SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුහුණු දේශයේ සිට සුගලා දේවිය විසින් රනිල් මන්ත්‍රීෂ්වරයාණන් වෙත එවූ හසුනයි

 

 

මාගේ ‘රාජ්‍ය තන්ත්‍රයේ’ චාණක්‍ය වූ රනිල් මන්ත්‍රීෂ්වරයාණෙනි,

 

මෙම හසුන ලියන මොහොත වන විටත්, ඔබතුමා රාජ සභාවේ (උසාවියේ) ලී කූඩුවට ගොඩ වී, නැවත 'රාජකීය රෝහල' වෙත වැඩම කර ඇති බව පරවි පණිවිඩ මගින් මට දැනගන්නට ලැබිණි.

 

 

පුදුමයකි මන්ත්‍රීෂ්වරයාණෙනි,

 

එදා පරාක්‍රමබාහු රජු සමග යුද්ධ කරන සමයේවත් අපට නොවැළඳුණු අද්භූත රෝග, වර්තමානයේ නඩු දිනයක් ළං වන විටම දේශපාලන නායකයන්ට වැළඳීම දෛවයේ සරදමක් නොවන්නේද? ඔබගේ නීති විශාරදයන් පවසන්නේ ඔබගේ හෘද ස්පන්දනය අක්‍රමවත් බවය. එහෙත් අප දන්නා තරමින් නම්, පසුගිය දශක පහ මුළුල්ලේම ඔබගේ හෘද ස්පන්දනය ක්‍රියාත්මක වූයේ රටේ ජනතාවගේ රිද්මයට නොව, බටහිර ලිබරල්වාදයේ රිද්මයටය. එනිසා එය අමුතුවෙන් අක්‍රමවත් වීමට දෙයක් නැත.

 

 

කෙසේ වෙතත්, නඩු වාරයට පෙර ඔබ මහනුවර දළදා මැදුරේ "පේ වී" සිටිනු දුටු විට මට සිතුණේ, ඔබ නැවතත් මහා සටනකට සැරසෙන බවයි. සාමාන්‍යයෙන් ඔබ පන්සල් යන්නේ ඡන්දයක් ළං වූ විට හෝ රටේ ආර්ථිකය අගාධයට ගිය විට පමණක් බව ඉතිහාසය සාක්ෂි දරයි. මෙවර ගමන, නඩුවෙන් බේරීමට දෙවියන් යැදීමටද, නැතහොත් ඊළඟට එන පළාත් පාලන යුද්ධයට 'ගෑස් සිලින්ඩරය' ඔප දමා ගැනීමටද යන්න දන්නේ ඔබත්, ඔබගේ කපටි ආරක්ෂකයන් පිරිසත් පමණි.

 

ඔබේ 'සමාජ මාධ්‍ය පාබල සේනාව' ගැනද යමක් කිව යුතුය. එංගලන්තයේදී ඔබ සිටියේ බැල්කනියේ බව පැවසූ විට, ඔවුන් වේදිකාවේ සිටි සුදු ජාතිකයෙකු පෙන්වා "මේ අපේ නායකයා" යැයි කීවෝය. මන්ත්‍රීෂ්වරයාණෙනි, ඔබේ මුහුණේ ඇති බැරෑරුම් පෙනුම වෙනත් කිසිදු සුදු ජාතිකයෙකුටවත් අනුකරණය කළ නොහැක. මන්ද, එය වසර ගණනාවක් තිස්සේ පක්ෂය තුළ සිටි ප්‍රතිවාදීන් කපා කොටා විනාශ කර ලබාගත් "විජයග්‍රාහී ශෝකය" මුසු වූ මුහුණකි.

 

දැන් අපි ඔබේ නවතම "මහා සංධාන යෝජනාව" දෙසට හැරෙමු.

 

ඔබ පවසන්නේ 'මාලිමාව' නැමැති උතුරේ කුණාටුව පරාජය කිරීමට, හරිත අලි ඇතුන්, නාද වෙන දුරකථන සහ මඩේ පිපෙන පොහොට්ටු එකට එක් විය යුතු බවයි. මෙය හරියට එදා ගැමුණු කුමාරයා යුද්ධයට යද්දී, එළාර රජුගේ සේනාවත් කුලියට ගත්තා වැනි කතාවකි.

