කාලානුක්‍රමණය (temporal/historical order) හා තර්කානුක්‍රමණය (logical order) දෙකකි.
ඊට පෙර වියුක්ත සංයුක්ත ගැන සුළුවෙන් කතා කළ යුතු ය. සංයුක්ත යනු පංචේන්ද්‍රියන්ට ගෝචර හෝ හිතින් මවා ගත හැකි සංකල්ප ය. වියුක්ත සංකල්ප පංචේන්ද්‍රීය ගෝචර හෝ හිතින් මවා ගැනීමට නො හැකි ය. ඔබ ඉදිරියේ ඇති මේසයක්, පුටුවක්, ගහක්, ගලක්, පොල් ගෙඩියක් සංයුක්ත වෙද්දී එක දෙක තුන ආදී සංඛ්‍යා, පළලක් උසක් නැති දිග අනන්ත සරල රේඛා ආදිය, ගුරුත්වාකර්ෂණය ආදිය වියුක්ත සංකල්ප ය.
සංයුක්ත සංකල්පවලට ඉතිහාසයක් ඇත. ඔබ ඉදිරියේ ඇති පුටුව වඩුවකු තනා තිබේ. පොල් ගෙඩිය පොල් ගහකින් ඉපදී ඇත. (කාලානුක්‍රමය හෝ ඓතිහාසික අනුක්‍රමය වන්නේ මෙය ය) නමුත් එක දෙක තුන සරල රේඛා ගුරුත්වාකර්ෂණය එසේ නො වේ. ඒවා අපට ඉදිරිපත් වන්නේ කවදත් කොහොමත් පැවති දේ ලෙස ය. මේ මේ සංකල්ප විවිධ අය මුලින් ගෙන ආවා විය හැකි ය. නමුත් එය ඉදිරිපත් වන්නේ එතැන් සිට සංකල්පය ආරම්භ වන්නේ ය යනුවෙන් නොව කවදත් කොහොමත් තිබූ දෙයක් "සොයාගත්තා" ලෙසිනි.
මේ වියුක්ත සංකල්ප යනු මිනිසුන් සොයාගන්නා/අනාවරණය කරගන්නා කවදත් කොහොමත් පවතින සත්‍යයන් ය යනු පැවති එක අදහසකි. එනම් 1,2,3 අප ඇතත් නැතත් පවතින අතර අප ඇතත් නැතත් 1+1=2 වේ යන්න ය.
කාන්ට් ඉදිරිපත් කළ අදහස වූයේ මේවා සදාතනික සත්‍යයන් නොව මනස දේවල් ග්‍රහණය කරගන්නා කොන්දේසීන් බවයි. එනම් මනස දේවල් ග්‍රහණය කරගන්නේ යම්කිසි ආකාර දැලකින් වන අතර මේවා බාහිර සදාතනික සත්‍යයන් නොව මනසේ කොන්දේසි ය.
යුක්ලීඩ්ගේ ජ්‍යාමිතියේ උත්සාහ කරන්නේ සරල වියුක්ත සංකල්ප කිහිපයකින් පටන් ගෙන ඒවායින් තර්ක කරමින් සමස්ත ජ්‍යාමිතිය ගොඩනැංවීමට ය. එනම් එහි සරල හා මූලික යැයි ගන්නා සංකල්පවල සිට ක්‍රමිකව සංකීර්ණ සංකල්ප ගොඩනංවන අනුපිළිවෙළක් ඇත.
