SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලින් කලට මෙරට පුවත් මවන්නෙකු වන, මහා පරිමාණ සහල් මෝල් හිමියකු හා ව්‍යවසායකයෙකු ද වන

ඩඩ්ලි සිරිසේන මේ වන විට යළිත් කතාබහට ලක්ව ඇත්තේ, ඔහු හිමිකාරීත්වය දරන තරු පන්තියේ හෝටලයක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කළ ප්‍රකාශයත් සමග ය.

 

 

මෙරට වැව් රක්ෂිත 23ක සීමා සලකුණු කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර, ඊට අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය, මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ලකන්ද වැව ඇතුළු වැව් 23ක් ඇතුළත් වේ.

 

 

"වැවේ මායිම වැවට දිය යුතු ම යි. ඒ වැඩේ අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. එතකොට වැව් තාවුල් අස්සේ ඉන්න අත්පුඩි ගහපු අයටත් වැවෙන් එළියට යන්න වෙනවා. වන්දි ඉල්ලන්න එන්න එපා, වන්දි දෙන්න ඕන රජයට තමන් වැව් තාවුල්ල අස්සට ආවාට,"

යැයි අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින් කියා සිටියේ ය.

 

 

'ඩඩ්ලි සිරිසේන ද, අපිට එකෙක්වත් ලොකු නෑ'


එමෙන් ම, ජූලි 20 වන දා තඹුත්තේගම පැවති උත්සවයකට සහභාගි වෙමින් වැව් රක්ෂිත නම් කිරීමේ වැඩසටහනට පොළොන්නරුව ඇතුළත් නොවීම ගැන ද අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේ ය.

 

"සමහරු අහනවා අර පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ තියෙනවා ලු ඩඩ්ලිගේ හෝටලේ. ඒක දාලා නැහැ ලු මේ පාර මේ වැඩේට. ඉතින් ඕන කෙනෙක් ඕන එකක් කියා ගත්තාවේ. වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ අපි ඒක තෝර ගත්ත ක්‍රමවේදයක් තියෙනවා. මුදල් ප්‍රමාණය ඒකට අදාළ යි. හැබැයි අපි අදියරෙන් අදියර යනවා. මේ අවුරුද්දේ ඔක්කොම වෙන්නෑ,"

ඔහු පැවසුවේ ය.

 

"මොක ද ඒ වැඩේට මේ අවුරුද්දේ අපට තියෙන්නෙ මිලියන 100 යි. එතකොට මිලියන සීයෙන් ඔක්කොම කරන්න බෑ. හැබැයි ඕගොල්ලන්ටත් සහතිකව කියන්නම්, ඕගොල්ලොත් වැව් තාවුලුවල ඉන්නවා නම් ඊයෙ පෙරේදාත් මම කිව්වා හෝටල් කරගෙන ඉන්න අය ඉන්නවා නම්, මොනවා කරගෙන හරි ඉන්න අය ඉන්නවා නම් අයින් කරන්න කලින් යන්න. අයින් කරනවා ම යි. ඒක ඩඩ්ලි සිරිසේන ද, අපිට එකෙක්වත් ලොකු නෑ,"

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.

 

 

ඇමති ලාල්කාන්තට පෙරටුගාමීන්ගෙන් අභියෝගයක්

 

කෙසේ වෙතත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයෙකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා අභියෝග කළේ, "හැකි නම් වැව් තාවුල්ලේ ඉදිකර ඇති සුදු අරලිය හෝටලය ඇතුළු අනෙකුත් හෝටල් ඉවත් කර පෙන්වන"

ලෙස ය.

 

"අපි ලාල්කාන්තලාට කියනවා කයිවාරු ගහගහා ඉන්නේ නැතුව පුළුවන් නම් එන්න පොළොන්නරුවට ඇවිල්ලා සුදු අරලිය හෝටලය ඇතුළුව ඔය අනවසරයෙන් අල්ලන් ඉන්න මහා ධන කුවේරයන්ගේ හෝටල් ටික අයින් කරලා පෙන්වන්න,"

ඔහු පැවසුවේ ය.

 

 

'සුදු අරලිය හෝටලය බේර ගන්න අක්කර අඩි දහස් ගාණක ජලය අපතේ'

 

hotel sudu araliya

 


එමෙන් ම, සුදු අරලිය හෝටලය ජලයෙන් යටවීම වළක්වා ගැනීමට අක්කර අඩි දහස් ගණනක ජලයක් නාස්ති කරන බවට ඉන්ද්‍රානන්ද ද සිල්වා චෝදනා කළේ ය.

