SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශපාලන රැස්වීමක් අවසානයේ ජනතාවගේ පරිත්‍යාග

දෝතට එකතු කිරීමේ සම්ප්‍රදාය රටට හඳුන්වා දුන්නේ විජේවීර සහෝදරයා විසිනි.

 


1970 අගෝස්තු මාසයේ කොළඹ හයිඩ් පිටියේ පැවති ජවිපෙ මංගල රැළියයේ සිය දීර්ඝ දේශනය අවසානයේ නිර්ධන පන්ති විප්ලවවාදී ව්‍යාපාරය ගොඩනගන්නට අපට හැකි අයුරින් ආධාර කරන්නැයි ඉල්ලමින් විජේවීර සහෝදරයා වේදිකාව ඉදිරිපස දෙපා පහළට දමා වාඩිවිය. රැස්කකා පැමිණි ජනතාව විජේවීර සහෝදරයාගේ දෝතට මුදල් පමණක් නොව කනකර රත්තරන්ද පරිත්‍යාග කළහ.



රැස්වීම ශ්‍රී ලංකාවේ කුමන පළාතක තිබුණත් වේදිකාවට ලැබෙන ආධාර ප්‍රදේශයේ සංවිධායක සහෝදරවරුන්ට භාරදී විජේවීර සහෝදරයා පිටව ගියේය. එහිදී අපූරු අත්දැකීම් වලට මුහුණ දෙන්නට ද විජේවීර සහෝදරයාට සිදුවිය. සිරගතව සිට 1978 නොවැම්බරයේ නිදහස ලැබීමෙන් පසු ප්‍රථම රැළිය නොවැම්බර් 7 වනදා කොළඹ නගර සභා පිටියේදී පැවැත්විණි. දෙවන රැළිය 1978 නොවැම්බර් 9 දා පවත්වන ලද්දේ වරකාපොළ නගරයේදීය.


එය සංවිධානය කරන ලද්දේ තුල්හිරිය රෙදි කම්හලේ සහෝදරවරුන් සහ කෑගල්ල ජවිපෙ දිස්ත්‍රික් සංවිධානයේ සහෝදරවරු ඒකාබද්ධවය.

විජේවීර සහෝදරයා ආධාර එකතු කිරීම සඳහා දෙපා පහළට දමා වේදිකාවේ බිම වාඩි වූ අතර ආධාර දීම පිණිස පහලින් විශාල පිරිසක් තදබද වූ නිසා මම විජේවීර සහෝදරයාගේ දෙපා අසලින් සිටගෙන සිටියෙමි. ඒ අතර සෙනඟ අතර තෙරපෙමින් සිටි කිසිවෙකු

"සහෝදරයා මාව අඳුනන්න පුළුවන්දැයි" හඬ නගා ඇසුවේය.

"හඳුනන්න බැරි මොකෝ, සහෝදරයලා අපිනෙ මේ පක්ෂය පටන් ගත්තේ "යි විජේවීර සහෝදරයා කීවේ ආධාර එකතු කරන කලබලය අස්සේය.

මම ඒ ගැන පසු අවස්ථාවක විජේවීර සහෝදරයා ගෙන ඇසුවෙමි.

"ඒ හිටියේ 1965 අක්මීමන මුල් සාකච්ඡාවට සහභාගි වූ විල්සන් දැදිගම මම කටහඬින් අඳුනාගත්තේ. අවුරුදු ගාණකින් හමුවෙලා තිබුණෙ නෑ. එයා ඉන්නෙ රුවන්වැල්ල පැත්තෙ. නැවත හමුවුනොත් සහෝදරයලා සම්බන්ධකම් තියාගන්න. "

රත්මලාන නගරයේ පැවති මහජන රැළියේදී සෙනඟ අතරින් තෙරපී පැමිණි
එක්තරා රුවැති තරුණියක් විජේවීර සහෝදරයා අත රුපියල් 100/= යේ නෝට්ටුවක් තැබුවාය. රුපියලේ, දෙකේ කොළ භාවිතා වූ එකල එය විශාල මුදලකි.



