ලංකාවේ බහුතරය හදවතින් ‘වාම කඳවුරේ’ ය. රට ගොඩ නැගිය හැක්කේ ‘වම’ට බව ඔවුහු සිතති. කියති. ලියති. තර්ක කරති.
අසන-දකින-බලන අය ‘වම’ ට විසිල් ගසති. ලංකාවේ ඡන්ද සමයට අටවා ගන්නා ‘වාම කුඩාරමක් මිස’ වාම ව්‍යාපාරයක් දැන් නැත.
ලංකාවේ ඇත්තේ ‘රැසියන් නවකතා පාඨක සමාජයකි’. බණ්ඩාරනායක, සිරිමා,ඇන්.එම්., පිලිප්, කේනමන්, චන්ද්‍රිකා, මහින්ද, සෝමවංශ, පමණක් නොව ජේ.ආර්.ජයවර්ධන පවා ‘වාම සංකල්පය’ මේ රැසියන් කතා පාඨක සමාජයට අලෙවි කළේය.
සෙමෙන් නමුත් ස්ථිර ලෙසම නැවතත් ආර්ථික අර්බුදයකට යමින් තිබෙන රට, ගොඩ ගත හැක්කේ ‘වම’ ට ද? දකුණට ද? යන සංවාදය ආරම්භ වී ඇත. ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූ ‘දකුණට බැට දීමට’ වමේ හණ මිටියට කර ගහන පිරිස් බලය උදෙසාම මේ වම - දකුණ සංවාදය පාවිච්චි කරන්නේ ය. ලංකාවේ ‘වම’ සහ ‘දකුණ’ අතර ඇත්තේ පට්ටපල් දේශපාලන මිත්‍යාවකි. ‘වම’ ප්‍රතිශිලී යැයි ද, ‘දකුණ’ සූරා කන්නේ යැයි ද මතයක් ඇත. මේ මතය ‘රැසියන් කතා පාඨක සමාජයේ’ ම නිර්මාණයකි.
1947 මහා මැතිවරණය ජයගත්තේ ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූ ‘දකුණු’ කඳවුර හෙවත් ප්‍රභූ දේශපාලනය යි. එයට දකුණේ ද, උතුරේ ද ලංකා ජාතික සභාව නායකත්වය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය හා උතුරේ කුලවත් ප්‍රභු කණ්ඩායම් ය.
1952 දී එජාපයෙන් බලය බිඳීම සඳහා ‘වාම ලේබලය’ අලවා ගැනීමට දකුණු කඳවුරේම පිරිසක් කටයුතු කළේය. ධනවාදයේ හෙවත් ‘දකුණු’ කඳවුරේ ‘වතිකානුව’, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ඔක්ස්ෆර්ඩ් ගිය බණ්ඩාරනායක 1956 ‘වම’ එකතු කරන මුවාවෙන් දැවැත්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹීය. රැසියන් පාඨක සමාජය ධනපති බණ්ඩාටත් වම යැයි සිතා රැවටුණේය.
එජාපයේ බලය බිඳින්නට පාඨක සමාජය එක් කොට ගත හැකි කොඩිය ලෙස ‘වාම ලේබලය’ අටවා ගත්තේය. චූල සම්ප්‍රදායේ දේශපාලන කඳවුරට පොදු හතුරෙකු අවශ්‍ය විය. ඒ පොදු සතුරාගේ නාම කරනය ‘දකුණ’ ය.
1960 මාර්තු මහා මැතිවරණයෙන් ‘දකුණ’ හෙවත් එජාප ය ජයගත්තේය. බණ්ඩාරනායක ද, සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු ‘වම’ එක කඳවුරකට පැමිණ 1960 ජූලි මැතිවරණයෙන් ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය, එනම් එජාපය පරාජය කළේය. රාජ්‍ය බලය ලබාගත්තා හැර සිදු කළ ආන්ඩු වෙනසක් නැත. ධනවාදී සූදුරු ඇටයට ‘වාමාංශික’ සීනි තැවරුණු හූණු බිජ්ජක් ‘වාම ආණ්ඩුව’ ලෙස ජනතාව සලකන්නට පටන් ගත්තේය. එවර ද, රැසියන් පාඨක සමාජය නැවත සිරිමා - ඇන්.එම්. ගේ ‘වමට’ රැවටුණේය.
