SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක ඉතිහාසයේ සිදු වූ දරුණුතම පාරිසරික ව්‍යසනයක් ලෙස අරල් මුහුද (Aral Sea)

හැඳින්වෙයි. මධ්‍යම ආසියාවේ කසකස්තානය සහ උස්බෙකිස්තානය අතර පිහිටා ඇති මෙම දැවැන්ත ජල කඳ අද වන විට මිනිස් ප්‍රයත්නයන් හමුවේ යළිත් පණ ලබමින් සිටී.

 

 

aral_1.jpeg

 

 

මෙම ඓතිහාසික විනාශය ආරම්භ වූයේ සෝවියට් සමයේදී සිදු වූ වැරදි ජල කළමනාකරණය නිසාවෙනි. කලාපයේ කපු වගාව ඇතුළු දැවැන්ත වාරිමාර්ග ව්‍යාපෘති සඳහා, අරල් මුහුද පෝෂණය කළ ප්‍රධාන ගංගා දෙක වන ඇමු දරියා සහ සර් දරියා හි ජලය වෙනත් මාර්ගවලට හරවා යවන ලදී.

 

 

මේ හේතුවෙන් මුහුදට ගලා ආ ජලය සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිටියේය. 2000 දශකය වන විට මුහුදෙන් 90% කට වැඩි ප්‍රමාණයක් සිඳී ගොස් එය 'අරල්කුම්' (Aralkum Desert) නමැති දැවැන්ත ලුණු කාන්තාරයක් බවට පත් විය.

 

 

aral_4.jpeg

 

 

මුහුද සිඳී යාමත් සමඟ ප්‍රදේශයේ ආර්ථිකයේ කොඳුනාරටිය වූ ධීවර කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණි. එපමණක් නොව, සිඳී ගිය මුහුදු පතුලේ වූ ලුණු සහ රසායනික ද්‍රව්‍ය සුළඟට මුසුවීමෙන් හටගත් දරුණු ධූලි කුණාටු හේතුවෙන් ප්‍රදේශවාසීහු දරුණු සෞඛ්‍ය ගැටලුවලට ද මුහුණ දුන්හ.

 

 

කෙසේ වෙතත්, සම්පූර්ණයෙන්ම මියගිය මෙම පරිසර පද්ධතියට අද වන විට නව බලාපොරොත්තුවක් එක් වී තිබේ. ඒ, කසකස්තාන රජය විසින් ලෝක බැංකුවේ ආධාර ඇතිව 2005 වසරේදී ඉදිකරන ලද කොකාරල් වේල්ල (Kokaral Dam) හේතුවෙනි.

 

749330049_1049326600810818_567627565207374575_n.jpeg

 

 

මෙම වේල්ල හරහා දකුණු අරල් මුහුදට අපතේ යන ජලය ගලා යාම වළක්වා ඇත. ඒ වෙනුවට, උතුරු අරල් මුහුදු බේසම (Small Aral Sea) තුළ ජලය සාර්ථකව රඳවා ගැනීමට බලධාරීහු සමත් වූහ.

 

ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ ජල කළමනාකරණ සහ සංරක්ෂණ ව්‍යාපෘති නිසා අද වන විට උතුරු අරල් මුහුදේ ජල ධාරිතාව ඝන මීටර් බිලියන 24 කට අධික වී ඇත. එහි ජල පෘෂ්ඨයේ භූමි ප්‍රමාණය ද ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතී.

 

aral_2.jpeg

 

 

ජලය එක්රැස් වීමත් සමඟ මුහුදේ අධික ලවණතාව (Salinity) යළි සාමාන්‍ය මට්ටමකට පැමිණ තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මින් පෙර වඳ වී ගොස් තිබූ මත්ස්‍ය විශේෂ 20කට වැඩි ප්‍රමාණයක් යළිත් බෝ වී ඇති අතර, වාර්ෂික මත්ස්‍ය අස්වැන්න ද ටොන් දහස් ගණනක් දක්වා ඉහළ ගොස් ඇත.

 

 

aral_3.jpeg

 

 

අරල් මුහුදේ උතුරු කොටස මෙසේ යථා තත්ත්වයට පත්වීම ස්වභාවධර්මයේ අපූරු පුනර්ජීවනයක් ලෙස විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය මිනිසාගේ නිවැරදි දැක්ම සහ කැපවීම තුළින්, අහිමි වූ පරිසරය වුවද යළි ගොඩනැගිය හැකි බවට ලෝකයටම ලබා දෙන කදිම ආදර්ශයකි.

 

#AralSea #Environment #Conservation #NatureRevival #EcoRestoration

නවතම ලිපි