මේ සිදුවීම අපේ මාතෘකාවට විෂය වන්නේ මුදලේ ලොකුකම නිසාම නොවේ.
ඇගේ එම සත් ක්‍රියාව ඇය විසින් නැවත නැවතත් කිරීම නිසාය. රුපියල් සියයේ නෝට්ටුව දෙන්නේ එකම යුවතියක බැව්
විජේවීර සහෝදරයා දැනගත්තේ තුන්වන නෝට්ටුවත් ලැබුණු පසුවය. විජේවීර සහෝදරයාත් ඔහුගේ ආරක්ෂාවට පක්‍ෂයෙන් යොදවා සිටි ආරියසේන ඊශ්වර ගේත් මමත් පක්ෂ කාර්යාලයේදී හමුවූ හැන්දෑවක මේ පිළිබඳව මුලින්ම කතා කළෙමු.

"ආරි අද රුපියල් සීය දීපු ලස්සන ගෑණු ළමයා ඔයාට මතකද?"
මම ආරිගෙන් ඇසුවෙමි.
" මොකද මතක නැත්තේ රත්මාලානෙදි මුලින්ම දුන්නා, ඊළඟට කළුතරදී. , අද තුන්වෙනි දවස. මට හොඳට නෝට් "
ආරි කියාගෙන ගියේය.

" මෙයා මාර බඩුවක්නේ මට නම් අද තමා තේරුම් ගියේ හැමදාම රුපියල් සීය දෙන්නේ එකම ළමයෙක් බව. "
විජේවීර කීවේය.
" හරි හරි අපිට බොරු එපා. මම දැක්කනේ හිනාවෙලා ගන්නවා
ආරී හිනා වෙමින් පැවසීය.

විජේවීර සහෝදරයාගේ මුහුණ විලියෙන් රතු විය.

මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු කැලණිය ආසනයේ ජවිපෙ ප්‍රචාරක රැළියක් පැවැත්විණි. එය පැවැත්වුණේ
ටයර් සංස්ථාවට හැරෙන හංදියේය.


කොළඹ දෙසට මුහුණලා නුවර පාර ආසන්නයේම වේදිකාව සකස්කර තිබුණි.


වෘත්තීය අංශයේ කතාව මට පැවරී තිබූ බැවින් මම එහි ගියෙමි. මා යන විටත් රැස්වීමේ සෙනඟ පිරී සිටි අතර ශිෂ්‍ය අංශයේ සංවිධායක වාස් තිලකරත්න කතා කරමින් සිටියේය. ප්‍රධාන කථිකයා වූ විජේවීර සහෝදරයා සහ තවත් අයෙක් වේදිකාවේ අසුන්ගෙන සිටියහ. මම වේදිකාවට නැග විජේවීරට වම්පසින් වාඩිවුණෙමි.

අප සිටින ස්ථානයට නුවර පාරේ සෑහෙන දුරක් යන තෙක් කොළඹ පැත්ත මැනවින්. පෙනේ. පාර අයිනේ මෝටර් රථ එක පෙළට නවත්වා ඇත. විජේවීර සහෝදරයා වෘත්ති අංශයේ වැඩ ගැන ප්‍රශ්න කිහිපයක් ඇසූ බැවින් මම ඊට පිළිතුරු දෙමින් සිටියෙමි. හදිසියේම මගේ අවධානය වෙන අතකට යොමු කළ ඔහු කොළඹ පාරේ වම් පසට වන්නට නවත්වා ඇති කළු පැහැති මෝටර් රථය දෙස බලන්නැයි මට කීවේය. විජේවීර සහෝදරයා. දුන් සංඥාව ඔස්සේ විපරම් කළ මම කළු පැහැති මෝටර් රථය හඳුනාගතිමි.

වයසක මහත්මයෙක් මෝටර් රථය අසල සිට රැස්වීමට සවන් දෙයි. ඔහුට පිටුපසින් මෝටර් රථයේ වහලට බර වී තරුණියක් ද රැස්වීමට සවන් දෙමින් සිටියාය. ඔවුන් පිළිබඳ කුතුහලයක් මා තුළ හටගත් නමුත් ඉන් ඔබ්බට කිසිවක් සොයා බලන්නට නොහැකි වූයේ රැස්වීම ඇමතීමේ මගේ වාරය පැමිණි නිසාය.


මගේ කතාව අවසානයේ විජේවීර සහෝදරයාගේ කතාව ආරම්භ වූ බැවින් මෝටර් රථයේ පැමිණ සිටි ආගන්තුකයන් ගැන එහිදී කතා කරන්නට අවස්ථාවක් නොලැබුණි.

එදින රාත්‍රියේ අප නැවත හමු වූයේ පුරුදු පරිදි දිවුල් ගස් හන්දියේ බ්ලූමැන්ඩල් පාර පටන් ගන්නා තැන වීරසිංහ ලී මෝලේ පක්ෂ කාර්යාලයේදීය.
"කෝ සහෝදරයෙකුට වැඩක් බාර දුන්නා එයා මටත් නොකියා යන්න ගිහින්. "
විජේවීර සහෝදරයා මට චෝදනා කළේය.