නැවත 1970 මහා මැතිවරණයේ දී බලය ලබා ගැනීම සඳහාම ‘වාමාංශික එක්සත් පෙරමුණ’ අටවා ගත්තේ ‘දකුණට කෙළවා බලය ලබාගැනීමට’ ය. ආණ්ඩුවේ කෙළිකාරයෝ වුයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි ජේ.ආර්.ටත් වඩා මර්ධනකාරී, ධනපතියන්ය. ජවිපෙ නිර්ධය ලෙස මර්ධනය කළෝ ඔවුහුය. මේ ‘වම’ ද ඇන්.එම්. සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියේය. දකුණට කතා කරන ඇමතිවරු ද, රැසියානු කඳවුරට කතා කරන ඇමතිවරු ද, එකම ආණ්ඩුවේ විය. රැසියන් පාඨක සමාජය සිරිමා-ඇන්.එම්. ආණ්ඩුව ‘වම නොවන බව’ 1971 කැරැල්ලේ දී වත් අවබෝධ කර ගත්තේ නැත. බලය ගිලිහෙන විට 1976 වමේ නායකයෝ දුම්රිය පීලි ගලවමින් ජේ.ආර්.ට හයෙන් පහක බලයක් ලබා දෙන්නට ඉදිරියට පැමිණියේය. යැංකි ඩිකී ජේ.ආර්. පවා 1975 -1977 සමයේ මේ රැසියන් පාඨක සමාජයට ‘සමාජවාදය’ ඉඟි කළේය. 1978 දී අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්’ බවට පත් කළේය.
දකුණ හෙවත් එජාපයෙන් බලය ගැනීමට නැවත 1982 ජවිපෙ ද, 1987 දී එක්සත් සමාජවාදී පෙරමුණ ද, පසුව 1988 – 1990 දී ජවිපෙ ද, ‘වම’ ඉස්සරහට දැමීය. 1994 චන්ද්‍රිකා කුමාරතුංග ‘වම’ යැයි කියමින් එජාප (දකුණ) විරෝධී සියළු බලවේග එකතු කර ගත්තේය. චන්ද්‍රිකා ආණ්ඩුවේ තිබුණු ‘වමේ ප්‍රතිපත්තියක්’ නැත. තිබුණේ බලය ලබා ගැනීමට අතුල මාවලගේ ලියූ දැන්වීම් පාඨ පමණී.
නැවත, 2001 දී ආර්ථික අර්බුදයක් මතුවී, රට අරාජික වන විට ජනතාව දකුණ හෙවත් එජාපයට බලය දුන්නේය. ඒ බලය රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් විගසම, නැවත ‘වමේ වලිප්පුව’ ඉස්සරහට දමා චන්ද්‍රිකා සහ ජවිපෙ ‘පරිවාසය ආණ්ඩුවක්’ අටවා ගත්තේය. මහා මැතිවරණයේ වැඩිම මනාප ලබා ඇමතිකම් ගත්තේය. චන්ද්‍රිකා - සෝමවංශ එකතුවෙන් නියම වමක් ඇතිවේ යැයි පාඨක සමාජය සිතුවේය.
සුනාමි ව්‍යාසනයෙන් පසුව ද, මහින්ද - ජවිපෙ සන්ධානය 2005 ‘වාම ලේබලයෙන්’ ජනාධිපතිවරණයට එන්නේ ‘දකුණේ බලයට’ පැරදවීමටය. රැසියන් පාඨක සමාජය චන්ද්‍රිකාගේ වමට වඩා මහින්ද එක්ක හදන ‘අල්ට්‍රා මැක්ස්’ වමට කැම්පේන් කළේය. හඳුන්නෙත්ති , නාමල් රාජපක්ෂට ලියාදුන් පළමු කතාවට පවා පාඨක සමාජය රැවටුණෝය.