සරල සංකල්ප යැයි සලකන්නෙන් සංකීර්ණ සංකල්පයට යාම තාර්කික අනුක්‍රමයයි. උදාහරණ ලෙස බාහිර කෝණ ප්‍රමේයය හෙවත් ත්‍රිකෝණයක බාහිර කෝණයක් ප්‍රතිවිරුද්ධ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට සමානය යන පාසලේ උගන්වන ප්‍රමේයය යොදාගෙන ත්‍රිකෝණයක බාහිර කෝණයක් ප්‍රතිවිරුද්ධ අභ්‍යන්තර කෝණයකට වඩා විශාලය කියා ඔප්පු කිරීම තාර්කික අනුක්‍රමයට පටහැනි ය. මක් නිසා ද යත් පාසලේ නූගන්වන මේ දෙවනි ප්‍රතිඵලය එන්නේ පාසලේ උගන්වන ප්‍රමේයයට පෙර නිසා ය. බාහිර කෝණ ප්‍රමේයය ව්‍යුත්පන්න කිරීමට අනුරූප කෝණ ප්‍රමේයය උපකාර වන අතර එය ව්‍යුත්පන්න කිරීමට බාහිර කෝණ අසමානතාව අවශ්‍ය වේ.
මෙයින් කියැවෙන්නේ ඉතිහාසයේ මුලින් බාහිර කෝණ අසමානතාව ඇති බවත් පසුව බාහිර කෝණ ප්‍රමේයයත් ඇති බව නොව එය තාර්කික අනුපිළිවෙල බව ය.
කාලානුක්‍රමයේ පියා පුතාට පෙර වුව ද තාර්කික අනුක්‍රමයෙහි පුතාට පෙර පියෙක් නැත. පුතෙක් නැති නම් පියකු නොවන බැවිනි. (ස්ත්‍රී ලිංගික ව්‍යවහාරයන් මොහොතකට අමතක කරන්න)
යසස් පොන්වීර මෙන් සමහරුන්ගේ අදහස වන්නේ අප සංයුක්ත දේ ගැන සිතද්දී ඒ සිතන්නේ වියුක්ත සංකල්ප රාශියක් ගැන අප නොදැනුවත්ව ම (වඩා ඒ ගැන සංවේදී නො වී) සිතමින් බව ය. එම නිසා සංයුක්ත සංකල්ප වියුක්තයෙන් පැන එන බව ඔවුහු සිතති.
(උදාහරණ ලෙස හේගල් උත්සාහ කළේ සංයුක්ත සමස්තය වියුක්තයෙන් ගොඩනැඟෙන ආකාරයක් ඉදිරිපත් කිරීමට ය.)
වියුක්තය මඟින් සංයුක්තය හැඩ ගස්වනවා යන්නෙන් ඔබ්බට ගොසින් වියුක්තය මඟින් සංයුක්තය සාදනවා යැයි කීම හා අඩු වැඩි වශයෙන් සංයුක්තය යනු මිශ්‍ර වූ (නිශේධනය වූ) වියුක්තයෙන් පැන නඟින්නක් කීමේ ප්‍රශ්නය වන්නේ ඉතිහාසයෙන් පැන නඟින යම් කලෙක පහළ වූ දේ වෙනුවට මේවා කවදත් කොහොමටත් තිබුණු වියුක්තයන්හි අවස්ථා වීම ය. එනම් පොල් ගහෙන් පොල් ගෙඩිය සෑදී එය බිඳ පොල් සම්බෝලයක් හදන තෙක් ඒවා ඇති වී නැති වී යනවා නොව පොල්, ගෙඩි, බිඳීම, කුඩු, කාලය, අවකාශය ආදී සංකල්ප එක් වී අපට එය චිත්‍රපටයක් මෙන් ගොඩනඟා පෙන්වනවා ය. ඇතිවී නැති වී යන පොල් ගෙඩියකට වඩා විවිධ පොල් ගුණ කාලයට ඈඳූ පොල් ශ්‍රිතයක් අකාලිකව පවතිනවා ය.
