පින්බර ජූනි මාසයේ පුර පසළොස්වක පෝය සඳ දිවයින ආලෝකමත් කරන විට,
ඉස්මතු වන්නේ ශ්‍රී ලංකාවට බුදුදහම දායාද වීම සනිටුහන් කරන පොසොන් පොහොය දින ගැඹුරු ආධ්‍යාත්මික වැදගත්කමයි.
ගත වූ සතිය පුරාවට මුළු දිවයින පුරා ආගමික උත්සව සමඟින් සමරනු ලැබූ මෙම පූජනීය පොසොන් උදාව අපට වැඩිදුරටත් සිහිපත් කරන්නේ, අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව විසින් අපට ප්රදානය කරන ලද එම අතිශය වටිනා දායාදය පිළිබඳ සංවේදී මතක් කිරීමක් සිදු කළ යුතු බවයි.
මීට සියවස් ගණනාවකට පෙර, ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් ගෞරවණීය මිහිඳු මහ රහතන් වහන්සේ, ලක්දිව මිහින්තලය දක්වා වැඩම කළේ බුදුන් වහන්සේගේ ප්රබුද්ධ ඉගැන්වීම් රැගෙන ය.
මෙම ඒකීය ක්‍රියාව ශ්‍රී ලංකාව මහත් සේ පරිවර්තනය කළ අතර, ඉදිරි සහස්ර ගණනාවක් පුරාවට අපගේ සංස්කෘතිය, දර්ශනය සහ ජාතික අනන්‍යතාවය හැඩගස්වා ගැනීමට එය පදනම විය. එය උතුම් පියවරකි. අපගේ සමාජයේ සෑම අංශයකටම ගලා යන අධ්‍යාත්මික සම්ප්‍රේෂණයකි.
බෞද්ධ ජාතියක් ලෙස, කෘතඥතාව අපගේ ආචාර ධර්ම තුළ ගැඹුරින් මුල් බැස ගෙන ඇති අතර, බුදුන් වහන්සේ විසින්ම 'අනිමිසලෝචන පූජාව' හරහා අලංකාරවත් ලෙස නිරූපණය කරන ලද්දේ ද එම මූලධර්මයයි. බුද්ධගයාවේ දී තමන් වහන්සේට බුද්ධත්වයට පත් වීමට පිට දුන් බෝධි වෘක්ෂයට උන්වහන්සේ ඉදිරිපත් කළ කෘතඥතාවයේ නොබිඳිය හැකි බැල්ම, අප සෑම දෙනාටම අගනා පාඩමක් වේ.
අප දෙරට අතර පවතින මෙම පුරාණ අධ්‍යාත්මික සම්බන්ධතාවයෙන් ඔබ්බට ද ගොස්, ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ සැබෑ කල්‍යාණ මිත්‍රයා බව නිරන්තරයෙන් ඔප්පු කර ඇත. විශේෂයෙන් මෑත වසරවලදී අප පෙර නොවූ විරූ සමාජ ආර්ථික අභියෝගවලට මුහුණ දුන් විටදී ඒ බව සක්සුදක් මෙන් සනාථ විය. එමෙන්ම 2017 මැයි මාසයේදී කොළඹ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව මෙම නොසැලෙන සහයෝගය විශේෂයෙන් දැකගත හැකි විය. මෙම සංචාරය තවදුරටත් දෙරටේ පවතින ගැඹුරු, ඓතිහාසික හා සංස්කෘතික සබඳතා අවධාරණය කළ අතර, එය වඩා ශක්තිමත් කරගැනීම සඳහා වේදිකාවක් ද විය.
තව ද ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් විට, අග්‍රගණ්‍ය සහයෝගීතාවයක් පෙන්නුම් කරමින් අප හට ආධාර ලබා දුන් පළමු රාජ්‍යය ඉන්දියාවයි. 2022 දී, ඉන්දියාව ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක බහුවිධ ආධාර ලබා දෙමින්, දරුණු ආර්ථික සහ වෙනත් හිඟයන් මඟහරවා ගැනීමටත්, මෙරට ආර්ථිකය ස්ථාවර එකක් බවත් පත් කරගැනීමටත් උපකාරී වූ ජීවනාලියක් බවට පත්විය.
එමෙන්ම එම ආධාර අතර, මෙරටට තීරණාත්මක ණය මාර්ග ද ඇතුළත් විය, ඒවා අතර:
* 2022 පෙබරවාරි මාසයේදී අත්‍යවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදන, ක්ෂණිකව මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය ආධාරයක්,
* 2022 මාර්තු මාසයේදී ආහාර සහ ඖෂධ වැනි තීරණාත්මක සැපයුම් ලබා ගැනීමට, ඇමරිකානු ඩොලර් බිලියන 1 ක සහනදායී ණය ආධාරයක්, (ඉන්දියාවේ තිරසාර කැපවීම පෙන්නුම් කරමින් මෙම ණය ආධාරය 2024 මාර්තු දක්වා තවදුරටත් දීර්ඝ කරන ලදී.)