2010 දී ද, 2015 දී ද ජවිපෙ ප්‍රමුඛ වාම කඳවුරට, දකුණ සමඟ එක්වන්නට සිදුවන්නේ ප්‍රතිපත්ති නිසා නොව, පණ බේරාගැනීමට ය. 2015 දිනුවේ ‘වාම මෛත්‍රී හෝ දක්ෂිණ රනිල් නොව’ මරණයේ බියයි. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවයි. එදා මරණ බිය විසින් ‘රැසියන් පාඨක සමාජය’ බටහිර තානාපති කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන වටා ගොනු කරනු ලැබීය.
නිදහසින් පසු ලංකාවේ අසාර්ථකම පාලකයා වූ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ ද, විමල්, ඩලස්, කොමියුනිස්ට්, සම සමාජ, වාසුදේව වැනි ‘වමේ සළුපිළි ආවරණයක්’ සහිතව බව බොහෝ දෙනාට අමතකය. රැසියන් කතා පාඨක සමාජයේ කොටසක් රනිල් ලඟ ද, තවත් පිරිසක් මහින්ද ලඟ ද, තාවකාලිකව නැවතුණේය.
ගෝඨාභය ගේ නාමික වාම ආණ්ඩුව අරගලය විසින් ධනපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවක් බවට පත් විය. රනිල් ‘වම්මු’න් සමඟ දකුණේ ආණ්ඩුවක් කළේය. වම්මු, දකුණු කඳවුරට එරෙහිව වෛරයේ කඳවුර නිර්මාණය කළේ ‘225 ම එපා’ සේරම හොරු කියමිනි.
76 වසරක සාපය යැයි කිවේ ද, කාලයෙන් කාලයට රූපාන්ත්‍රණය වූ මේ ‘රැසියන් පාඨක සමාජය’ මය. තමන් වසර 76 ක් එක දිගට ‘වම’ට රැවටී ඇති බවත්, මේ සැරේ නම් නියම ම ‘වම’ හමුවී ඇතැයි ඔවුහු සිතූවෝය.
2024 රටේ ආර්ථික ස්ථාවරත්වයේ ගමන් මඟ ද, නොතකා ‘දකුණට කෙළවීමට’ වාම ප්‍රතිප්තිය ඉදිරියට ගත්තේ ජවිපෙ යි. එයට සෝවියට් සඟරා, නවකතා කියවූ අපේ පරපුරේ අති මහත් පිරිසක් ද, රාජ්‍ය සේවකයින්ගෙන් 70% ක් ද කර ගැසුවේය.
අද ධනපති ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද, රනිල් වලව්කාරයින්ට වඩා හොඳට ජවිපෙ දකුණේ න්‍යාය පත්‍රය ‘වමේ ආණ්ඩුව යැයි කියන ගමන්ම’ කරමින් සිටී. බදු ගැසිල්ල, අයි.එම්.එෆ්. න්‍යාය පත්‍රය, ලෝක බැංකු ව්‍යාපෘතිය පමණක් නොව බ්‍රික්ස් සමුළුවට ලැබුණු ආරාධනයවත් පිළිගන්නේ නැති ‘වාම ආණ්ඩුවක්’ අද ඇත. වත්මන් ‘වම’ ඇමරිකාව සමඟ කරන ගණුදෙනුව ජේ.ආර්. - රනිල් වත් කළේ නැත. ජේ.ආර්., මැක්නමරා ලඟ නැවුණාට වඩා, අනුර ට ක්‍රිස්ටිනා ජොර්ජියානා ‘බ්‍රාවෝ’ ලූ ය. මංගල සමරවීර - USAid සමන්තා පවෙල් හවසකට අඩියක් ගසා මිතුරන් ලෙස සිටි ‘දකුණකි’. අද වමේ ඇමතිලා වෙනුවට රාජ්‍ය නිලධාරි වොෂින්ටන් ගොස් අඩියක් ගසා, ඒ න්‍යාය පත්‍රය ගොඩිය පිටින් වැලඳ ගනී. විශ්‍රාම ගිය පසු ඒ ආයතනයේ ම රැකියාවක් ලබා ගන්නට මාවත සකසා ගනී.
දකුණට කරන්නට බැරි වූ බොහෝ ‘ධනපති වැඩ’, මාලිමා ආණ්ඩුව තිතට, හැඩට මිම්මට කරති. බදු ගසති. දේව භාෂිතය සේ අයි.එම්.එෆ්. අදහති. මහින්ද - රනිල් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන සමඟ සිටියේ ‘සම අසුන්වල’ ය. අද ආණ්ඩුව ඉන්නේ බංකුවේ නොව පැඳුරේ ය.
