අවිඥානය ක්‍රියාත්මක වන්නේ අපට විනිවිද නොපෙනෙන ආකාරයටය.
පහත වීඩියෝවේ අඩංගු වන්නේ ෆිදෙල් කැස්ත්‍රෝ මිය ගිය දිනයේ ශිෂැක් සමග කල සංවාදයකි. එහි දී ශිෂැක් අවධාරණය කරන ඉතා වැදගත් කාරණාවක් තිබේ. එනම්, කැස්ත්‍රෝගේ මරණින් මතු කියුබාවට අත්විය හැකි ඉරණම සම්බන්ධයෙනි.
ඔහු පවසන්නේ, ඔවුන්ට ගමන් කල හැකි මාර්ග කිහිපයක් ඇති බවය (උතුරු කොරියානු, චීන, සහ නැතහොත් බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විවෘතව වැළඳ ගැනීම). නමුත් ඔහු අවධාරණය කරනුයේ, ඔහු විසින් විස්තර කරන කාලකන්නි තත්වයන් යටතේ පවා කියුබාව විසින් අත්කරගත් සමාජ ජයග්‍රහණ ඇති බවත්, සියල්ල නැවත පුද්ගලීකරණය කිරීම ව්‍යසනයක් වනු ඇති බවත්, බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගැනීම ඉතා භයානක බවත්ය. එබැවින් උතුරු කොරියානු, චීන හෝ වෙනයම් ආකාරයකට නැවත ධනවාදී ප්‍රතිසංස්කරණ වෙත ගිය ද මෙතෙක් ආරක්ෂා කරගත් සමාජ ජයග්‍රහණයක් ඉතරි කරගත හැකි දෙන මෘදු මාර්ගයක් සාකච්ඡා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.
දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනා තරඟයකට අවතීර්ණ වී ඇත්තේ තමන් වඩා වැඩියෙන් ජාතිකවාදී බව පෙන්වීම සඳහාය. වර්තමානයේ දේශීයව ධනවාදී විභවයන් පවතිනුයේ භාෂාව, දේශීය සංස්කෘතිය, ඊට අදාළ සමාජ ප්‍රතිමාන - නීති රීති ව්‍යුහයන්, සහ වටිනාකම් සමග මිශ්‍ර වූ ධනවාදයේ කොන්දේසීන් සමගින් පැමිණ ඇති බටහිර සංස්කෘතික වටිනාකම් සමගිනි. දිලිත් සහ නාමල් ආමන්ත්‍රණය කරනුයේ එම ආත්මය වෙතයි. ඊට කැමැත්තක් දක්වන සිංහල බෞද්ධ ජාතිකවාදීන් පවසනුයේ රාජපක්ෂලාට සිදු වූයේ විශාල අකරතැබ්බයක් බවය. එනම්, ඔවුන් සැබවින්ම "නරක" නොවූව ද නරක බවට තහවුරු වීම තුල එය වඩ වඩාත් නරක අතට හැරීමේ සමාජ ක්‍රියාකාරීත්වයක් තිබු බවය. එය මේ වන විට ජවිපෙ දෙසට හැරෙමින් තිබෙන බවත්, ජවිපෙ සැබවින්ම "නරකද" නැද්ද යන්න සොයා ගැනීමට නොහැකිව සැක සංකා උපදනවන තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දේ.
මෙසේ පවසන අයට නොවැටහෙන කාරණය වන්නේ නාමල්, දිලිත් වැනි අය හුදු පුද්ගලයින් බවත්, ඔවුන් දේශපාලනයට පැමිණ ඇත්තේ එක්කෝ තම පවුලේ උරුමයක් ලෙස හෝ නැති නම් අහම්බෙන් මිල මුදල් උපයා ගැනීමට හැකි වීම විසින් බවත්ය. එවැනි අය මගින් නියෝජනය වනුයේ පාරම්පරික ප්‍රභූ උරුමය, පුද්ගල දක්ෂතාවය, හැකියාව සහ සුවිශේෂිත්වයයි. නාමල්ට අදාළව නම් එය පාරම්පරික සිංහල බෞද්ධ උරුමය වන විට දිලිත්ට අදාලව එය නූතන සිංහල බෞද්ධ උරුමය ලෙස සැලකිය හැකිය.
