වසන්ත සමරසිංහගේ වත්කම් පිළිබඳ කතිකාව මුල් කර ගනිමින් ස්පාටකස් සංවිධානයේ මාධව රුවන්පතිරණ ලියා ඇති පහත ලිපිය
සාම්ප්‍රදායික පන්ති දේශපාලනය සහ වත්මන් සමාජ යථාර්ථය අතර පවතින පරතරය විග්‍රහ කරයි. මාක්ස් විසින් අර්ථකථනය කළ පැරණි නිර්ධන පන්තිය අද නොපවතින බව පෙන්වා දෙන මාධව, දේපළ හිමිකම මත පුද්ගලයකු විනිශ්චය කිරීම නිරර්ථක බවට තර්ක කරයි.
එහෙත්, ජවිපෙ වැනි පක්ෂ කලක් තිස්සේ සාම්ප්‍රදායිකව තමන් දුගී ජනතාවගේ පක්ෂයක් ලෙස හුවා දක්වන අතර, ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ඔවුන්ගේ නායකයින් විසින් ප්‍රකාශ කරන ලද අදහස් වසන්ත සමරසිංහගේ වත්මන් මූල්‍ය ශක්තිය සමඟ පරස්පර විරෝධී වීම සහ ඔවුන් විසින් ජනතාව සහ පක්ෂ සාමාජිකයන් නොමග යවන ආකාරය මෙම ලිපියේ කතුවරයා විසින් සවිඥානිකවම මගහැර ඇති බව පෙනී යයි.
ලිපියට අනුව, සැබෑ විමුක්ති දේශපාලනය පදනම් විය යුත්තේ පුද්ගල වත්කම් මත නොව, නව ආකාරයේ "නිර්ධනීකරණයක්" මතය. මෙහිදී, අද වන විට සමාජයේ පොදුවේ පවතින "අසහනය" මගින් මිනිසුන් එක්සත් කළ හැකි බවත්, එය දේශපාලන ක්‍රියාවක් බවට පත් කිරීම නව දේශපාලන ව්‍යාපාරයක අරමුණ විය යුතු බවත් මාධව රුවන්පතිරණ අවධාරණය කරයි. ඒ අනුව, ඕනෑම පන්තියක පුද්ගලයකුට පද්ධතියේ දුර්වලතා හඳුනාගෙන, ඊට එරෙහිව නැගී සිටීමෙන් මෙම නව නිර්ධන පන්තිය නියෝජනය කළ හැකි බව පහත ලිපියෙන් පැහැදිලි කරයි.
“ලිපියට අනුව, සැබෑ ප්‍රශ්නය වන්නේ පුද්ගලයා සතු වත්කම් නොව, ඔහු 'මහා අනෙකාගේ' නාමයෙන්, එනම් පවතින නීති, සම්මතයන් සහ දැනුම නියෝජනය කරමින් කතා කරන "ප්‍රභූවකු" ලෙස ක්‍රියා කරනවාද යන්නයි. විමුක්ති දේශපාලනය කළ යුත්තේ මෙම ප්‍රභූ දේශපාලනයට එරෙහි වීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නව ආකාරයේ "නිර්ධනීකරණයක්" ඇති කිරීමයි”.