ලංකාවේ හැමදාම තිබුණේ අභිමානවත් ‘දකුණ’ කි. ඒ දකුණට කෙළවීමට කාලයෙන් කාලයට අටවා ගන්නා සන්ධානයට ලැබුණු නම ‘වම’ ය. මේ අටමගල, යථාර්ථය, සත්‍යය තේරුම් ගත නොහැකි බහුශුතයෝ ‘දකුණ’ මාර්කට් කළ නොහැකි බව කියති.
මේ මිත්‍යාව හැදුවෝ ද ‘වම්’ මු ම ය. 1965 පිලිප් ගුණවර්ධන වාම නායකයා ඩඩ්ලි ලඟට ආවේ ය. 1977 විජේවීර ජේ.ආර්. ට හයිය දුන්නේය. 2001 රනිල් අගමැති වුනේ එස්.බී., ජී.එල්., කිරිඇල්ල, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන, රාජිත වැනි වම නිසා යැයි ඔවුහු කියති. ප්‍රේමදාස ජනපති වූයේ ද ඔසී, සරත් කෝන්ගහගේ, රාජිත වැනි වම්මු නිසා යැයි ද කියති. මෛත්‍රී ජනපති වූයේ ‘වම’ නිසා යැයි කියති. ඒ සියල්ලම ‘වම’ නොව, රැසියන් නවකතා පාඨක සමාජය බව අමතක කරති.
අම්මා, පෙරළුණු නැවුම් පස, ගුරු ගීතය, සැබෑ මිනිසෙකුගේ කතාව, මගේ සරසවිය, ළමා විය ආදී වශයෙන් ද, කියවූ 60 සිට 90 දක්වා යුගවල අපි සියළු දෙනා රැසියන් නවකතා සමාජයේ පාඨකයින් ය. පොත් පිටු නැවුම් සුවඳ ආශ්වාදය විදි මිනිසුන්ය. ලංකා දේශපාලනයේ ‘වම’ බවට මේ පාඨක සමාජය අර්ථ ගැන්වීම මිත්‍යාවකි.
රනිල් 2022 දී ජනපති වූයේ ද, මේ රැසියානු පාඨක සමාජයේ ක්‍රියාකලාපය නිසාය. ඒ සමඟම මේ වම යැයි කියාගන්නා රැසියානු කතා පාඨක සමාජය හරිනි, හර්ෂණ නානායක්කාර, උපුල් කුමරප්පෙරුම, අශෝක පීරිස්, සමඟ මාලිමාව යැයි ‘වමක්’ සාදා ගත්තේය.
ඩිලාන් හා වාසුදේව සිටින්නේ කොතැන ද? එනැත ‘වම’ යැයි අදහන පිරිසක් අදත් ලංකාවේ සිටිති. ටිල්විල් - අනුර - ලාල් - හඳුන් - වසන්ත - නලීන් කොතැන ද? එතැන ‘වම’ යැයි සිතන පිරිසක් තවත් ඉතිරිව ඇත. තව ටික දවසකින් ‘වම’ නිර්මාල් සිටින තැන ද? හරිනි සිටින තැන දැයි සිතන්නට පාඨක සමාජයට සිදුවන්නේය. ඇත්තටම වම යනු නිර්මාල් මිස හරිනි නොවන බව මේ පිරිස තර්ක කරනු ඇත. හරිනි අවශ්‍ය වූයේ ඡන්දය දිනන්නටය. දැන් ඡන්දය දිනා අවසන් බැවින් ‘පාඨක සමාජයට’ හරිනි තවදුරටත් වමක් විය යුතු නැත.
ලංකාවේ රාජ්‍යකරණයේ මහා සම්ප්‍රදාය ‘දක්ෂික මාවත’ යි. බලය ලබා ගැනීමට නම් මානසික අල්ලසක් වන් වූ ‘වාම ලේබලය’ අවශ්‍යය. වාම ලේබලයෙන් විතරක් ‘ඡන්ද දිනිය නොහැකි බව’ ජවිපෙ දනී. මාලිමාවට බලයට එන්නට ධනපති ශැන්ගිලා, කින්ස්බරී හෝටල් වල සමුළු සම්මන්ත්‍රණ අවශ්‍ය වූයේ ඒ නිසාය.