 

 

"පොළොන්නරුවේ හැමෝම දන්නවා ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හෝටලේ කොහොම ද පරාක්‍රම සමුද්‍රය අල්ලන් ඉන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඒ සුදු අරලිය හෝටලයේ ජනතාව රැස්වෙන විනෝද වෙන ස්ථානයට වතුර පිරිච්ච ගමන් දොර දහය ඇරෙනවා,"

ඔහු පවසයි.

 

 

"හැම දා ම පොළොන්නරුවේ ගොවියෝ පුදුමයට පත්වුණා කොහොම ද මේ වැහි දෙකෙන් තුනෙන් වැව් පිරුණේ, වැව් පිරිලා නෑ හැබැයි දොර දහය අරිනවා. දොර දහය ඇරියේ වෙන මුකුත් හින්දා නෙමයි ඩඩ්ලිගේ හෝටලේ, සුදු අරලිය හෝටලේ පිටිපස්ස පිරෙන හින්දා ඔහු ඉංජිනේරුවන්ට ජරාව දීලා හැමදාමත් දොර දහය ඇරලා අක්කර අඩි දාස් ගාණක් අපතේ යැව්වා."

 

 

'අපිට අයින් කරන්න තියෙන්නේ හෝටලය තියෙද්දි වැඩිපුර වැවට අල්ල ගත්ත කෑල්ලේ වැට විතර යි'


තඹුත්තේගම පැවති උත්සවයේදී අදහස් දැක්වීමෙන් දින කිහිපයකට පසු, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මොනරාගල පැවති උත්සවයකදී ද මේ සම්බන්ධයෙන් යළි අදහස් පළ කළේ ය.

 

එහිදී ඔහු කියා සිටියේ, හෝටලය ඉදිකර ඇත්තේ, වාරිමාර්ග කොටසක නොවන බව ය.

 

"දැනට වාර්තා වන විදිහට අයින් කරනවා නම් අපිට කරන්න තියෙන්නේ හෝටලය තියෙද්දි වැඩිපුර වැවට අල්ල ගත්ත කෑල්ලේ වැට ගලවන්න විතර යි. මං දන්නේ නැහැ හරි ද නැද්ද කියලා. දැනට තියෙන තොරතුරු අනුව. මේ තොරතුරු අපිට තව දෙන්න. අපි දැන් වාර්මාර්ගෙට දීලා තියෙනවා තොරතුරු ඒ වෙනුවෙන් ගන්න. මට මැප් එක එවලා තියෙනවා. ඒ එවපු මැප් එකට අනුව අරලිය හෝටලය තියෙන කෑල්ල වාරිමාර්ගෙට අයිති එකක් නෙමෙයි. මට ඇවිල්ලා තියෙන තොරතුරු,"

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ ය.

 

 

'අපේ කට්ටියත් කීප දෙනෙක් ඉන්නවා'

 

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත එහිදී මෙසේ ද පැවසීය.

"දැන් අනුරාධපුර නුවරවැව සුද්ධ කරන්න යනෙකාට මට වාර්තා වෙලා තියෙනවා. අපේ කට්ටියත් කීප දෙනෙක් ඉන්නවා. ඒ ගොල්ලන්ට මං කිව්වා ඔක්කොට ම කලින් උඹලා ප්‍රෙස් එකක් තියලා කියලා අපි ස්වේච්ඡාවෙන් යනවා කියලා කියපල්ලා. අපේ එවුන්ට. අපි ජාතික වැඩ නේ මේ කරන්නේ. අපිට අපේ එකා ද වෙන දේශපාලන පක්ෂයක එකෙක් ද? අර ඩඩ්ලි ද? එහෙම නැත්තම් ඩඩ්ලිගේ තව කවුරුහරි ද? ඒවා මේවා අපිට අදාළ නෑ. ජාතික වැඩක් මේක. අපි කරේ නැත්නම් හොඳට මතක තියා ගන්න ගොවි මහත්වරු ගොවි සංගම්, මේ අණ්ඩුව මේවා නොකළොත් වෙන එකෙක්වත් මේවා කරන්නේත් නෑ. ස්ථීර යි."

 

 

ඩඩ්ලි සිරිසේන වැට ගලවයි ද?

 

 

"අරකගේ හෝටලේ මේකගේ හෝටලේ අපිට වැඩක් නෑ. හැබැයි අපි වැඩක් කරනකොට අපේ සීමාවට අදාළ ටික අපි සුද්ධ කරනවා. අපිට වැඩක් නෑ කවුද ඉන්නේ කියලා. ඒ ගොල්ලන්ට තියෙන්නේ කල්වේලා ඇතිව ම යන්න. නිකං පොලිසියෙන් ගෙන්නලා , නිලධාරීන් ගෙන්නලා, වැටවල් කඩන්න බැකෝ දාලා, වෙන්න කලින් පලයල්ලා. ඒක තමා අපිට කියන්න තියෙන්නේ,"

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසීය.

