SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිදහස ලබා දශක හතක් ඉක්මවූ පසුවද අප නිරතුරුව නගනා ප්‍රශ්ණය මෙය බවට පත්ව තිබේ.

දැන් එය අපේ දෛනික සජ්ජායනයක් බඳුය. විවිධ පිරිස් විවිධ වදන් හරහා මේ පැණයම අසති. එහෙත් මේ මොහොතේත් ඊට විසඳුමක් නැත.

 

ලාංකීය ප්‍රකාශන කර්මාන්තයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත ප්‍රේම් දිසානායක එය කාටත් වැටහෙන බසින් යළි අසා සිටියි. ඒ අදාල මාතෘකාව යටතේ පිට 129ක කෘතියක්ම රචනා කරමිනි. එහි පරිච්ඡේද එකොළහකි. මට හිතුණ හැටි නමින් කෙටි එහෙත් කෝපී වාග් දහරාවකි. ඔහු කියනුයේ මෙසේය.

 

514341207 10223543181247058 3122103457587354019 n

 

කෙසේ වෙතත් හතර වරිගයටම, හතර පැත්තෙන්ම, හතර ගාතෙන්ම ලෙල්ලටම කෙළවී තිබියදීත්, ඒ ගැන දැන දැනම එහිම ඇලී ගැලී ආතල් විඳින නරුමයන්ට මේ පොත ප්‍රහාරයක් වේවා.

 


ඔහු එහි ප්‍රහාරය යන්නට පෙර උපහාරය යනුවෙන් ලියා එය තනි ඉරකින් කපා දමයි. ප්‍රේම් ගේ මුළු පොතම රටකට අත්ව ඇති දරුණු ව්‍යසනය පිලිබඳ දැවෙන කෝපයෙන් යුතු පුරවැසියෙකුගේ තදබල විවේචනයකි. තමන්ද ඇතුළුව මතු පරම්පරාවනටද විහිද යන ලෙසින් රටක විනාශට කැටුන ආකාරය පිලිබඳව මෙහි ඔහු සිය මතයන් පල කර සිටියි. එහිදී රචකයා රටේ විවිධ ක්ෂේත්‍ර කෙරේ සිය අවධානය යොමු කරයි.

 

ඔහු සිය පළමු කැටපල් පහර එල්ල කරනුයේ අධ්‍යාපනයටය. ඒ ඉගෙනීමට කෙලවීම යනුවෙනි.

 

මේ කොටස කියවද්දී එක්වරම මගේ සිතට නැගුණේ පසුගිය දිනෙක මහාචාර්ය ජයන්ත අමරසිංහ විසින් පල කරන ලද අදහසකි. ඔහු කියා තිබුණේ රුහුණු සරසවියේ සිංහල විශේෂ උපාධි අවසන් හා තෙවන වසර සිසුන් තුළ ජේ බී දිසානායක ගැන වූ නොදැනුමෙහි තරමය. මේ දීර්ඝ නාය යාමක එක් ප්‍රකාශනයක් පමණි. කාලයක් තිස්සේම විවිධ නිලධර මෙන්ම දේශපාලක කල්ලි වල අමනෝඥ පියවර හරහා අද වනවිට අධ්‍යාපනය වැටී ඇත්තේ බ්‍රොයිලර් ෆාම් එකක තත්වයටය.

 

ගුරු භූමිකාවේ සිට සියළු අංශ බිඳවැටී ඇති අතර යලි නැගිටින්නට ජීවන හුස්ම පොදක් පොවන්නට තරම් දැක්මක් පෙනෙන තෙක් මානයේ නැත. ඉදින් ප්‍රේම් ගේ කෝපය සාධාරණය. අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනට දශක ගණනාවකට පෙර කුමරතුඟුවන් විසින් ලියන ලද රචනාවන් ගැන වර්තමානය දන්නේ වත් නැත. ප්‍රේම් සිය රචනාවෙහිදී අපේ පැවති අධ්‍යාපනය සහ වර්තමානය පිලිබඳ සංසන්දනාත්මක කියවීමකට යත්න දරයි. එහිදී ඔහුගේ විවේචනය දැඩිව එල්ලවෙන එක් පාර්ශවයක් වනුයේ ටියුෂන් කලාපය ය. මේ ඔහුගේම වදන්ය.

