අනුරාධපුර නුවර වැව පසුගියදා යළිත් රටේ අවධානයට ලක්විය.
ඒ සංචාරක නියෝජ්‍ය ඇමැතිවරයා, ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් එහි වැව් බැම්මේ සිරකර තැබිණැයි කියැවුණු සිද්ධියක් සම්බන්ධයෙනි. ඊට පෙර ඉකුත් මාර්තුවේද නුවර වැව කෙරෙහි රටේ අවධානය යොමු වී තිබිණි. ඒ’ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ අනුරාධපුර වාරිමාර්ග නිලධාරීන් අතර ඇති වූ මත ගැටුමකට අදාළවය.
මෙදා සිදුවීම ගැන අපි සොයා බැලුවෙමු. සිදු වී ඇත්තේ සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ නුවර වැව නිරීක්ෂණයට පැමිණෙන බව දැනගත් වාරිමාර්ග නිලධාරීන් තිදෙනෙක්ද ඔහු සමඟ එම ස්ථානයට යෑමය. මේ පිරිසේ අපේක්ෂාව වී තිබුණේ අනුරාධපුර මාකට් පෙදෙසේ ගේට්ටුවෙන් පිටව යෑමටය.
ඔය අතරේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනකුද ජල සාම්පල් ලබාගැනීමට එහි ජල පොම්පාගාරය වෙත පැමිණ පිටව ගොස් තිබිණි. ඔවුන් පිටව ගිය පසු ජල පොම්පාගාරයේ ක්‍රියාකරු විසින් ගේට්ටුව වසා දමනු ලැබ තිබිණි. ඔහු එසේ වසා දමා තිබුණේ නියෝජ්‍ය ඇමැතිවරයා සහ රාජ්‍ය නිලධාරීන් එහි පැමිණ ඇති බව නොදැනය. පසුව වාරිමාර්ග නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී ගේට්ටුව විවෘත කර තිබිණි. මෙහිදී සිදුවී තිබුණේ එය මිස ඇතැම් මාධ්‍ය පැවැසූ ආකාරයකට නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස සිර අඩස්සියේ තබා ගැනීමක් නොවේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාර්තාවක් සැපයීමට පොම්පකරුගෙන් කටඋත්තර ලබාගැනීමට අනුරාධපුර වාරිමාර්ග අංශ කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගෙන් විමසුවෙමු.
“ඇත්තටම මේක හිතාමතා කරපු දෙයක් කියලා අපි හිතන්නෙ නැහැ. අපි යෙදුණේ නිරීක්ෂණ චාරිකාවකයි. මීට කලින් අපි වසන්ත සමරසිංහ ඇමැතිවරයා සමඟත් සාකච්ඡාවක් පැවැත්වූවා. අනුරාධපුර, නුවර වැව් බැම්ම විවෘත නොකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එයට වාරිමාර්ග නිලධාරීන් දෙන හේතු පිළිගන්න අපහසුයි. තිස්ස වැවේ, ගිරිතලේ වැවේ, පරාක්‍රම සමුද්‍රයේ වැව් බැමි විවෘත කරලා සංචාරකයන්ට සුන්දර සංචාරක අත්දැකීම් ලබා දෙනවා. වැව් බැම්මේ වාහනත් ඕනෑ තරම් යනවා. එහෙනම් මේක නුවර වැවට විතරක් ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඒත් අනුරාධපුර වාරිමාර්ග නිලධාරීන්ට අවශ්‍ය මේක වහගෙන ඉන්නයි. දැන් හැම තැනම වල්වැදිලා, පොලිතින්, අරක්කු, බියර් ටින් හැමතැනම විසිකරලා. මේවා සුද්ද කරලා මිනිස්සුන්ට ඇවිදින්න පාක් එකක් හදලා, බෝට්ටු සේවයක් දාලා හොඳ සංචාරක ව්‍යාපාරයක් කරන්න පුළුවන්.
අනෙක ජල කාන්දුවක් තියෙනවා කියලා කිව්වට ලෝකෙ ඕනෑම ජලාශයක ජල කාන්දු සියයට සියයක්ම වළක්වන්න බැහැ. අනික එහෙම තියෙනවා නම් අපට තාක්ෂණික උපදෙස් අරගෙන ඒක සකස් කරන්නත් පුළුවන්. අවශ්‍ය වුණොත් අපි එහෙම හරි කරලා මේක අරිනවා.”