නලින් ද සිල්වාගේ සිංහල බෞද්ධ ජාත්කවාදීන් ලෙස සැලකිය හැකි අයට මෙවැනි අය අවශ්‍ය වන්නේ ඔවුන්ගේ "චින්තනය" (නලින්ගේම භාෂාවට අනුව) ගොඩනැගී ඇත්තේ ජාතක කතා ඇතුළු ජාතික සංස්කෘතික සංකේත තුලින් බැවිනි. රජවරු, සිටුවරු, සහ දෙවින්නාසේලා නොමැති සිංහල බෞද්ධ සමාජයක් ගැන ඔවුන්ට සිතා ගත නොහැක.
ඉහත වීඩියෝවේ ප්‍රශ්න අසන්නා විසින් මෙසේ විමසයි:
ඇත්ත වශයෙන්ම, අද දින 'කෲර පාලකයෙකුගේ මරණය' ලෙස සමහර මාධ්‍ය ආයතන විසින් හඳුන්වනවා. එය ආධිපත්‍යය දරන ප්‍රතිරූපයක් විය හැකි යැයි ඔබ සිතුවාද?
ශිෂැක් එයට තදින් විරුද්ධ වෙමින් පැහැදිලි කරනුයේ කොම්යුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය අතර ඇති වෙනස පිළිබඳවයි. ඔහු එහිදී දෙක අතර පැහැදිලි රේඛාවක් සලකුණු කරන බව පවසයි. ඔහු මෙසේ පවසයි:
"මට පේනවා... මම මෙතන කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය අතර පැහැදිලි රේඛාවක් අඳිනවා. ෆැසිස්ට්වාදය, සරලව කිව්වොත්, නරක දේවල් කරන්න පොරොන්දු වුණු නරක මිනිස්සු බලයට පත් වුණා... නරක දේවල් කළා. කොමියුනිස්ට්වාදය එහි නරකම අවස්ථාවලදී පවා, ස්ටැලින්වාදයේ සහ වෙනත් තැන්වල පවා සැබෑ ඛේදවාචකයක්. උතුම් ආකාරයකින් අදහස් කළ, විමුක්තිදායක විභවයක් තිබූ දේවල් දරුණු ලෙස වැරදියට හැරුණා. වැරදුණු දේ සහ එය වඩා හොඳින් කරන්නේ කෙසේද යන්න නැවත සිතා බැලීමට පෙළඹවීමක් ලෙස අපි කැස්ත්‍රෝගේ මරණය භාවිතා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි."
කැස්ත්‍රෝ ඒකාධිපති කෘර පාලකයෙකු ලෙස ඔහු විසින් හඳුනා නොගනී. එනම්, කැස්ත්‍රෝ යනු කියුබානු කොම්යුනිස්ට් පක්ෂයේ නියෝජනය පමණි. ඒ අනුව තේරුම්ගත යුත්තේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ආණ්ඩු කල පක්ෂ යනු ධනපති පන්තිය නියෝජනය කල, පුද්ගල ඕනෑ එපා කම් වල ප්‍රතිරූපමය සහ පුද්ගල (රාජ්‍ය නායකයා සහ ඇමතිවරුන්) නියෝජනයක් බවත්, එහි ශුද්ධ වූ අර්ථය නම් බලය හොබවන පක්ෂයේ නායකයා යනු ජාතික රාජ්‍යයේ දිශානතිය තීරණය කරන අති උතුම් නායකයා වේ යන්නයි. මෙහි උපරිම අර්ථය සලකුණු වූයේ ඇඩොල්ෆ් හිට්ලර් වෙතිනි. ඔහු "Führer" යන ජර්මානු වචනයෙන් හඳුන්වනු ලැබූයේ එම අති උත්තමත්වය නියෝජනය කරමිනි. එම උත්තමයා ලෝකයටම මගපෙන්වන්නා බවට පත්වීම ජර්මනුවන්ගේ පැතුම බවට පත්ව තිබුණි. එයට එරෙහිව ජර්මනිය තුල තදින් නැගී සිටියේ වාමාංශිකයින් පමණි (යුදෙව්වන්ගේ විරෝධය හිට්ලගේ පාර්ශවයේ විරුද්ධ පැත්ත පමණි).
