SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

2026 අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූනි 12 වැනිදා සිට

ජූලි 5 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ලොව ප්‍රබලතම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 12කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගයේදීම සත්කාරක එංගලන්තයට එරෙහිව තරග වැදීමේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇත. එම තරගය ජූනි 12 වැනිදා බර්මින්හැම්හිදී පැවැත්වීමට නියමිතය. වත්මන් ශූරියන් වන නවසීලන්තය ඔවුන්ගේ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊට පසුදින ක්‍රීඩා කරනු ඇත.

 

 t20_20261.jpeg

 

අවසන් පූර්ව සහ අවසන් මහා තරගයට පෙර මූලික වටයේ තරග 30ක් පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට එක්වන කණ්ඩායම් 12 මූලික වටයේදී කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනු ඇත. ඒ අනුව 1 වන කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, නෙදර්ලන්තය, පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව තරග වදින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් වන 2 වන කාණ්ඩයට එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ඇතුළත් වේ.

 

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තරග කාලසටහන

එංගලන්තයේ ප්‍රධාන ක්‍රීඩාංගණ 7ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන මූලික වටයේ තරග කාලසටහන පහත පරිදි වේ.

 

දිනය (2026) ප්‍රතිවාදී කණ්ඩායම වේලාව (ශ්‍රී ලංකා සම්මත වේලාවෙන්)
ජූනි 12 එංගලන්තය රාත්‍රී 11:00 ට
ජූනි 16 නවසීලන්තය රාත්‍රී 7:00 ට
ජූනි 21 බටහිර ඉන්දීය කොදෙව් පස්වරු 3:00 ට
ජූනි 23 අයර්ලන්තය රාත්‍රී 7:00 ට
ජූනි 26 ස්කොට්ලන්තය රාත්‍රී 11:00 ට

 

5c2dec74-3807-4b46-a59c-8717783279ec.jpeg

 

අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය

මෙවර තරගාවලියේ මූලික වටයේදී ප්‍රේක්ෂක අවධානය බෙහෙවින් දිනාගත් තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතය. ඒ අතරට ඉන්දියාව සහ පාකිස්ථානය (ජූනි 14), එංගලන්තය සහ නවසීලන්තය (ජූනි 27) මෙන්ම ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව (ජූනි 28) අතර පැවැත්වෙන තරග විශේෂ වේ.

 

මූලික වටයේදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. පළමු සහ දෙවන අවසන් පූර්ව තරග පිළිවෙළින් ජූනි 30 සහ ජූලි 02 යන දිනවලදී 'දි ඕවල්' (The Oval) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ කිරුළ හිමිකර ගන්නා ශූරියන් තීරණය කෙරෙන අවසන් මහා තරගය ජූලි 5 වැනිදා ඓතිහාසික 'ලෝඩ්ස්' (Lord's) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකාර ජයග්‍රහණ රැසක් හිමිකර ගනිමින් මෑතකාලීනව ඉහළ දස්කම් දක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මනා ආත්ම විශ්වාසයකිනි. එංගලන්තය සහ නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් රැසක් සමගින් 2 වන කාණ්ඩයෙන් තරග වැදීම අභියෝගාත්මක වුවද, නිසි ක්‍රීඩා සැලසුමකින් සහ සාමූහික හැඟීමකින් යුතුව ක්‍රීඩා කළහොත් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පැහැදිලි අවස්ථාවක් පවතී. ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ ශ්‍රී ලංකා නාමය යළිත් වරක් ඉහළින් ඔසවා තැබීමට, අභියෝග හමුවේ නොසැලෙන අපේ ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය නොඅඩුව ලැබේවායි මුළුමහත් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීහු එක සිතින් ප්‍රාර්ථනා කරති.

 

 #NIROMI SUBRAMANIEM

නවතම ලිපි