැනටමත් තියෙනවා..

 

දෙවෙනි කාරණය අතීතයට බලපාන දණ්ඩන නීති පනවන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (6) ව්‍යවස්ථාවේ ඒ බව සඳහන් වෙනවා. එහි අතුරු විධානය අනුව ඉතාමත් සීමිත අවස්ථාවක් තිබෙනවා අතීතයට බලපාන දණ්ඩන නීති පනවන්න. හැබැයි ඒක හරියට කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි..

 

උපුල් අබේවික්‍රම අය්යෙ ඔයා පාර්ලිමේන්තුවේ ඉන්නවනෙ. ජනාධිපතිවරයාට අතීතයට බලපාන දණ්ඩන නීති ගැන නෛතික තත්ත්වය කියන්න. හර්ෂන නානායක්කාර ගරු අධිකරණ ඇමැතිතුමා ඔබතුමා දීර්ඝ කාලයක් අපරාධ අධිකරණවල කටයුතු කල ජ්‍යේෂ්ඨ නීතිඥයෙක්. ඔබතුමාට ජනාධිපතිතුමාට එකී නෛතික තත්ත්වය ඒත්තු ගැන්වීම සැණකින් කරන්න පුලුවන්. මම එහෙම කරන්න කියල කියන්නෙ ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට යාමක් විද්‍යාමාන වෙන නිසා..

 

දේශපාලන බලය භාවිතා කර කල අපරාධ සඳහා නඩු පවරල තියෙන්නෙ කොළඹ. කොළඹ මහාධිකරණවලට තිබෙන නඩු ප්‍රමාණය අනුව නඩු දින දෙකක් අතර අඩුම මාස 4 ට වඩා වැඩි දිනයක් යනවා. එවැනි අපරාධ සඳහා දඬුවම් පැමිණවීමට අවංක උවමනාවක් තියෙනවනම් කරන්න ඕනි කොළඹ මහාධිකරණ ප්‍රමාණය වැඩි කිරීමට පහසුකම් සැලසීමයි..

 

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැන මම මේ විවේචනාත්මක සටහන ලිව්වෙ එකම එක හේතුවක් නිසා. ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව විශ්වාස කරන්නෙ ජනාධිපතිවරයා පමණයි. ඔවුන්ට ආණ්ඩුවේ මැති ඇමතිවරු ගැන විශ්වාසයක් නෑ. ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් ඇතැම් විපක්ෂ අය පවා අනුර කුමාර ජනාධිපතිවරයා ගැන විශ්වාසයකින් ඉන්නෙ. අන්න ඒ විශ්වාසය ජනාධිපතිවරයාගේ ඉහත ක්‍රියා හේතුවෙන් බිඳ වැටුනොත් එදාට මිනිස්සු බලාපොරොත්තු දහසක් පෙරදැරිව ගොඩ නගාගත් ආණ්ඩුව ස්ථීර ලෙසම බිඳ වැටීම ආරම්භ වෙනවා.

 

මේ විපක්ෂයට ආණ්ඩුව වට්ටන්න බෑ. හැබැයි ආණ්ඩුවට පුලුවන් ආණ්ඩුව වට්ටගන්න..

 

 

Chathuranga Amarathunga fb page

නවතම ලිපි