SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ව 2026 වර්ෂයේ පෙබරවාරි 25 වන දින

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. බ්‍රිතාන්‍යයේ 'චැනල් ෆෝ' (Channel 4) නාලිකාව විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව සහ ඒ ආශ්‍රිත චෝදනා මත පදනම්ව ඔහුව මෙලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

 

කෙසේ වෙතත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 35882/24 දරන නඩුවට අදාළව ඉදිරිපත් කර ඇති නීතිමය ලේඛන අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ, හුදු වීඩියෝවක් පදනම් කරගෙන විමර්ශන මෙහෙයවන ඇතැම් නිලධාරීන්ගේ පුද්ගලික ඔිනෑ එපාකම් පිරිමැසිමට ඉඩ දීමෙන්, සමස්ත ක්‍රියාවලියම බරපතල ව්‍යවස්ථානුකූල හා නීතිමය අර්බුදයක් කරා ගමන් කරමින් පවතින බවයි.

 

නීතිඥ-සේවාදායක රහස්‍යභාවය (Lawyer-Client Privilege) ඝාතනය කිරීම

 

 

නීතිය ඉදිරියේ කෙතරම් බරපතල චෝදනාවක් (උදාහරණයක් ලෙස: අමානුෂික මිනීමරුම් චෝදනාවක්) එල්ල වූ අයෙකුට වුවද, තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා සමග නිදහසේ සහ රහසිගතව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමකි.

 

නමුත් සලේ ගේ සිදුවීමේදී මෙම අයිතිය බරපතල ලෙස උල්ලංඝනය වී ඇත.

ඔහුගේ නීතිඥවරයින් විසින් CID අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින්, නීතිඥ-සේවාදායක සන්නිවේදනයට අදාළ රහස්‍යභාවය සහ වරප්‍රසාද (confidentiality and privilege) මුළුමනින්ම සුරැකෙන පරිදි සුදුසු පරිසරයක් තුළ තම සේවාදායකයා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

 

එහිදී  නීති උපදෙස් ලබා ගැනීමේදී එකී උපදෙස් වල "රහස්‍යභාවය" රැකෙන පරිදි කිසිදු බාධා කිරීමකින් තොරව එය සිදු කිරීමට අවකාශය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය ප්‍රකාරව සැකකරුගේ නිශ්ශබ්දව සිටීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇති බව පැවසේ.

 

නීතිඥවරයෙකු සහ සේවාදායකයෙකු අතර සිදුවන සාකච්ඡාවකට, අනුමැතිය ලබාදීමේ මුවාවෙන් පොලිස් නිලධාරියෙකු වැනි තුන්වන පාර්ශ්වයක් සවන් දීම ලෝක සම්මත "Lawyer-Client Privilege" සිද්ධාන්තය සම්පූර්ණයෙන්ම කඩකිරීමකි. එය නීතිමය ක්‍රියාවලියට කරන නිග්‍රහයක් වන අතර මේ පිළිබඳව නීතිපතිවරයාගේ අවදානය යොමු වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහස වී ඇත.

 

වස දීමේ දැඩි සැකයක් සහ ඝාතන කුමන්ත්‍රණයක්!

 

වඩාත්ම ත්‍රාසජනක කරුණ වන්නේ සැකකරුගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇතැයි සැක කෙරෙන බරපතල අවදානමය තත්ත්වයයි.

 

සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන ගොස් ඔහුගේ ජීවිතයට හානියක් සිදුකිරීමේ උත්සාහයක් ඇති බවට සැක කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇති බව මේ වනවිට නීතිඥවරු අධිකරණයට දන්වා ඇතැයි වාර්තා වේ.

 

එපමණක් නොව, සැකකරුගේ ආහාර වලට වස මිශ්‍ර කර ඝාතනය කිරීමට උත්සාහයක් පවතින බවට පවුලේ සාමාජිකයන් තුළ බියක් පවතින හෙයින් ඔහුගේ ආහාර නිවසින් ලබාදීමට පහසුකම් සැලසෙන නියෝගයක් ද ඉල්ලා ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඔහු ඉටු කළ සේවාව නිසා ඔහුට ජීවිත තර්ජන ඇති හෙයින් නිවසින් ආහාර ලබාදීමට ඉඩ දෙන ලෙසට ඔහුගේ භාර්යාව විසින් 2026.02.26 දින CID අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතත්, ඊට නිසි අනුමැතියක් හෝ නීතිඥයෙකුට කතා කිරීමට නිසි අවස්ථාවක් මෙතෙක් හිමිවී නැත.