කළමනාකරණය කරන ලද අසහනය වැළඳ ගැනීම - ස්පාටකස් ලිපි
වසන්ත සමරසිංහගේ වත්කම් පිළිබඳව සංවාදයක් ඇතිව තිබේ. ඔහුගේ වත්කම් තිබීමට එරෙහි වන්නන් තුලින් ගම්‍ය වන ප්‍රධාන කරණය වන්නේ ජවිපෙ සාමාජිකයින් හට වත්කම් තිබිය නොහැකිය යන්නයි. නමුත් එජාප, පොහොට්ටු, ශ්‍රීලනිප සාමාජිකයින් හට නම් පාරම්පරිකව, ව්‍යාපාර මගින්, වංචා, දූෂණ, හෝ ඕනෑම අකාරයකින් උපයා ගත් මුදල් සහ වත්කම් තිබීම ප්‍රශ්නයක් නොවේ (වසන්ත විසින් වත්කම් උපයාගෙන ඇත්තේ වෘත්තිය සමිති වලින් කප්පන් ලබා ගෙන හෝ ජවිපෙ අරමුදල් යටි මඩි ගැසීමෙන් නම් එය වෙනම ප්‍රශ්නයකි. එවිට ප්‍රශ්නය වන්නේ, එය එසේ නම් ජවිපෙ අනෙක් සාමාජිකයින් ඒ පිළිබඳව නිහඬ ඇයි ද යන්නයි. එසේ නොමැති නම් ජවිපෙ සියලු සාමාජිකයින් එක සේ අරමුදල් වංචා කරන්නන් විය යුතුය. නමුත් එය එසේ විය නොහැක්කේ එතරම් මුදලක් කෙසේවත් ජවිපෙට එකතු කර ගත නොහැකි බැවිනි).
ජවිපෙ පැරණි සාමාජිකයෙකු වූ විජිත රණවීර හට පොල් අක්කර 100ක වත්තක් තිබුණි (ඔහු 1994 මහා මැතිවරණයට ද හම්බන්තොටින් තරඟ වැදුනි). ජවිපෙ සාමාජිකයින්ගේ වත්කම් පිළිබඳව අදහස් දක්වන අයට අනුව විජිත වියපත් නොවී අදටත් දේශපාලනයේ සිටියේ නම් සහ ඔහු මැතිවරණයට තරඟ කර මන්ත්‍රීවරයෙකු බවට පත්වූයේ නම් අද ඔහු විසින් කල යුත්තේ කුමක්ද? වත්ත විකුණා දමා දුප්පතුනට මුදල් බෙදා දී කාගෙන් හෝ ඉල්ලාගෙන ජීවත්වීමද?
මාක්ස් විසින් අර්ථවත් කල නිර්ධනයා (proletariat) ජර්මනියේ වත් සිටියේ නැත. මාක්ස් එම නිර්ධනයා දුටුවේ එංගලන්තයේදීය. ආසන්න අර්ථයෙන් වතු කම්කරුවන් සහ මුඩුක්කු වාසීන් හැරුනුකොට ලංකාවේ එවැන්නෙකු කිසිදා සිටියේ නැත. දැන් ඔවුන් ද එම තත්වයේ නොමැත. ඒ අනුව අද කිසිවෙකුට මාක්ස් අර්ථවත් කල නිර්ධනීය ස්ථානයෙන් එකට බැඳී විමුක්ති දේශපාලනයේ නිරතවිය නොහැක. ඒ අධ්‍යතන ධනවාදය තුල විශාල ආර්ථික සහ සමාජීය පරාසයක් තුල ප්‍රාග්ධනමය වශයෙන් (දැනුම, උගත්කම, ඉඩම්, මූල්‍ය ප්‍රාග්ධනය වැනි…), ආර්ථිකමය වශයෙන් සහ සමාජීය ස්ථානයන් ලෙස විවිධත්වයන් රැසක් ලෙස මිනිසුන් ස්ථාන ගතව ඇති බැවිනි. ඒ අනුව කිසියම් විමුක්ති දේශපාලන ව්‍යාපාරයකට හෝ විශේෂයෙන්ම ජවිපෙ වැනි ව්‍යාපාරයකට ද මේ තත්වයෙන් මිදිය නොහැක.
එසේ නම් විමුක්ති දේශපාලන ප්‍රවේශය කුමක් විය යුතුද? විමුක්ති දේශපාලනය පැමිණෙන්නේ ප්‍රභූ දේශපාලනයට එරෙහිවය.
