ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණු 2026 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය
යළි පවත්වන ලෙස ඉල්ලා ආරම්භ කළ අන්තර්ජාල පෙත්සමකට අත්සන් ලක්ෂය ඉක්මවා ලැබී ඇති බව දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
නිව් ජර්සි හිදී පැවති මෙම තීරණාත්මක අවසන් මහා තරගයෙන් ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල 1-0ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් විය. නියමිත කාලය අවසන් වීමෙන් පසු ලබා දුන් අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී ෆෙරන් ටොරස් විසින් වාර්තා කළ ජයග්‍රාහී ගෝලයත් සමඟින්, ලුයිස් ඩෙලා ෆුවෙන්ටේගේ (Luis de la Fuente) පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කළ ස්පාඤ්ඤ කණ්ඩායම සිය පාපන්දු ඉතිහාසයේ දෙවන වරටත් ලෝක කුසලානය ඔසවා තැබීමට සමත් විය.
මෙම පරාජය ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයින්ට දැඩි කම්පනයක් ගෙන දුන් අතර, 1962 වසරේ බ්‍රසීලය විසින් පිහිටුවූ වාර්තාවෙන් පසු පිට පිටම ලෝක කුසලාන දෙකක් දිනා ගත් පළමු රට බවට පත්වීමේ ආර්ජන්ටිනාවේ බලාපොරොත්තුවද මේ සමඟම බිඳ වැටුණි.
කෙසේ වෙතත්, මෙම පරාජය පිළිගැනීමට අකමැති වූ ආර්ජන්ටිනා පාපන්දු ලෝලීන් 100,000කට වැඩි පිරිසක් තරගය යළි පවත්වන ලෙස ඉල්ලා ලෝක පාපන්දු සම්මේලනයට (FIFA) බල කරමින් Change.org හරහා අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබා ඇත. ගිසෙලා සන්චෙස් නැමැති ආර්ජන්ටිනා පාපන්දු ලෝලියෙකු විසින් ආරම්භ කරන ලද මෙම පෙත්සමට පසුගිය සෙනසුරාදා වන විටත් තහවුරු කළ අත්සන් 101,613ක් ලැබී තිබූ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඇතුළු විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ස්ලෝවේනියානු ජාතික ප්‍රධාන විනිසුරු ස්ලාව්කෝ වින්සික් විසින් ලබා දුන් ආන්දෝලනාත්මක තීරණ මාලාවක් තරගයේ ප්‍රතිඵලයට ඍජුවම බලපෑම් කළ බවට මෙම පෙත්සමෙන් චෝදනා කර ඇති අතර, ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසද FIFA ආයතනයෙන් එහි වැඩිදුරටත් ඉල්ලා තිබේ.
නමුත් වඩාත් විශේෂිතම කරුණ වන්නේ, මෙම පරාජයට හේතුව විනිසුරුවරයාගේ තීරණ බවට එල්ල වන චෝදනා ආර්ජන්ටිනා පාපන්දු බලධාරීන් විසින්ම මේ වන විටත් ප්‍රතික්ෂේප කර තිබීමයි. කෙසේ නමුත් මෙම පෙත්සම හේතුවෙන් පාපන්දු ලෝකය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