කාල් මාක්ස්ගේ ස්ථාවරය වූයේ වියුක්තයෙන් ව්‍යුත්පන්න කොට සංයුක්තයක් ගොඩ නැඟීම විධිමත් සංකල්ප ගොඩනැඟීමේ ආකාරය නමුත් එය චිත්ත සංයුක්තයක් මිස සත්‍ය සංයුක්තයක් (ඉන්ද්‍රියගෝචර හෝ හිතින් මවා ගත හැකි) නොවන බව ය. චිත්ත සංයුක්තය හුදෙක් ප්‍රතිබිම්බයකි. එනිසා තාර්කික ව්‍යුත්පන්නයක් නොවන ඉතිහාසයේ පහළ වීමක් ඇත. චිත්ත සංයුක්තය ගොඩනඟන්නේ එහි ප්‍රතිබිම්බයක් වන පරිදි මිස හදන චිත්ත සංයුක්ත සංවේදී සත්‍ය ලෙස ප්‍රකාශමාන වනවා නො වේ. මාක්ස්ට අනුව පද්ධතියක් වර්ධනය වන විට විසමතා වැඩි වන බැවින් වෙනස් ලක්ෂණ ඉවත් කොට පොදු ලක්ෂණ ඉතිරි කොට වියුක්තය වඩා හොඳින් ග්‍රහණය කරගැනීමට හැකි වේ. ඊට සාපේක්ෂව එතරම් වර්ධනය නො වූ පද්ධති නිරීක්ෂණය කරන විට විසමතා අඩු බැවින් විවිධ වියුක්ත සංකල්පවල මිශ්‍ර වීම් වෙන් කර ගැනීමට අපහසු වේ. එනම් වෙනස් ලක්ෂණ ඉවත් කරන විට එතරම් දේ ඉවත් නො වේ. එනිසා මාක්ස්ට අනුව පද්ධති සංකල්පගත කිරීමේ දී වඩා මූලික වියුක්ත සම්බන්ධතා බොහෝ හොඳින් හා සියුම්ව හඳුනාගත හැක්කේ ඉතිහාසයේ වඩාත් වර්ධනය වූ පද්ධතිවලිනි. වඳුරාගේ කායවිද්‍යාවේ යතුර ඇත්තේ මානව කායවිද්‍යාවේ ය යන ප්‍රකාශයේ අර්ථය එයයි. වඩා වියුක්ත සංකල්ප මනසේ මූලික පූර්වෝපකල්පන මිස අත්දකින භෞතිකයේ පූර්වෝපකල්පන නොවූව ද ඒවා හඳුනාගැනීමට හැකි වන්නේ වඩා වර්ධිත සංවේදී ලෝකයක ය.
මෙතෙක් අපිට බටහිර දාර්ශනික පද්ධති ප්‍රවණතා දෙයාකාරයකට සාරාංශ කළ හැකි ය.
a. වියුක්ත සංකල්ප හා සම්බන්ධතා බාහිර යථාර්ථයේ කොන්දේසි ය. වඩ වඩා වියුක්ත වූ සම්බන්ධතා අනාවරණය/සොයාගැනීම මඟින් බාහිර යථාර්ථයේ සියුම් ස්වභාවයන් වටහා ගත හැකි ය. (කාටිසියානු)
b. වියුක්ත සංකල්ප මනසේ කොන්දේසි ය. වඩා වඩා වියුක්ත සංකල්ප අනාවරණය කර ගැනීමෙන්/සොයාගැනීමෙන් අපට මනසේ ක්‍රියාකාරීත්වය වඩා ගැඹුරට ග්‍රහණය කරගත හැකි ය. බාහිර යථාර්ථයක් ඇති නැති ද හෝ කෙසේ හැසිරෙනවා ද යන්න අපට දන්නේ නැත. අපට කිව හැක්කේ බාහිර යැයි කියන්නක් ග්‍රහණය කරගන්නා මානසික ක්‍රියාකාරීත්ව ස්වභාවය මෙසේ වන බව ය.
එම නිසා වඩ වඩාත් වියුක්ත සංකල්ප අනාවරණය කරගත යුතුයි.
b. ii මේ වඩා වියුක්ත සංකල්ප ග්‍රහණය කරගත හැක්කේ වඩා වර්ධිත සංයුක්ත නිරීක්ෂණ හා සම්මුඛ වීමෙන් මිස සංයුක්ත නිරීක්ෂණ වියුක්තයෙන් පැන නො නඟී..