වර්තමාන “ප්‍රභූ දේශපාලනය” යනු පුද්ගලයන් පිළිබඳව තත්වයක් නොවේ. එනම්, වර්තමාන ප්‍රභූත්වය යනු මුදල්, දේපොළ, ඒ අයගේ අධ්‍යාපන මට්ටම් වැනි ස්ථාන වලින් තීරණය වන්නක් නොවේ. කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, ප්‍රභූන් යනු ඒ යුගයේ සමාජ යථාර්ථය ව්‍යුහගත කරන භාෂාව, නීති, සිරිත් විරිත්, සමාජ සම්මතයන් – ප්‍රතිමාන ජාලය, රාජ්‍ය, නීතිය, දැනුම යන ස්ථානයන් නියෝජනය කරමින් ඒවායේ නාමයෙන් කතා කරන අයයි. එනම්, ඒවා නියෝජනය කරමින් එසේ කිරීමට ඇති හැකියාව අත්කරගත් අයයි. එය මනොවිශ්ලේෂණයේ අර්ථයෙන් මෙසේ පැවසිය හැකිය: ප්‍රභූන් යනු ‘මහා අනෙකාගේ’ (‘big Other’) නාමයෙන් කතා කරන (සංකේත රටාව, නීතිය, රාජ්‍යය, දැනුම) අයයි.
විමුක්ති දේශපාලන ප්‍රවේශය පවතින්නේ ඉහත සඳහන් කල නියෝජනයට එරෙහිවය. එනම්, කල යුතුව ඇත්තේ නව නිර්ධනීකරණයක් (proletarianization) නිර්මාණය කිරීමයි. මෙය පැරණි ආකාරයේ පන්ති බෙදීමට අදාළ නිර්ධනීකරණයක් නොවේ. එම නිර්ධනීකරණය තුල ප්‍රධාන වශයෙන් එරෙහි වන්නේ අධිකාරීත්ව ධූරාවලියයේ පැවත්මටය (පරාරෝපනයෙන් මිදීම). එසේම සියල්ලට අදාළව පොදු අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. එසේ කිරීමේදී අධිකාරීත්ව ධූරාවලිය තුල කටයුතු කරන්නන් (උදා: විද්‍යාඥයෙකු) පවා එහි නියෝජිතයින් විය හැකිය. එවිට කෙනෙකුට ඇසිය හැකි මුග්ධ ප්‍රශ්නය වන්නේ ඔබ එම ධූරාවලිය තුල කටයුතු කරන ගමන් එහි පැවැත්මට එරෙහිව සටන් කිරීම කෙතරම් සදාචාරාත්මක ද යන්නයි. එය පැරණි අර්ථයෙන් ඉහත සඳහන් කල විජිත රණවීරට අදාලව මෙසේ ඇසිය හැකිය: ඔබට පොල් අක්කර 100ක් තිබෙන ධනපතියෙකු ලෙස සිටිමින් පුද්ගලික දේපල වල පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම කෙතරම් සදාචාරාත්මකද? එම ප්‍රශ්නයෙන් පැහැදිලිවම අදහස් වන්නේ එවැනි දේපල හිමියන් සැබවින්ම පොදු අයිතිය පිළිබඳව ස්ථාවරයට එරෙහි විය යුතු බවය. ජවිපෙ නිර්ධන පන්තියේ පක්ෂයක් ලෙස තමන්ව ව්‍යාජ අයුරින් නාමකරණය කර ගැනීමේදී සත්තකින්ම නියෝජනය කරනුයේ ද එම අදහසයි. මෙය ජවිපෙ උපන්ගෙයි ප්‍රශ්නයකි (මෙවර මහා මැතිවරණයට මාලිමාවෙන් තරඟ කල පැරණි ජවිපෙ සාමාජිකයෙකු තවත් ජවිපෙ සාමාජිකයෙකු හට ශාන්ත බණ්ඩාර පිළිබඳව පවසා ඇත්තේ “මල්ලි ශාන්ත ජවිපෙට ගැලපෙන කෙනෙක් නෙවෙයි. එයා අපි වගේ පහල පන්තියෙන් ආපු කෙනෙක් නෙවෙයි” යනුවෙනි). වර්තමානයේ නිර්මාණය කල යුතු නව නිර්ධනීකරණයේ අර්ථයෙන් නියම නිර්ධනයා වන්නේ තමන්ටපුද්ගලික දේපල තිබියදීම එම පැවැත්මට එරහි වන්නාය. එම අර්ථයෙන් සැලකූ කල, දැනුම් ධූරාවලියට අදාලව එවැනි චරිතයක් වූයේ නලින් ද සිල්වා පමණි. ඔහු, ඔහුට දැනුම් ධූරාවලියේ ඉහළතම නියෝජනයක් තිබියෙදීත් දැනුම් ධූරාවලියේ පැවැත්ම ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහි වූ අයෙකි.
