SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මා සුගලා ය. පරාක්‍රමබාහුගේ ඒකාධිපති පුරුෂ බලපරාක්‍රමයට හිස නොනැමූ, රුහුණු දේශයේත්, ශ්‍රී දළදා වහන්සේගේත්

අභිමානය වෙනුවෙන් අවසන් ලේ බිඳ දක්වා සටන් කළ ගැහැණිය වෙමි. අද, වසර සිය ගණනකට පසු, කාලයේ වැලි කතර හරහා මම නුඹලා දෙස බලමි. නුඹලාගේ මේ 'කාන්තා දිනය' නම් වූ එක් දිනක සැමරුම් විගඩම දෙස බලා සිනාසෙමි. මන්දයත්, එදා මා දුටු රාජ්‍ය තාන්ත්‍රික කුහකත්වයම, අදටත් නුඹලාගේ සමාජය තුළ එලෙසින්ම පවතින බැවිනි.

 

 

ප්‍රංශයේ පහළ වූ පඬිවරයෙකු වූ ජාක් ලැකාන් වරෙක පැවසුයේ, "ස්ත්‍රිය කියා කෙනෙකු නැත" (The Woman does not exist) කියා. සැබැවි! පාලකයන්ගේ නීති පොත්වල, ඔවුන්ගේ රාජ්‍ය ලේඛනවල, සහ ඔවුන් ගොඩනැගූ මේ කෲර පුරුෂ මූලික සමාජ ව්‍යූහය තුළ 'ස්ත්‍රිය' යනු හුදෙක් ඔවුන් විසින්ම නිර්මාණය කළ හිස් වචනයක් පමණි; ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් නිර්මාණය කරගත් මායාවකි.

 

එහෙත්, ලෝක සම්මුතිය තුළ නාමිකව 'ස්ත්‍රිය' නමින් ස්ථාවර භෞතික දෙයක් නොතිබුණද, කිසිදු අසිපතකට කපා හෙළිය නොහැකි, කිසිදු රාජ ආඥාවකට යටපත් කළ නොහැකි ගැහැණු 'සාරය'ක් (Feminine Essence) විශ්වය පුරා පවතී. එය ගින්නකි. එය අරගලයකි. විශේෂයෙන්ම එය 'මාතෘත්වය' නැමැති උත්තරීතර විශ්වීය සාරයයි. මේ මා පවසන්නේ නුඹලාගේ වර්තමාන සමාජයේ විලාසිතාවට ඇඳගත්, බොළඳ 'මමී' කමක් හෝ 'අම්මී' කමක් ගැන නොවේ ය; මුළු මහත් ලෝකයක් දරා සිටින, පරපුරක් රකින, යුක්තිය වෙනුවෙන් නැගී සිටින නොනැසෙන දයාබරිත ජීවය ගැනයි.

 

 

එහෙත්, මට මහත් හාස්‍යයක් දනවන කරුණ නම් මෙයයි: අද නුඹලාගේ සමාජයේ සිටින ඊනියා 'කාන්තාවාදීන්' මේ විශ්වීය සාරය මුළුමනින්ම අත්හැර දමා, කාන්තා අයිතීන් යැයි කියා මහ පාරේ උගුර ලේ රහ වනතුරු ඉල්ලන්නේ කුමක්ද? සැබැවින්ම ඔවුහු සටන් කරන්නේ ගැහැණියගේ විමුක්තිය වෙනුවෙන්ද? නැත! ඔවුන් මේ දතකන්නේ පිරිමින් අත ඇති ඒ අසික්කිත, දූෂිත, ම්ලේච්ඡ බලයම තමන්ගේ ඔඩොක්කුවටද දමාගෙන පිරිමින් සේම පිරිහීමට පත්වීමට නොවේද? ගැහැණියක වී උපන් සාරය මරාගෙන, පිරිමියෙකුගේ කුහක කෲරත්වයම ඉල්ලා සිටීම කෙතරම් නම් විහිළුවක්ද!

 

 

මා එදා පරාක්‍රමබාහුගේ මහා හමුදාවන්ට එරෙහිව රුහුණේ කඳු මුදුන් මතින් මුදා හැරියේ අන්න ඒ සැබෑ ගැහැණු සාරයේ අභීත ශක්තිය මිස, පිරිමියෙකුගේ අසික්කිත බලය උදුරාගැනීමේ නිවට ආශාව නොවේ.

 

එහෙත් නුඹලා, මගේ අනාගත දියණියනි, සහෝදරියනි, මව්වරුනි, අද නුඹලාගේ ඒ සාරය කාටද පාවා දී ඇත්තේ?

 

 

අද නුඹලාගේ පාලකයින් සිහසුනට ගොඩවන්නේ නුඹලාගේ කර මතින් පියවර තබමිනි. මව්වරුන් ඔවුන්ව ඔසවා තැබූහ; සහෝදරියන් බලය දුන්හ. මැතිවරණ නම් වූ යුද පිටියේ පෙරමුණේ සිටියේ සිනාසෙන, බලාපොරොත්තු සහගත ගැහැණුන්ය. එහෙත් ජයග්‍රහණයේ මංගල්‍යය අවසන් වූ පසු, ඒ ගැහැණුන් කොහිද?