අනුරාධපුර වැව් බැම්ම සංචාරකයන් සඳහා විවෘත කළ යුතු බවටත්, එසේ විවෘත කිරීමේදී ඒ මත වාහන ගමනාගමනය සිදුවිය යුතු බවටත් කෙරී ඇති යෝජනාව හේතුවෙන් දේශපාලකයන් හා අනුරපුර වාරි ඉන්ජිනේරුවන් අතර මේ ගැටුමට ප්‍රධානම මාතෘකාව වූයේ අනුරාධපුර වැව් බැම්ම දෙවන වරටත් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණ බව පැහැදිලිවම පෙනී ගියේය. මෙසේ යෝජනා කර ඇත්තේ අනුරාධපුර හෝටල් හිමියන් බවටද පැවැසේ.
මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අපි අනුරාධපුර වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක මහතාගෙන් විමසුවෙමු. ඔහු පැවැසුවේ මෙවැන්නකි.
“අපි කොහොමත් අනුරාධපුරනේ. අපි මේ වැව් ගැන හොඳට දන්නවා. කනගාටුයි මේ වෙනකොට නුවර වැවේ රක්ෂිතය විනාශ වෙලා ඉවරයි. මේකට වගකියන්න ඕනෑ වාරිමාර්ග නිලධාරීන්. අනුරාධපුර මහ ඇමැතිගේ නිල නිවෙස, ආණ්ඩුකාරවරයාගේ නිල නිවෙස, ගුවන් හමුදා කඳවුරෙන් කොටසක්ම ඉදිකරලා තියෙන්නේ නුවර වැව් රක්ෂිතයෙ. මේවා ඉදිකෙරද්දී බලාගෙන හිටපු නිලධාරීන් දැන් යුද්දෙ ඉවරවෙලා තියෙද්දිත් නුවර වැවේ වැව් බැම්ම මහජනතාවට විවෘත කරන්න දෙන්නේ නෑ. කාන්දුවක් තියෙනවා කියලා කියනවා. ඒකට අවුරුදු දහයකටත් වැඩිලු. නමුත් ගත්ත පියවරක් නැහැ. ඒක පෙන්නලා තමයි වැව් බැම්ම විවෘත කරන්න දෙන්නේ නැත්තේ. එහෙම විවෘත කරලා සංවර්ධනය කරලා වාහන ගමනාගමනයට ඉඩ දීමේ වරදක් මම නම් දකින්නේ නැහැ.”
මේ ආකාරයට දේශපාලකයන්ගෙන් මෙන්ම අනුරාධපුර ව්‍යාපාරිකයන්ගෙන්ද චෝදනා එල්ල වන්නේ අනුරාධපුර වාරි ඉන්ජිනේරු අංශයටය. එහි වාරි ඉන්ජිනේරු ජයන්ත සිල්වා මහතාට අප අදාළ ප්‍රශ්නය යොමු කළ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
“වැව් බැම්ම විවෘත කිරීම සම්බන්ධව පරීක්ෂණ කරගෙන යනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කළ යුතු බවයි. වැවට අදාළ බලතල තියෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට. ගැටලුවක් ඇති වුණොත් එහෙම වගකීම දේශපාලකයොවත්, ව්‍යාපාරිකයොවත් භාරගන්නේ නැහැ. ඒ නිසා විවෘත කරනවා නම් ගිවිසුමක් අස්සන් කරලාම තමයි දෙන්න වෙන්නේ. වාහන යවන්න බැහැ. වාහන මාරු වෙන්න තරම් වැව් බැම්ම පළල් නැහැ. වැව් හදලා තියෙන්නේ වාහන යන්න නෙමෙයි. නුවර වැවේ ජල කාන්දුව බරපතළ වෙලා විනාශයක් සිදුවුණොත් ඔය අද කතා කරන කවුරුවත් ඒකෙ වගකීම් භාරගන්නේ නැහැ. කන්තලේට සිද්ධ වෙච්ච දේ කාටත් මතකයිනේ.”
සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට හැකියාව ඇතැයි යන හේතුව මතය. එහෙත් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට වැව් බැම්ම විවෘත කළ යුතුමද? මෙහිදී සංචාරකයන් ලෙස බොහෝ විට සැලකෙන්නේ දේශීය නොව විදේශීය සංචාරකයන් බස් රථවලින් හෝ වෙනත් වාහනවලින් වැව් බැම්ම දිගේ ගොස් ලබන අත්දැකීමද නැතහොත් ඇවිදගෙන ගොස් ලබන අත්දැකීමද?