උදේනි සහෝදරයා කොහෙද ගියේ. රැස්වීම ඉවර වෙද්දී ඉන්න එපැයි. අදත් අපිට රුපියල් 100 ක් හම්බ වුණානේ.
ආරි කීවේය. අපි තිදෙනාම සිනාසුනෙමු.


පක්ෂ කාර්යාලය පිහිටා තිබුණේ ලී මෝලේ පළවෙනි තට්ටුවේ කෙළවර පිහිටි කාමරයේය. විජේවීර සහෝදරයා ඇතුළු අප කිහිප දෙනා රාත්‍රියට නිදාගන්නේ අලෙවි කිරීම සඳහා දමා තිබෙන ලෑලි උඩ පරණ බැනර් එලාගෙනය. කැපුම් දාර අඩු ලෑල්ලක රතු බැනරයක් එලා විජේවීරට නිදියහන සකස් කර දෙන ආරිත් මමත්, දෙපැත්තේ එවැනිම ලෑලි අතුරා නින්දට යන්නෙමු. ලී මෝලේ බිත්ති බැඳ නැති බැවින් රාත්‍රී හමන සුළඟ සුවදායකය. ඈත සිට බලන්නෙකුට අපව පෙනෙන්නේ මෝචරියක මළ කඳන් පරිද්දෙනි.


රෑ මැදියම විජේවීර සහෝදරයාට දිය යුතු බෙහෙත් වේලක් තිබේ. එය දෙන්නැයි මට පවරා ආරි නින්දට ගියේ පෙර දින රාත්‍රියේ ඔහු නිදි වරා සිටි නිසාය. මා දෙවෙනි වර අවදි වන විට අත් ඔරලෝසුවේ වේලාව අලුයම දෙක පසු වූවා පමණි. මම ගමන් මල්ලෙන් අවශ්‍ය බෙහෙත් පෙති සහ වතුර වීදුරුවක් ගෙන විජේවීර සහෝදරයාට ළංවුනෙමි. පාරේ විදුලි පහන් කණුවේ එළියෙන් වම් ඇලයට හැරී වැලමිට මත හිස තබා නිදන විජේවීර සහෝදරයා දකින මසිත රිදුම් දෙන්නේය. මම ඔහු වෙත නැමී සෙමෙන් තට්ටු කළෙමි. මුනින් අතට හැරුණු ඔහු මුව අයාගෙන නින්දේම සිටී.


බේත් පෙති කිහිපය උගුරට දමා වතුර ස්වල්පයක්ද දැමූ පසු එය ගිල දමා නින්දට යෑම ඔහුගේ සිරිතය.

අලුයම කුරුලු හඬත් සමඟ අවදි වන අප කල්පනාවේ නිමග්නව සිටියදී නින්දේ සිටිමින්ම විජේවීර සහෝදරයා කතා කළේය.


"මල්ලිලා බුදි නෑ නේද . මම මේ කියන්න හිටියේ අර අපට සල්ලි දෙන ගෑනු ළමයා ගැන. සමහර විට අපේ පක්ෂයට ආදරේ නිසා සල්ලි දෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ලෝක විප්ලවවාදී ව්‍යාපාරවල අත්දැකීම් තියනවා ඔය විදියට පක්ෂ වලට ඇතුළු වෙලා විශාල විනාශයන් සිදුකරපු අවස්ථා ගැන. ඒ නිසා මේ අය කවුද? මොකක්ද උවමනාව? කියන එක ගැන මීට වඩා සැලකිල්ලෙන් සොයා බලන්න ඕන. " හරිද?


විජේවීර සහෝදරයාගේ උපදෙස් පරිදි පක්ෂය ඒ පිළිබඳව සොයා තිබූ අතර
1977 ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණ කෙටි කලකින්
"රජු දැහැමි කල, නිසිකලට වැසි වසී"
යනුවෙන් කොළඹ පුරා පෝස්ටරයක් ගසා තිබුණේ නොහඳුනන තරුණියගේ පියා විසින් බවය.

ඔවුන්ගේ අරමුණු කුමක්දැයි ඉන් ඔබ්බට යමක් දැනගත නොහැකි විය.

 

@ Udeni Saman Kumara fb page

නවතම ලිපි