SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"තනි පුද්ගලයෙකුට හිතුමතේ ඖෂධ ගෙන්විය නොහැකියි" - ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේදී හෙළිවූ 'ඖෂධ මාෆියාවට' අභියෝග කරන නීතිමය කොටු පවුර!

 

 

සෞඛ්‍ය පද්ධතියම කළඹමින් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කළ බව කියන 'ප්‍රමිතියෙන් තොර

ඉමියුනොග්ලොබියුලින් නඩුව ඊයේ (10) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිලධාරිනියකගේ සාක්ෂිය හරහා සමාජයේ දැඩි කතාබහට ලක්වූ කරුණක් පුපුරා ගියේය.

 

 

එනම්, "ඇමතිවරයෙකුට හෝ බලධාරියෙකුට තනිවම තීරණය කර ලංකාවට ඖෂධයක් ගෙන්විය හැකිද?" යන ප්‍රශ්නයයි.

 

ඊට ලැබුණු පිළිතුර වූයේ "නැත" යන්නයි. අධිකරණය හමුවේ හෙළිවූ කරුණු අනුව, ශ්‍රී ලංකාවට ඖෂධයක් ආනයනය කිරීම යනු තනි අත්සනකින් කළ හැකි සරල ගනුදෙනුවක් නොව, විශේෂඥ වෛද්‍යවරුන්, තාක්ෂණික කමිටු සහ දහස් ගණනක ලේඛන පරීක්ෂාවෙන් සිදුවන දැවැන්ත විද්‍යාත්මක හා නීතිමය ක්‍රියාවලියකි.

 

 images 3

 

තනි පුද්ගලයෙකුට බිඳිය නොහැකි "ආරක්ෂක වැට"

 

ඊයේ සාක්ෂි ලබාදුන් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිනී නිශානි ලංකා කරුණාතිලක පෙන්වා දුන් පරිදි, ලියාපදිංචි සහතිකයක් නොමැතිව කිසිදු ඖෂධයක් ලංකාවට ගෙන්වීමේ නීතිමය හැකියාවක් නොමැත. මෙය හුදෙක් බලපත්‍රයක් නිකුත් කිරීමක් පමණක් නොව, අදියර කිහිපයකින් සමන්විත දැඩි පෙරහනකි.

 

ඇයගේ සාක්ෂියට අනුව මෙම ක්‍රියාවලියේ බැරෑරුම්කම මෙසේ පෙළගැස්විය හැකිය:

  1. ලියකියවිලි 350ක තාප්පය:

 එක් ඖෂධයක් ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරන ලිපිගොනුවක අවම වශයෙන් ලේඛන 350ක්වත් අඩංගු විය යුතුය. සමහර අවස්ථාවල එය වෙළුම් 25-30ක් තරම් විශාලය. මෙය තනි පුද්ගලයෙකුට කියවා අනුමත කළ හැකි සරල ලිපියක් නොවේ.

  1. විශේෂඥ කමිටු පෙරහන:

ඖෂධයක් නිර්දේශ කිරීම තනි නිලධාරියෙකුට කළ නොහැක. ඒ සඳහා අදාළ විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු තාක්ෂණික කමිටුවක අනුමැතිය අනිවාර්ය වේ.

  1. ඖෂධයේ "උප්පැන්න සහතිකය":

 

 

ආනයනය කරන ඖෂධය නිෂ්පාදිත රටේ (Country of Origin) අවම වශයෙන් වසර 03ක් වත් අලෙවි කර තිබිය යුතු අතර, එරට වාණිජ මණ්ඩලයේ සහතික සහ ඖෂධ නියාමන ආයතනවල අනුමැතිය (CoPP - Certificate of Pharmaceutical Product) අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

 hospital 834152 640 1

 

  1. නිෂ්පාදනාගාර පරීක්ෂාව:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශ අනුව බොහෝ විට අදාළ නිෂ්පාදනාගාරය පවා පරීක්ෂා කිරීමෙන් පසුව අනුමැතිය ලබා දීම සිදුවේ.