දැන්, ජේ.ආර්., රනිල්ට කළ නොහැකි ධනපති වැඩ කරන අයි.එම්.එෆ්., ලෝක බැංකුව අතේ නැටවෙන ‘වමේ ආණ්ඩුවක්’ ඇත. ඒ ආණ්ඩුවට ආශක්ත වූවෝ, ‘දකුණට’ අනාගතයක් නැතැයි කියති!
අප්‍රිකාවේ මිලිටරි රාජ්‍යයන්ට වත් ඉටු කරන්නට බැරි වූ, අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන ‘වාම රාජ්‍යයක්’ අද තිබේ. ධන බදු පමණක් නොව, දේපල බද්ධ ද, ජනතාවට ය. 18% ක ඊ කොමස් බද්දක් ගහන්නට හැකි තැනට ‘බදුකරණය දේව වාක්‍ය’ කරගත් වමේ ආණ්ඩුවකි. සජිත් - ජලනී ආණ්ඩුවක් යටතේ කිසිම දවසක කරන්නට හිතන්නේ වත් නැති ‘ධනපති වැඩ කරන’ ආණ්ඩුවකි. රත්තරං අශ්වයින් වෙනුවට දැන් පිරිසම ‘රත්තරං ප්ලග් පොයින්ට්’ අටවති.
දකුණු කඳවුරට විරුද්ධ ‘වාම ලේබලය’ අලවා බලයට පත්වන සෑම ආණ්ඩුවකටම ඉතිහාසය පුරා සිදුව ඇත්තේ මාස හතර පහකින් ‘වම - දකුණ’ මාරුවීම ය.
මැතිවරණයක දී බලය ලබා ගැනීමට ඡන්දදායකයින් අලෙවි කරන ලේබලයක් මිස ලංකාවේ අද ‘වාම දේශපාලන ව්‍යාපාරයක්’ නැත. අද ‘වම’ යැය තමා තමන්ටම ලේබල් ගසා ගන්නේ 70 -90 දශකවල රැසියන් නව කතා, කෙටි කතා, ප්‍රචාරක පොත පත කියවූ මධ්‍යම පාන්තික සමාජයකි. එය ‘රැසියන් නවකතා පාඨක සමාජයක් මිස’ වාම ව්‍යාපාරයක් නොවේ. ප්‍රමාණයෙන් විශාල මේ පාඨක සමාජයේ ඡන්ද පොකුරු සිය අපේක්ෂකයාගේ ඡන්ද ගොඩට එක් කර ගැනීමට ‘වාම කඳවුර’ ලේබලය පක්ෂ නායකයින් විසින් අලවා ගනී. එයින් බලය ලැබූ මොහොතේ සිට මේ පිරිස සාද දමන්නේ ද, බාල් නටන්නේ ද, උපදෙස් ගන්නේ ද, වැඩ කරන්නේ ද, අන්ත දක්ෂිණාංශික කඳවුර සමඟය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු සමඟය.
වසර පහකට සැරයක් මේ රුසියන් නව කතා පාඨක සමාජය නින්දෙන් අවදි වී ‘වාම ලේබලය’ අලවා ගත් ඩක්කුවකට ගොඩ වන්නේය. එතැන් පටන් ‘උප්පතිය සමඟ අවසානය හෙවත් මරණය ද’ පිළිසිද ගන්නේ මෙන් අලුත් වටයකින් රැවටුණු බව පමණක් අවබෝධ කර ගන්නට පටන් ගනනේ ය.
රටේ ආර්ථික ප්‍රශ්නය ට උත්තර ඇත්තේ මේ රාජ්‍ය බලය ව්‍යාපෘති ලේබලය අලවාගත් ‘වමේ’ නොව, ශක්තිමත් දක්ෂිනාංශික වැඩපිළිවෙලක බව රැසියානු කතා පාඨක සමාජය දැන්වත් තේරුම් ගත යුතුව ඇත.
@රජිත් කීර්ති තෙන්නකෝන්