මේවායේ අවම වශයෙන් මානසික ක්‍රියාකාරීත්වයෙහි වියුක්ත කොන්දේසි ඇති බවත් ඒවා සාදා ගන්නවා නොව ඉබේට ම/නොදැනුවත්ව ම හෝ පූර්වෝපකල්පනය වී ඇති බවත් ඒවා සොයාගත යුතු බවත් කියැවේ.
එහෙයින් තාර්කික පිළිවෙළේ පූර්වෝපකල්පනය යනු සැමවිට ම සක්‍රිය පූර්වෝපකල්පනයක් නො වේ. එනම් පූර්වෝපකල්පනය කරන්නා තමන් එසේ කරන බව දාර්ශනිකයකු පැමිණ පෙන්නා දෙන තෙක් "අමතකව/ඊට අන්ධව" සිටිය හැකි ය. ප්‍රාථමික සමාජවල ජනයා තමා මේ මේ දේවල් පූර්වෝපකල්පනය කළ බව ඔවුන්ටත් අඳුනා ගැනීමට නොහැකිව සිටි පිරිස් ය.
චලිතයෙහි නිශ්චලත්වය පිළිබඳව පූර්වෝපකල්පනය ගැන කතාව ද එසේ ය. එය පූර්වෝපකල්පනය කරන්නේ තර්කානුක්‍රමණයෙහි මිස කාලානුක්‍රමණයෙහි නො වේ.
දුවන මිනිසකු තමන් නිශ්චල බවත් පොළොව පිටුපසට යන බවත් හිතනවා යැයි කියනු ඇත්තේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට ලියන්නන් පමණකි. වෙන මා දන්නා අය එසේ සිතන්නේ නැත. නිරීක්ෂකයා තමා නිශ්චල කරගැනීම යනු බොළඳ කටු සැකිල්ලකි. වන්නේ නිරීක්ෂකයා චලිත සමූහයක් ලකුණු කිරීමත් එය ඛණ්ඩාංක කිරීමේ දී නිශ්චලතා ලක්ෂ්‍යයක් කොහේ හෝ අහුවීමත් ය.
වාහනයක නොලිස්සා කැරකෙන රෝදයක් කැරකෙන්නේ එහි අක්ෂය වටා නොව බිම ස්පර්ශ වූ ලක්ෂ්‍යය වටා ය. නමුත් සාමාන්‍ය ජීවිතයේ කිසිවකු එසේ සලකන්නේ නැත. ඒ රෝදය කැරකීම සිතන විට අක්ෂය නිසල කෙරෙන නිසා ය. යන වාහනයක අක්ෂය නිසල කොට සිතීමට කාටවත් වුවමනාවක් නැත. රෝද කැරකීම සිතීමට පමණක් ඒ ඛණ්ඩාංක යොදා ගැනේ.. අක්ෂය නිසල වීම අතුරු ප්‍රතිඵලයකි..
කෝදුව, ආලෝකය, ඔරලෝසුව ලකුණු වැනි දේ තාර්කික පිළිවෙළෙහි මුලින් එන ඒවා නො වේ. ඒවා අවශ්‍ය වන්නේ ඛණ්ඩාංක සංයුක්තව ලකුණු කිරීමට පෙරයි. එනම් මේවායින් කෙරෙන්නේ ඛණ්ඩාංක ප්‍රකාශ කර දැක්වීම පමණි.
හේගල් මිනුම ගැන කීවේ.. ආරම්භකව වියුක්ත ප්‍රමාණය (quantity) ඇති බවත්, ඒවායේ සන්සන්දන එයින් පැන නඟින බවත්, සන්සන්දනයෙන් මිනුම් ඒකක හා මිනුම ගම්‍ය වන බවත් ය.