* 2022 ජුනි මාසයේදී මෙරට කොඳු නාරටිය බඳු වූ කෘෂිකර්මාන්තයට සෘජුවම සහාය වෙමින් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 55 ක ණය ආධාරයක්,
මෙම තීරණාත්මක ණය ආධාර අතර විය. මෙරට අත්‍යවශ්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම බිඳ වැටීම වැළැක්වීම සඳහා මෙම මූල්‍ය මැදිහත්වීම් තීරණාත්මක සාධකය වූ අතර, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීමේ ගමන ආරම්භ කිරීමට අවශ්‍ය හුස්ම ගැනීමේ ඉඩක් ඉන්දියාව එලෙසින් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ අනාගතය මල්ඵල ගැන්වීම සඳහා ඉන්දියාව කළ ආයෝජනයන්...
ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය, ණය ආධාර ඉක්මවා යයි. පසුගිය දශකය තුළ, ඉන්දියාව විසින් මෙරටට සැලකිය යුතු ප්‍රදානයන් ලබා දී ඇති අතර, 2025 මුල් භාගය වන විට එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 780 කි. ආපසු ගෙවීමක් අවශ්‍ය නොවන මෙම ප්‍රදානයන්, අපගේ ජාතියේ සංවර්ධනය සහ යහපැවැත්ම සඳහා වන සෘජු ආයෝජන වේ. මෙම ප්‍රදානයන් බෙදා හැරීමට දියත් කරන ලද ව්‍යාපෘති සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 390 ක්, අඛණ්ඩ මුලපිරීම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 211 ක් සහ නල මාර්ග ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 180 කට ආසන්න මූල්‍ය ආයෝජනයක් අන්තර්ගත වේ.
එවන් ප්‍රදානයන් අතර;
* යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට සහ වතු ප්‍රජාවන්ට ප්රතිලාභ සැලසෙන නිවාස 60,000ක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 220ක් පමණ කැප කර ඇති ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය, (එය විදේශයක කළ ඉන්දියාවේ විශාලතම මූල්‍ය ප්‍රදානයයි.)
* සැලකිය යුතු මූල්‍ය සහනයක් ලබා දෙමින් සහ අව්‍යාජ සංවේදනය පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික ණය මුදලක් ප්‍රදානයන් බවට පරිවර්තනය කිරීම, (කන්කසන්තුරේ වරාය පුනරුත්ථාපනය කිරීම සහ දුම්රිය සංඥා ව්‍යාපෘති වැනි ව්‍යාපෘති මෙයට ඇතුළත් වේ.)
* මෙරට ඩිජිටල් පරිවර්තනයට සහාය වන ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (SLUDI) සඳහා ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 36 ක ආධාර ප්රදානය කිරීම,
* පසුගිය අර්බුදකාරී වාතාවරණය අතර ඖෂධ, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු මානුෂීය ආධාර ලබා දීම,
* දික්ඔය ප්‍රදේශයේ ඇඳන් 150 කින් යුත් බහු-විශේෂ රෝහල, ජීවනෝපාය ආධාර වැඩසටහන්, සිසුන් සඳහා ශිෂ්‍යත්ව සහ සිවිල් සේවකයින් සඳහා පුහුණුව ලබා දීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති,
* 2025 මුල් භාගයේදී ඇමරිකානු ඩොලර් මිලියන 391ක නව ආධාර පැකේජයක් සහ 2023 ජූලි මාසයේදී සිදු කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී රුපියල් කෝටි 75 ක ආධාර ප්‍රදානයන් සිදු කිරීම
ආදී ආධාර, ආයෝජන ප්‍රදානයන් කැපී පෙනේ.
පසුගිය දශකය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය ආධාර,
එරට සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන අප රට තුළ ස්ථාවරත්වය, වර්ධනය සහ සංවර්ධනය පෝෂණය කිරීම සඳහා ගැඹුරු මුල් බැසගත් කැපවීම නැවත නැවත අවධාරණය කරයි.
සුවිශේෂී ණය මාර්ග සහ සැලකිය යුතු ප්‍රදානයන් යන දෙකම ඇතුළත් මෙම පුළුල් සහයෝගය, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර ප්‍රගතිය කරා යන ගමනට සැලකිය යුතු ලෙස දායක වන විශ්වාසදායක සහ දයානුකම්පිත හවුල්කරුවෙකු ලෙස ඉන්දියාවේ භූමිකාව ඉස්මතු කරයි.
බෞද්ධ දර්ශනයේ උතුම් සාරයෙන් පෝෂණය වූ ජාතියක් ලෙස, අපගේ අසල්වැසියාගේ සහයෝගය අප කිසි විටෙකත් අමතක නොකළ යුතු ය. අද, හෙට සහ ඉදිරි වසර ගණනාවක් පුරාවට ඉන්දියාව සමඟ සහයෝගීතාවයෙන් සිටීම අපගේ සැබෑ යුතුකම සහ වගකීමයි. සත්‍ය වශයෙන්ම, සහස්ර ගණනාවක් තිස්සේ අප දෙරට බෙදාගත් උරුමයන් තුළ මුල් බැසගත් සහ සහයෝගීතාවයෙන් ශක්තිමත් වූ මෙම සදාකාලික මිත්‍රත්වය සැබැවින්ම 'ශ්‍රී ලංකාවේ අනාගතයේ අත්තිවාරමයි'
@ ආචාර්ය දමෙන්ද පෝරගේ,
කොළඹ,
ශ්‍රී ලංකාව.
(ඉංග්‍රීසි මුල් ලිපිය සිංහලට පරිවර්තනය කලේ,
සමාලි ධර්මදාස)