නව නිධානීකරණයේ ස්ථානය වන්නේ සමකාලීන අසහනයයි (discontent). මාක්ස් අර්ථවත් කල නිර්ධනයාට අදාළ පොදු ලක්ෂණ ඔහු සඳහන් කළේය. එම ලක්ෂණ සමගින් එකී නිර්ධනීන් හට තිබූ මහා පොදු සාධකය වූයේ දැරිය නොහැකි අසහනයයි. ඔවුන් එකට බැඳී සටන් කරනුයේ එම පොදුතාවය තුලය. නමුත් අද එම නිර්ධනයා නොමැත. එහෙත් මාක්ස් අර්ථවත් කල නිර්ධනයාට තිබූ අසහනය ඊට වෙනස් ස්වරූප වලින් වර්තමානයේ ද ඇති මහා පොදු සාධකයයි. අද දවසේ නිර්ධනීන් යනු එම අසහනයට එරෙහි වන්නන් වන අතර ඒ සඳහා විද්‍යාත්මක විසඳුම් සොයන්නන් නියෝජනය කරනුයේ ප්‍රභූ දේශපාලනයයි.
මේ පිළිබඳව තවත් විස්තරාත්මකව පැහැදිලි කරන්නේ නම්, අද වන විට විමුක්ති දේශපාලනයට අදාළ නිර්ධනීකරණය යනු පන්ති බෙදීමක් පමණක් නොවේ. ප්‍රධාන වශයෙන්ම එය සංකේතීය වගකීම (සහතික වීම) අහිමි වීමක් පිළිබඳව ප්‍රශ්නයකි. සෑම කෙනෙකුම පරරෝපනයට ලක්වීම, තම අනන්‍යතාවය හෝ දැනුම අස්ථාවර වූ විට “නිර්ධනීකරණයට” ලක් වේ.
මනොවිශ්ලේෂණයට අනුව ප්‍රධාන ප්‍රශ්නය සදාචාරය නොව ආත්මීය ස්ථාවරයයි. ඒ අනුව “නව නිර්ධන පංතිය” යනු දේපළ නොමැති අය පමණක් නොව, ඔවුන් යම් දෙයක් හිමිකර ගත්තද පෞද්ගලික දේපළවල සංකේතීය නීත්‍යානුකූලභාවය ප්‍රතික්ෂේප කරන අය වීමයි.
මාක්ස් සඳහන් කල පරිදි නිර්ධන පන්තිය එක්සත් වන්නේ භෞතික තත්වයන් සහ සභාග සූරාකෑම පැවතීම මගිනි. අද දවසේ එම අර්ථයෙන් එක්සත් කල හැකි නිර්ධන පන්තියක් නොපවතී. නමුත් අසහනය (discontent) – පසුකාලීන ධනවාදයේ දරාගත නොහැකි අතෘප්තිය – විශ්වීය බවට පත්ව තිබේ. මෙම අසහනය නව “විශ්වීයතාවය”ලෙස ක්‍රියා කරයි. එය (අසහනය) යථකි (REAL). එම යථ විසින් අනන්‍යතා හරහා කපා දමයි.
විද්‍යාත්මකව ගැටළු විසඳන බව පවසන විශේෂඥයින් සහ තාක්‍ෂණවේදීන් (දේශගුණික විපර්යාස, පරාරෝපනය, අසමානතාවය, ඇතුළු සියලු අර්බුධ…) යනු ධනවාදයේ සංකේත රටාව තුළ තවදුරටත් රැඳී සිටින්නන්ය. “නව නිර්ධන පංතිය” යනු කළමනාකරණය කළ අසහනයේ මෙම න්‍යාය ප්‍රතික්ෂේප කරන සහ හිමිකාරිත්වය, අධිකාරිය සහ නීතිය රැඩිකල් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටින අයයි.