ඔහු රැඳවුම් නියෝග මත සිටින කාලය තුලදී වධදීමට, අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීම්වලට ලක් වීමට ඉඩ ඇති බවට සාධාරණ සැකයක්ද පවතින බව ඔව්හු අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 

අත්තනෝමතික පරීක්ෂාව සහ නීතිමය පදනමේ දුර්වලතා

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව නිවස වෙත රැගෙන ආ අවස්ථාවේ, සෝදිසි වරෙන්තුවක් නොමැතිව CID නිලධාරීන් එම නිවසට ඇතුළු වී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිවසක් සෝදිසි කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව පවසමින් ඔවුන් නිවස සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇති අතර, කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් එම පරීක්ෂාව සඳහා සහභාගි කරගෙන නැත. ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීමකින් තොරව මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පවසමින් එය අභියෝගයට ලක් කිරීමට නීතිඥවරුන් සූදානම් වේ.

 

පාපොච්ඡාරණ නඩුවකට යොදාගැනීම: පිල්ලෙයාන්ගේ නඩුවෙන් පාඩමක්!

මෙවැනි අත්තනෝමතික වාතාවරණයක් යටතේ අත්අඩංගුවේ පසුවන විට ලබාගන්නා පාපොච්ඡාරණ නඩුවකට යොදා ගැනීමේදී නීතිමය විශ්වසනීයත්වය (Credibility) දැඩි ලෙස ප්‍රශ්න කෙරේ.

 

 

සාමාන්‍ය නීතිය යටතේ (සාක්ෂි ආඥාපනතේ 25 වැනි වගන්තිය) පොලිසියට කරන පාපොච්ඡාරණ අධිකරණයේදී පිළිගන්නේ නැත. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) 16 වැනි වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට (ASP) හෝ ඉහළ නිලධාරියෙකුට ලබාදෙන පාපොච්ඡාරණයක් සාක්ෂියක් ලෙස පිළිගත හැක.

 

එහෙත්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) එදිරිව ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුව අපට කියාදෙන ප්‍රබල නීතිමය පාඩමක් ඇත. එම නඩුවේදීත් විත්තිකරුවන්ට එරෙහිව PTA පනත යටතේ ලබාගත් පාපොච්ඡාරණ ඉදිරිපත් වූ නමුත්, අභියාචනාධිකරණය තීන්දු කළේ එම පාපොච්ඡාරණ ස්වේච්ඡාවෙන් ලබාදුන් ඒවා නොවන බැවින් ඒවා පිළිගත නොහැකි බවයි. නීතිඥ සහාය අහිමි කරමින්, වධහිංසා හෝ මරණීය තර්ජන යටතේ ලබාගන්නා ඕනෑම පාපොච්ඡාරණයක නෛතික විශ්වසනීයත්වය ඉහළ අධිකරණයක් හමුවේ කුඩුපට්ටම් වී යයි.

 

අපරාධ විමර්ශන ස්වාධීනව සිදුවිය යුතු බව සත්‍යයකි. එහෙත් චැනල් 4 වීඩියෝවක් සහ තහවුරු නොකළ සාක්ෂි මත පදනම්ව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති නීතිඥ සහාය අහිමි කරමින්, සැකකරුගේ ජීවිතය පවා අනතුරේ හෙළමින් සිදුකරන මෙම මෙහෙයුම, හුදු විමර්ශනයකට එහා ගිය "දේශපාලනික දඩයමක" ස්වරූපයක් ගෙන ඇත. එනිසා මෙය ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය කෙරෙහි බරපතල අපකීර්තියක් ගෙන දෙන නීතිමය අර්බුදයක ආරම්භයක් වනු ඇති බව විචාරකයින්ගේ මතයයි.

 

නවතම ලිපි