කළ යුත්තේ සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් අවස්ථා ගණන වැඩි කිරීම මිස අඩු කිරීම නොවේ. එයින් සිදුවන්නේ ඔවුන් වියදම් කරන මුදල් ප්‍රමාණය අඩුවීමය. අවසානයේදී රටට සංචාරකයන්ගෙන් ගලා එන විදේශ විනිමය අඩුවීමය. එවන් තත්ත්වයක් යටතේ සංචාරකයන් හෝටල්වල නවතින කාලසීමාවද අඩුවේ. එවිට අනුරාධපුර හෝටල් හිමියන් නුවර වැවේ බැම්ම මතින් බස් රථ යැවීමෙන් බලාපොරොත්තු වන අවසන් ප්‍රතිඵලය රටට සාධනීය නොවීමට බොහෝදුරට ඉඩ තිබේ.
කෙසේ වුවද වැව් බැම්ම විවෘත කිරීමට එරෙහි ප්‍රධාන විරෝධය ලෙස මතුවන්නේ නුවර වැවේ ජල කාන්දු අවදානමය. අනුරාධපුර වාරි ඉන්ජිනේරුවන් විසින් ජල කාන්දු පවතින ස්ථානයේ පෙරණයක් යොදාගනු ලැබ තිබේ. ඊට අදාළ නිරීක්ෂණ කටයුතුද කෙරෙයි. ඒ ජලය සමඟ පාංශු අංශු පිටවෙනවාදැයි (ජලය බොරවීමක්) සැකහැර දැනගැනීමටය. යම් පාංශු අංශු පිට වීම වැව් බැම්ම කැඩීයෑමේ භයානක පෙරනිමිත්තක් විය හැකි යැයි ඉන්ජිනේරු ජයන්ත සිල්වා මහතා අපට කීවේය.
මේ සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල හා වාරි ඉන්ජිනේරු සූරිය බණ්ඩාර පැවැසුවේ මෙවැන්නකි.
“අනුරාධපුර නුවර වැවේ ලොකුම ප්‍රතිසංස්කරණය කෙරී තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයෙයි. බැමි ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පහුගිය කාලයේ ව්‍යාපෘතියක් තිබුණා. ඒ මඟින් අනාරක්ෂිත ස්ථාන කිහිපයක් අලුත්වැඩියා කරලත් තිබුණා. අපේ ලොකුම අපේක්ෂාව තමයි වැව් බැම්ම ආරක්ෂා කරගැනීම. අපි වැඩිදියුණු කිරීමේ මට්ටමට යන්නේ නැහැ. වෙනස්කම් කරලා නෑ. දැනට වැව් බැම්ම ආරක්ෂිතව තියෙනවා. නමුත් බැම්මට එකතු වන උඩින් දෙදරුම් කෑම් තියෙනවා. ඒ නිසා තමයි අපි ඒ නිසා තමයි අපි වහගෙන ඉන්නේ”
අනුරාධපුර නුවර වැව ඉදිකර ඇත්තේ වළගම්බා මහ රජු විසින් ක්‍රිස්තු පූර්ව 89ටත් පෙරය. හෙළ රජුන් මෙසේ දැවැන්ත වාරි කර්මාන්ත නිර්මාණය කර ඇත්තේ බත බුලතින් රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය ජලය රඳවා ගැනීමටය. ඒ මිස රථවාහන යැවීමට නොවේ. අනෙක රජ සමයේ වූ වාරි තාක්ෂණික ක්‍රම අද අප සතුව නැත. නුවර වැවේ ජල කාන්දුවක් ගැන යමක් රජ සමයේ හමු වී ඇති කිසිදු මූලාශ්‍රයක දක්නට නොමැත.
මෙකී පැහැදිලි කාරණා මුලින්ම වටහාගත යුතුය. වෙනත් ජලාශ හා සසඳා නුවර වැව ගැන තීන්දු තීරණ ගැනීම බුද්ධිගෝචර නොවේ. අනුරාධපුර නුවර වැව පිහිටා ඇත්තේද තරමක උස් බිමකය. අනුරාධපුර නගරය පිහිටා ඇත්තේ මෙකී බිමට පහළිනි. එබැවින් සියලු අවදානම් නිසි ලෙස විද්‍යාත්මකව අධ්‍යයනය කර ගන්නා තීන්දුවක් ගත යුතුය.
@ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ
ඉරිදා මව්බිම