 


‘පිලිගත් නිසි අධ්‍යාපන සුදුසුකම් නැති ඇච්චෝ බැච්චෝ මේ අධ්‍යාපන කඩවලට අරක්ගත් ඔස්තාර්ලා වූහ. අධ්‍යාපන දැනුම හෝ විභාග සුදුසුකම් නැතත් දෙපිට කැපෙන කුනුහරුප කීමෙහි සමත් කට වාචාල මුඛරි කයියනායකලා රොත්තක් මාස්ටර්ලා නමින් නගර ගම් දනවු සිසාරා පහල වූවේය. උසස් පෙල විභාගයට ලියා ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ගෙදර සිටි එකා උසස් පෙල සිසුනට ටියුෂන් දෙන සර් කෙනෙකු වූවේය.'

 


ලංකාවේ ටියුෂන් අධ්‍යාපනය යන්න ගැඹුරු විචාරයකට, විෂ්ලේෂණයකට ලක්විය යුත්තකි. අද වන විට තත්වය අන්තිම බරපතල වී ඇත්තේ පාසල් ගුරුවරයාද ටියුෂන් ගුරුවරයකු බවට පත්වීම මගිනි. වර්තමානය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් අරක්ගත් ටියුෂන් අම්මලා සහ අප්පලා යනු මේ විකෘතියේ නග්න ප්‍රකාශනයයි. ප්‍රේම් සිය රචනාව තුළ අධ්‍යාපනයේ ගරාවැටීම අනෙක් ක්ෂේත්‍රයන් කෙරේ බලපානා අන්දම සිය කෝපී ස්වරයෙන් වේගයෙන් ලියාගෙන යයි.


කෙසේ වෙතත් ප්‍රේම් ගේ ඇතැම් ලිපියක ඔහු මේ ගැටළු විග්‍රහ කරගන්නා ආකාරය කෙරෙහි ඔහුගේ දැක්මෙහි සීමාවන්ද සළකුණු වෙයි. විශේෂයෙන්ම එය දකින්නට ලැබෙනා එක් රචනාවක් වනුයේ ඔහු පවුලට කෙළවීම මැයෙන් ඉදිරිපත් කරන පරිච්ඡේදයෙහිය.

 

ලාංකීය සමාජයේ පවුල් සංස්ථාවද ඇතුළුව සියළු සංස්ථා පවතිනුයේ පාඩු ලබනා තත්වයකය. පවුලෙහි පිරිහීම යනු සමාජ ඛේදවාචකයෙහි දරුණුම පැතිකඩයි. එසේම අපේ පවුලෙහි පිරිහීම යනු අප සමාජයේ සියළු අංශයන්හී පරිහාණියේ නග්න නිරූපණයයි. එහෙත් ප්‍රේම් සිය රචනාවෙහිදී තම පුරුෂමූලික ආස්ථානය මත පිහිටා පවුලෙහි ගරා වැටීමට වැඩි බරක් තබනුයේ කාන්තාවට නැතිනම් බිරිඳටය. මෙය එසේ ලෙහෙසියෙන් එළමිය හැකි නිගමනයක් නොවේ. ඔහු මෙහිදී තාක්ෂණ විරෝධියෙකු මෙන් තාන්තාවන් නවීන මෙවලම් ගෘහ කටයුතු වලට භාවිතා කිරීම කෙරේ විවේචනාත්මක වෙයි. එහෙත් නූතන ලෝකය යනු කාන්තාවද පිරිමියා හා සම සමව වෙහෙසෙන තැනක් වන අතරම කාත්නාවට දවසේ උපයන්නිය ලෙස කටයුතු කිරීම හැරුණ විට ගෙදර වරඩ කන්දද ඉතිරි වෙයි. ඇය තාක්ෂණය වෙත යොමු වන්නේ එහෙයිනි. එවන් තත්වයක් යටතේ අප තවදුරටත් ඉලපත, මිරිස් ගල කළගෙඩිය, ළිඳෙන් වතුර ඇද නෑම තැන කතා කිරීම අර්ථ විරහිතය. ලංකාවේ මේ ආර්තික විපරිණාමය හමුවේ පවුල කඩා වැටීම ගැන එරික් විසින් රචිත පෙම්වතකුගේ කට උත්තරයක් යන කවිය මෙහිදී ප්‍රේම්ගේ ප්‍රහාරාත්මක ලියවිල්ලට වඩා සත්‍යයට සමීපය. මේ ප්‍රේම් ගේ වදන් ය.