 

පොලොන්නරුව අරලිය හෝටලය සම්බන්ධයෙන් මතුව ඇති මෙම සංවාදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අරලිය ව්‍යාපාරයේ හිමිකාර ඩඩ්ලි සිරිසේනගෙන් බීබීසී සිංහල විමසා සිටියේ ය.

 

"ප්‍රශ්නෙ ඔයාට තියෙන නිසා ඒක ඔයාගේ ප්‍රශ්නයක්... මට ප්‍රශ්නයක් නෑ"

"මම එහෙම කිව්වයි කියන්න,"

යැයි ඩඩ්ලි සිරිසේන බීබීසී සිංහල වෙත පැවසීය.

 

 

"ප්‍රශ්න තියෙනවා නම් ඒක ප්‍රශ්න විදිහට විසඳ ගත්තට ඒකේ කිසි ගැටලුවකුත් නෑ," ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

'කොරල් පරයට හානි කළ අරලිය හෝටලයේ පාර'

 

මෙරට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන හෝටල් ජාලයක හිමිකාරීත්වය දරයි.

 

උණවටුනේ පිහිටි අරලිය බීච් රිසෝර්ට් හෝටලය, නුවරඑළියේ අරලිය ග්‍රීන් සිටි හෝටලය, අරලිය ග්‍රීන් හිල්ස් හෝටලය සහ එහි ම පිහිටි අරලිය රෙඩ් හෝටලය සහ පොළොන්නරුවේ සුදු අරලිය හෝටලය ද ඔහු හිමිකාරීත්වය දරන හෝටල් සමූහයට අයත් වේ.

 

Ravindra Kariyawasam

ආණ්ඩුවේ පරිසර උපදේශක රවීන්ද්‍ර කාරියවසම්

 

උණවටුනේ පිහිටි අරලිය බීච් හෝටලය ඉදිකිරිමේදී රූමස්සල, උණවටුන, බොනවිස්ටා කොරල් පරය ඇතුළු පරිසර පද්ධතියට හානි වූ බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් 2021 වසරේ සිය ෆේස්බුක් සටහනක දක්වා තිබිණි.

 

එම හෝටලයට පිවිසීම සඳහා අඩි 20ක් පළල විශාල මාර්ගයක් ඉදිකිරීම හරහා එම හානිය සිදුව ඇති බවට ඔහු පෙන්වා දී තිබිණි.

 

ඔහුගේ ෆේස්බුක් සටහනේ උපුටා ගැනීම පහත පරිදි ය.

 

 

"උණවටුන මුහුදු තීරයට යාබදව ඉදිවන අරලිය හෝටල් සංකීර්ණය නිසා මෙම ප්‍රදේශයට අත්වන්නේ බරපතළ පාරිසරික විනාශයකි. ආතර් සී. ක්ලාක් විද්වතාණන් විසින් ලියන ලද බොහෝ පර්යේෂණ පත්‍රිකාවල රූමස්සල හා උණවටුන අවට ප්‍රාදේශයේ විවිධ ගුරුත්වාකර්ෂණ තත්ත්වයන් හා එහි වෙනස් වීම සම්බන්ධව දක්වා ඇත. ඒ අනුව, තට්ටු 16ක පමණ උස ගොඩනැගිල්ලක් නිසා මෙම ප්‍රදේශයේ හා 2003 වර්ෂයේ අංක 1269/25 යටතේ අභය භූමියක් ලෙස නම් කරන ලද රූමස්සලට ඉදිරියේදී දැවැන්ත හානියක් සිදු විය හැකි ය. දැනටමත් අරලිය හොටලයේ ඉදිකිරීම් කරගෙන යන අතර, බර යන්ත්‍ර භාවිතය නිසා ප්‍රදේශය ම දෙදරුම් කෑමට ලක්වෙමින් ඇත."

 

 

මල් කඩොල් (Bruguiear sexangula), මූන මල් (Mimusops elengi), දිය දඟ (Dolichandrone spathacea) යන ශාඛ ඇතුළු ශාඛ විශේෂ සියයකට අධික ප්‍රමාණයක් මෙන් ම හෝටලය ඉදිවූ පරිශ්‍රය තුළ ජාතික වශයෙන් අවදානමට ලක්ව ඇති ශාක විශේෂ කිහිපයක් දැක ගත හැකි බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් එම සටහනේ දක්වා ඇත.

 

එම සටහන තැබූ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් දැන් පරිසර අමාත්‍යංශයේ උපදේශකවරයෙකි.

 

@BBC sinhala

නවතම ලිපි