මනොවිශ්ලේෂණයේ ස්ථාවරයට අනුව සැබෑ දේශපාලන ආත්මීයත්වය පැන නගින්නේ “අනෙකාගේ අඩුව” (the lack in the Other) පිරවීමෙන් නොව (මේ පිළිබඳව වෙනත් ලිපි වල දීර්ගව පැහැදිලි කර ඇත), එයට අභිමුඛ වීමෙනි. එබැවින් “නව නිර්ධන පංතිය” යනු සමාජ විද්‍යාත්මක කණ්ඩායමක් නොව ආත්මීය ස්ථාවරයකි. එනම්, අධිකාරීත්වය (විද්‍යාව, රාජ්‍යය, වෙළඳපොළ) විසින් අර්ථය සහතික කරන බවට වන ෆැන්ටසිය ප්‍රතික්ෂේප කිරීමයි (දිගින් දිගටම කෙතරම් අර්බුධ ගුණනය වුව ද මෙම “ෆැන්ටසිය තරණය කිරීමට” අසමත්ම පිරිස වන්නේ විද්‍යාඥයින්ය).
අසහනය දේශපාලන ක්‍රියාවක් බවට සාමූහික කිරීම, එනම් විමුක්ති දේශපාලනය පදනම් විය යුත්තේ යථමය ස්ථානයේය (යථෙහි ප්‍රතීඝතා තුල). මේ නිසා අද විමුක්ති දේශපාලනය විසින් නව විශ්වීයත්වයක් නිර්මාණය කළ යුතුව ඇත. එනම්, පැරණි අර්ථයෙන් පන්තිය මත නොව, සභාග ප්‍රතීඝතාවය (shared antagonism -අසහනය, පරාරෝපනය, සූරාකෑම, බැහැර කිරීම) මත පදනම් වීමයි. එවිට නව නිර්ධනීකරණය යනු දේපල හිමිකාරිත්වය ගැන අරගලයක් නොව, සංකේතීය වගකීම් (සහතික වීම්) තහවුරු වීම ලෙස දේපල හා ධූරාවලියේ නීත්‍යානුකූලභාවය ප්‍රතික්ෂේප කිරීම පිලිබඳවය.
ඒ අනුව විද්‍යාඥයින්, මහාචාර්යවරුන්, ඉඩම් හිමියන් වැනි අය පවා පද්ධතියේ අඩුවට (lack) මුහුණ දෙන්නේ නම් සහ එහි අධිකාරියට විරුද්ධ වුවහොත් මෙම ස්ථාවරයේ නියෝජිතයන් බවට පත්විය හැකිය.මෙම “නව නිර්ධන පංතිය” එක්සත් කරන්නේ තාක්ෂණික හෝ ප්‍රභූ විසඳුම් මගින් සමනය වීමට ප්‍රතිරෝධය දක්වන අසහනයයි. එනම් අසහනයේ (the Real of dissatisfaction) යථ මගිනි.
ජවිපෙ යනු එම අර්ථයෙන් නව නිර්ධනීය දේශපාලනයක් තහවුරු කරන ව්‍යාපාරයක් නොවේ. ජවිපෙ යනු පැරණි න්‍යායගත කරගැනීම් තුල සිරව සිටිමින් ප්‍රභූත්වයේ නව ස්වරූපයක් තහවුරු කරන ව්‍යාපාරයකි. ඒ කෙසේ වෙතත් ජවිපෙ ආණ්ඩුව ඉදිරියට යාම විසින් විශාල දේශපාලන චලනයක් නිර්මාණය කරනු ඇත. මේ මොහොතේ වැදගත් වන්නේ එයයි.
@ මාධව රුවන්පතිරණ
ස්පාර්ටකස් ලිපි