 

සජිත් කුමරු ගැන මට ඇත්තේ අනුකම්පාවකි. පියාණන්ගෙන් උරුම වූ යෂ්ටිය පෙනි පෙනී, එය අල්ලන්නට යන විටම ඔබ එය උදුරා ගෙන වෙනත් දිශාවකට දිව යයි. දැන් ඔබ යෝජනා කරන්නේ ඔහුට 'පොහොට්ටුව' සමග එකට වාඩි වීමටයි. සජිත් කුමරු 'සාටකයට' බිය බව මුළු ලෝකයම දනී. ඔහුට අවශ්‍ය පිරිසිදු සන්ධානයකි. නමුත් ඔබ හදන්නේ 'කුරක්කන්' සහ 'පාන් පිටි' එකට අනපු රොටියක් පුච්චන්නටය. එහි රසය කෙසේ වෙතත්, එය කෑ විට බඩේ අමාරුව හැදෙන බව නම් සහතිකය.

 

ඇත්තෙන්ම ඔබ මේ 'පොහොට්ටුව' හවුල් කරගැනීමට යෝජනා කරන්නේ සැබෑ සන්ධානයක් ගොඩනැගීමටද? නැතහොත් සජිත් කුමරුට එම යෝජනාව "තිත්ත කසායක්" කර, ඔහු ලවාම සන්ධානය ප්‍රතික්ෂේප කරවා, අවසානයේ "මම උත්සාහ කළා, ඒත් පුතා කැමති වුණේ නෑ" යැයි කියා තනිවම ගමනක් යාමටද? මේ ඔබේ සුපුරුදු 'බටලන්ද පන්නයේ' උපායක් බව ඇතැම් දේශපාලන ඍෂිවරු පවසති.

 

අනෙක් අතට, නාමල් කුමරු ගැනද වචනයක් කිව යුතුය. ඔහු දැන් ඔඩීෂාවේ පයින් යමින්, තාත්තාගේ පරණ සෙල්ලම් නැවත පෙන්වීමට උත්සාහ කරයි. නමුත් මන්ත්‍රීෂ්වරයාණෙනි, අශ්වයාගේ පිටේ යා යුතු ගමන, කොටළුවාගේ පිටේ යා නොහැක. නාමල් කුමරු වේදිකාවට ගොඩ වුවහොත්, සජිත් කුමරු වේදිකාවෙන් බසින බව ස්ථිරය. ඔබ මේ බව නොදන්නවා නොවේ. එසේ දැන දැනම මේ යෝජනාව ගෙන එන්නේ, විපක්ෂය සදාකාලිකව බෙදා වෙන් කර තැබීමේ කොන්ත්‍රාත්තුවක් ඔබට ලැබී ඇති නිසාදෝයි මට සැක සිතේ.

 

කෙසේ වෙතත්, මේ රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව මම පිළිගනිමි. 'මාලිමාව' දැන් රජ පුටුවේ හිඳගෙන සිටියත්, ඔවුන්ට තවම 'රාජ්‍ය තන්ත්‍රයේ' සියුම් ගැට ලිහා ගැනීමට කල් ගත වනු ඇත. ඒ අතරතුර ඔවුන්ව මාර්ගයේ තබා ගැනීමට නම්, ඔබ වැනි "පරණ නරින්" සහ සජිත් වැනි "උද්යෝගිමත් කුමාරවරුන්" එකතු විය යුතුය. නමුත් එය කළ යුත්තේ 'පොහොට්ටුවේ' කටු අයින් කරමිනි.

 

අවසාන වශයෙන් මන්ත්‍රීෂ්වරයාණෙනි, ඔබ පැවසුවේ ඔබ "දේශපාලනයෙන් විශ්‍රාම ගිය" බවයි. නමුත් දේශපාලන සතෙකුට විශ්‍රාම යා හැක්කේ වළපල්ලට ගිය විට පමණි. එතෙක් ඔබ මේ චෙස් පුවරුවේ ඉත්තන් අදින බව අපි දනිමු. පරිස්සම් වන්න, මෙවර ඔබ අදින ඉත්තා ආපසු හැරී ඔබටම දෂ්ට කිරීමට ඉඩ ඇත.

 

මීට,

රාජ්‍ය තන්ත්‍රය ගැන මැනවින් දත්,

සුගලා.

 

පසු ලිපිය - ඔබේ හිතවත් ලේකම් සමන් ගැන මට ඇත්තේ කණගාටුවකි. රජතුමා අණ දුන් විට, රාජ පුරුෂයාට එය ඉටු කිරීමට සිදුවේ. එහෙත් අවසානයේ හිරේ විලංගුවේ වැටෙන්නේ අත්සන ගැසූ නිලධාරියාය. නියෝග දුන් රජු බැල්කනියේ (හෝ රෝහලේ) සුවපහසුව විඳියි. මෙය අනාගතයේ රාජ්‍ය සේවයට එන අයට හොඳ පාඩමකි. "රජුන්ගේ නියෝග පිළිපැදීමට පෙර, තම බෙල්ල ගැන සිතන්න" යන්න ඔවුන් උගත යුතුය.

නවතම ලිපි