ලංකාවේ සිටි උපරිම අර්ථයේ Führer වූයේ ජේ.ආර්. ජයවර්ධනය (ඔහුට පෙර සහ පසුව සිටි අනෙකුත් සියල්ලන්ටම වඩා). ඔහු ඔහුවම හඳුන්වාගත්තේ අති උතුම් අති ගරු ජනාධිපති ලෙසය.
2022 මැයි 9 ප්‍රහාරය සහ ඊට අනුයාතව ඇති වූ සිද්ධීන් තුලින් නිදහසින් පසුව ගොඩනැගී තිබූ ප්‍රභූ බිය, ගෞරවය, සහ භක්තිය එකවර පහව යාමෙන් සහ අනුග්‍රාහක දේශපාලනය ඒ වන විටද ඇනහිටී තිබීම (2020 කොරෝනා සමග ඇති වූ තත්වය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුධය තුල) සහ පක්ෂ සුනු විසුනු වී යාම විසින් මිනිසුන් එතෙක් පැවති මානසික විලංගු වෙතින් නිදහස් විය. 2024 මාලිමාවේ ජයග්‍රහණයට බලපානුයේ එයයි. මෙය සුවිශේෂී තත්වයකි (මීට පෙර ලිපි රැසකින් විස්තර කර ඇත).
කුමන ආකාරයේ අඩු පාඩු කම් තිබුන ද ජවිපෙ යනු ඉහත විස්තර කල Führerයේලා සිටින පක්ෂයක් නොවේ (නමුත් ඔවුන් විමුක්තිය ලෙස දකිනුයේ සියලු දෙනා හට භාණ්ඩ සහ සේවා වල සම පාරිභෝජනත්වය හිමි වීමයි. නමුත් සරල සහ වැරදි සහගත තේරුම් ගැනීමක් වුව ද එසේ පිළිගැනීම තුල ද විමුක්ති විභවය තවමත් පවතී. එනම්, සමානාත්මතාවය පිළිබඳව ආස්ථානයයි). එහි දේශපාලන ස්ථාවරය සහ පක්ෂ ව්‍යුහය සහ යාන්ත්‍රනය විසින්ම එවැනි තත්වයකට ඇති ඉඩ අහුරා ඇත. බොහෝ දෙනෙකුට තේරුම් ගත නොහැක්කේ මේ වෙනසයි. මේ වන විට විපක්ෂ ප්‍රභූ තන්ත්‍රය මගින් අටවන උගුල් හේතුවෙන් මේ වෙනසට බලපෑම් එල්ල වෙමින් තිබේ. එය තේරුම් නොගන්නා වාමාංශික කොටස් ද එම උගුල් වලට හසු වී ඒ පාර්ශවය නගා සිටුවීමට දායක වෙමින් සිටී.
කැස්ත්‍රෝ මියගිය දිනයේ ශිෂැක් පැවසූ පරිදිම විමුක්ති දේශපාලන විභවය ආරක්ෂා කර ගත හැක්කේ කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරලා දැමීමෙන් නොව මෙය ආරක්ෂා කරගනිමින් ධනවාදයට එරෙහි කතිකාව ගොඩනැගීම මගිනි.
@ස්පාර්ටකස් ලිපි
(ස්පාර්ටකස් ෆේස්බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ ලිපි කියවීමට පහත ලින්ක් භාවිත කරන්න).