කාලානුක්‍රමයට අනුව දිග කතා කිරීමට පෙර මීටර් කෝදුව අවශ්‍ය ය. තාර්කික අනුක්‍රමයෙහි දිග යනු මීටරයට හෝ කෝදුවට පෙර එන සංකල්පයකි. දිග මීටරවලින් කියනවා නොව මීටරය ද දිගකි. අනෙක් වස්තු සමහරකට ද දිග ඇත. ඒ දිග හා මීටරයේ දිග සන්සන්දනයෙන් මිනුම ලැබේ. මීටර් 5ක දිග යන ප්‍රකාශය මීටරයට පෙර නොතිබුණ ද එයින් කියැවෙන දේ මීටරයට පෙර තාර්කිකව පවතී.
දැන් බටහිර දර්ශනයෙන් මිදී අපේ අදහස පැවසුවහොත් මේවා මනසේ ක්‍රියාකාරීත්වයේ සැඟවුණු ස්වභාව ලෙස හොයාගන්නවා නොව නිරීක්ෂණවලින් පොදු ලක්ෂණ වෙන් කරගනිමින් හදාගන්නා දේ ය. මේවා කවදත් කොහොමත් පැවතුණා සේ පෙනෙන්නේ මනසේ කොන්දේසියක් ලෙස හෝ එසේ පැවතුණු නිසා නොව අතීත අනාගතයට ද අදාළ කොට එසේ හදාගත් නිසා බව ය.
නිවුටන්ගේ කාලයේ නිත්‍ය වූ අවකාශයක් කාලයක් තිබුණි. ඒ කාලයේ කළ සංකල්පනය කිරීම් ඒවා පූර්වෝපකල්පනය කරනවා සේ පේන්නට තිබුණි. අයින්ස්ටයින් අවකාශකාලය ගෙනාවේ ය. තවදුරටත් නිත්‍ය කාලය, අවකාශය මූලික කොන්දේසි නොවුණි. අවකාශ-කාල ඛණ්ඩාංක හා අවකාශකාල ප්‍රාන්තර වඩා මූලික සේ ගත හැකි ය. අවකාශය කාලය අමතක කොට ඛණ්ඩාංක හතරක් දමනා සිද්ධි සමූහයක් ලෙස අපට භෞතිකය සිතිය හැකි ය. අප මේ ඛණ්ඩාංක හතර හා තවත් දේ "ක්වොන්ටම් අවස්ථාවකින්" ඒ සම්බන්ධ යමක් මනින විට ලබා දෙන අගයන් ය කියා අපට සිතා ගත හැකි ය. (මේවා පමණක් නොව හුදු කාලය, අවකාශය වැනි පැරණි කොන්දේසි ද හිතින් මවා ගත නොහැකි ය. එහෙත් සිතිය හැකි ය. ඒවායින් සමන්විත සංයුක්තයක් සේ නම් මවා ගැනීමට හැකි ය.)
මාක්ස්ට අනුව අයින්ස්ටයින්ලා, ඩයිරැක්ලා වඩාත් සංකීර්ණ පද්ධති විමසූ නිසා අවකාශය හා කාලයට වඩා ප්‍රාථමික අදහස් ලබාගෙන ඒවායින් අවකාශය හා කාලය ව්‍යුත්පන්න කිරීමට සමත්ව ඇත. එනම් නිවුටන් ද මේවා පූර්වෝපකල්පනය කොට ඇති නමුත් ඔහුගේ කාලයේ තිබූ පද්ධති වඩා සරල නිසා ඒ බව ඔහුට ම දැනගත හැකි වූයේ නැහැ..
අප කියන්නේ අවකාශය, කාලය යනු සංස්කෘතිය හා සමාජය ආශ්‍රයෙන් හදාගත් දේ බව ය. ඒවා බාහිර ලෝකයේ හෝ මනසේ අනාවරණ නො වේ. ඒවා වැඩ නොකරන විට තවත් දේ හදාගන්නට විය. එහෙයින් සංයුක්ත සංකල්ප බොරු වෙද්දී වියුක්ත සංකල්ප යනු සැඟවුණු බාහිර ලෝක කොන්දේසි හෝ මානසික කොන්දේසි නොව බොරුවලින් නැවත සංස්කරණය කෙරුණු පට්ටපල් බොරු ය.
@තමලු මලිත්ත පියදිගම