 


'අපායට හෙණ ගැහුවාක් මෙන් අරාබිකරයට ගෘහ සේවිකාවන් අලෙවි කිරීමේ බිස්නස් එක නව පණක් ලබා කලඑලි බැස්සේ මේ අල්ලපනල්ල අස්සේය. මැද පෙරදිග ධන කුවේරයන්ගේ මන්දිරවල බැලමෙහෙවරකම්, දාසකම් කර ලැබෙන ඩිරාම් වලට ඩිනාර්වලට වහ වැටුණු අපේ අම්මණ්ඩිලා මේ චාන්ස් එක සිතින් ගතින් වැළඳ ගත්තෝය. තමන්ට කන්න අඳින්න දුන් සැමියාට සහ තමන්ගේ ආදරණීය දූ දරුවන්ට පිටුපා අරාබියට ඉගිල්ලීම බොහෝ කාන්තාවන්ට කොස් ඇටෙන් හිවිඩ්ඩ අරිනවාටත් වඩා සිල්ලර ටොයිස් වැඩක් වුනේය.'

 


මේ නම් බරපතල ඛේදවාචකයක් පිලිබඳ අති සරල, ආදානග්‍රාහී කියවීමකි. සත්‍ය පසුබිම මීට වඩා බෙහෙවින් බරපතලය. ඒ තියුණු සමාජ විද්‍යාත්මක රචකයා ඒ ගැඹුරු එළඹුම මගහැර නොයා යුතුව තිබිණි. එසේ නොකිරීම තුළින් රචකයාද වැටෙනුයේ කාන්තාවනට ගරහන ගොඩටමය. මට දරුවන් විකුණන අම්මලා ගැන කාන්තාවන්ට අපවාදාත්මකව වගකීම පැවරුණ අසූව දශකයේ දයාසේන ගුණසිංහ ලියූ වැහැරී ගිය දෙතනේ නම් කවිය සිහිපත් වෙයි. ඔහු එදා ඒ ඛේදය තියුණු දේශපාලන දැක්මකින් විග්‍රහ කළ බව කිව යුතුය. ප්‍රේම් වැන්නකු මේ ගැන ගැඹුරින් කල්නා නොකර සරල කියවීමකට යාම ඛේදයකි.


ලිවීමට කෙලවීම මැයෙන් වන රචනාවද මීට වඩා විධිමත් විග්‍රහයක් අවශ්‍ය වන්නකි. විශේෂයෙන්ම ප්‍රමුඛ ප්‍රකාශකයෙකු ලෙස ප්‍රේම් ගේ විචාරාත්මක අක්ෂිය ප්‍රකාශක සංගමය වෙත වඩා තියුණු ලෙස යොමුවිය යුතුව තිබිණැයි සිතමි. කෙසේ වෙතත් ප්‍රේම් පොකුරු වෙඩි අහුරක් මුදා හැර තිබේ. ඒ වෙඩි විවාදාපන්නය. ඒ ගැන එකඟතා මෙන්ම නොඑකඟතාද බොහෝය. නමුදු මෙවන් දේ සාකච්චාවට ගැනීම සම්බන්ධයෙන් ඔහු ඇගයුමට ලක් විය යුතුය.

 

@ චූලානන්ද සමරනායක