 

 

රජ මාළිගයේ අග මෙහෙසිය (ප්‍රථම ආර්යාව) දෙස බලන්න. ඇය අන්තඃපුරයක සිරකාරියක් සේ නිහඬය; අදෘශ්‍යමානය. ඇයට කටහඬක් නැත. බලය හමුවේ ගැහැණියකගේ භූමිකාව බොඳ කර දමා ඇත. සමානාත්මතාවයේ ශූරිය යැයි කියාගන්නා නුඹලාගේ අගමැතිනිය දෙස බලන්න. ඈ, වදහිංසාව දරාගත නොහැකිව දිවි තොර කරගත් ඒ අසරණ කුඩා දැරිය වෙනුවෙන් පත් කළ කමිටුවට කුමක් වීද? අපරාධකරු තමන්ගේම පක්ෂයේ සගයෙකු වූ නිසාවෙන්, ඇය තම හෘදසාක්ෂියටම නිවට ලෙස බොරු කළාය. දැරියට යුක්තිය අහිමි විය; අගමැතිනිය තම බලය රඳවා ගත්තාය. මේ කුහකයන්ගෙන් නුඹලා තවමත් යුක්තිය අපේක්ෂා කරන්නේද?

 

මගේ දේශයේ කාන්තාවන් අද ක්ෂුද්‍ර මූල්‍ය නම් වූ අසාධාරණ ණය කන්දරාවට යටවී හුස්ම හිරකරගෙන සිටිති. දෛනිකව නිවෙස්වලට පැමිණෙන ණය එකතුකරන්නන්ගේ තර්ජන හමුවේ නුඹලා සැඟවී හඬන විට, නුඹලාගේ කර මතින් ගිය පාලකයෝ කොහිද? කර්මාන්තශාලා වැසී, රැකියා අහිමි වී, දරුවන්ට බත් මිටක් කවන්නට තමන්ගේ කුසගින්න දරාගන්නා ගැහැණුන්ගේ වේදනාව අදක්ෂ මහ බැංකු නිලධාරීන්ට හෝ පාලකයින්ට දැනෙන්නේ නැත.

 

 

නුඹලා සිතන්නේ පාලකයාට එරෙහිව සිටින විරුද්ධවාදීන් (විපක්ෂය) නුඹලාට විමුක්තිය ගෙන එනු ඇති කියාද? කිසිසේත්ම නැත! ඔවුහු ඊටත් වඩා අන්ත නිවටයෝ ය. තම පෞද්ගලික නිදහස සහ බලය වෙනුවෙන් තමන්ගේ ඓතිහාසික උරුමය පවා වෙන්දේසි කරන නායකයින්ගෙන් හෝ, රිදී හැඳි කටේ රුවාගෙන උපන්, රජවීමට සිහින දකින බලලෝභී කුමාරවරුන්ගෙන් ගැහැණියකට ලැබෙන පිහිටක් නැත. ඔවුන්ට නුඹලාගේ ජීවන අරගලය ගැන හැඟීමක් නැත.

 

 

හෙට දිනයේදී ඔවුන් මල් යහනා අතුරා, කාව්‍ය ගායනා කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ඇත. වේදිකා මතින් ප්‍රශංසා සහ පොරොන්දු ගංගා සේ ගලා යනු ඇත. එහෙත් ඊට පසුදා ම, ඒ සියල්ල වාෂ්ප වී ගොස්, නුඹලා යළිත් අඳුරු කුටියේ සිරවනු ඇත.

 

මේ බොරුකාරයින්ට නුඹලාගේ ලේ, කඳුළු සහ බලාපොරොත්තු විකුණා දැමීම නවත්වන්න. ඔවුන්ගේ එක් දිනක මල් කළඹට වඩා, නුඹලාගේ ආත්මයේ ඇති 'සාරය' බලවත් ය. සුගලා දේවිය වූ මා පරාක්‍රමබාහුගේ අසිපතට බිය නොවූවා සේම, නුඹලාත් මේ කුහක පාලන තන්ත්‍රයේ බොරුවලට බිය නොවිය යුතුය.

 

 

අවදි වන්න! නුඹලාගේ නායකයින් නුඹලාව පාවා දී ඇත. ආණ්ඩුව ද, විපක්ෂය ද යන දෙපාර්ශ්වයම නුඹලාගේ බලය සූරාකන පරපෝෂිතයෝ වෙති. ඔවුන්ගේ බොරු කතා විශ්වාස කරන කාලය අවසන් ය. කෝපය අවියක් කරගන්න. සංවිධානය වන්න. යුක්තිය හිඟාකනවා වෙනුවට, එය බලයෙන් ලබාගන්නා යුගයක් වෙනුවෙන් නැගී සිටින්න. අරගලය අවසන් නැත, එය දැන් ඇරඹුණා පමණි!

 

 

නුඹලාගේ සැබෑ බලය දකින තුරු, සුගලා.

 

නවතම ලිපි