නීතිය හමුවේ ඇති බැඳීම (2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත)

 

සාක්ෂිකාරිය සඳහන් කළ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ බලාත්මක 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මගින් ඉතා පැහැදිලිව ස්ථාපිත කර ඇත.

 

  • පනතේ 109 වගන්තිය - කිසිදු තැනැත්තෙකු අධිකාරිය විසින් ලියාපදිංචි කරනු ලැබූ ඖෂධයක් මිස, වෙනත් ඖෂධයක් ආනයනය කිරීම, විකිණීම හෝ බෙදාහැරීම නොකළ යුතු බව දක්වයි.
  • ආනයනකරුගේ වගකීම - නඩු විභාගයේදී අවධාරණය වූ පරිදි, යම් ඖෂධයක් ආනයනය කිරීමට නම් එකී ඖෂධය නිෂ්පාදනයට අදාළ "සියලු තොරතුරු" අධිකාරියට ලබාදීමට ආනයනකරු නීතියෙන් බැඳී සිටී.

 

ගැටලුව තනි පුද්ගලයෙක් ද? පද්ධතිය ද?

 1709223173 keheliya remanded

මෙම සාක්ෂිය හරහා ගොඩනැගෙන ප්‍රබලම තර්කය නම්, මෙතරම් දැඩි ක්‍රමවේදයක් (SOP) තිබියදී, "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්" කුප්පි 6195ක් රජයේ රෝහල් පද්ධතියට රිංගුවේ කෙසේද යන්නයි.

 

 

සාක්ෂිකාරිය සඳහන් කළේ ඖෂධය වරායට පැමිණි මොහොතේ සිට, නිසි උෂ්ණත්වය (Cold Chain) යටතේ ගබඩා කිරීම සහ රෝගියාට ලබාදීම දක්වා වූ ක්‍රියාවලියම නියාමනය කිරීමට අධිකාරිය බැඳී සිටින බවයි. එසේ නම්, තනි අමාත්‍යවරයෙකුගේ හෝ නිලධාරියෙකුගේ නියෝගයකින් පමණක් මෙම සමස්ත ආරක්ෂක පවුරම බිඳ වැටුණේ කෙසේද?

 

 

මෙයින් ගම්‍ය වන්නේ, මෙම වංචාව සිදුව ඇත්තේ එක් අයෙකුගේ "හිතුමතේ තීරණයක්" මත පමණක් නොව, මෙම සංකීර්ණ තාක්ෂණික ඇගයීම් කමිටු, ඖෂධවේදීන් සහ නියාමන ක්‍රියාවලිය අභිබවා ගිය හෝ ඊට සම්බන්ධ වූ පුළුල් යාන්ත්‍රණයක් හරහා විය හැකි බවයි. ඖෂධයේ "උප්පැන්න සහතිකය" පවා සොයා බලන ක්‍රමවේදයක් තුළ ව්‍යාජ ලේඛන හරහා කෝටි ගණනක මුදලක් වංචා කිරීම සුළුපටු කරුණක් නොවේ.

 

නඩුවේ වත්මන් තත්ත්වය

 images 4

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, ඊයේ (10) දින 8 වන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමාද වී අධිකරණයට පැමිණීමද විශේෂ සිදුවීමක් විය. ඒ වෙනත් මහාධිකරණ නඩුවකට පෙනී සිටීමට යාම හේතුවෙනි.

 

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි විභාගය අද (11) දිනයේත් පැවැත්වීමට නියමිතය.

 

නිගමනය

ඊයේ අධිකරණයේදී හෙළි වූ කරුණු අනුව පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකාවේ ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය "කඩෙන් බඩු ගන්නවා වැනි" සරල කාර්යයක් නොවන බවයි. එය විද්‍යාත්මක සහ නීතිමය යකඩ රාමුවකි. එබැවින් මෙම නඩුවේ තීන්දුව හුදෙක් දූෂිතයන්ට දඬුවම් දීමක් පමණක් නොව, අනාගතයේදී මෙම යකඩ රාමුව බිඳ දමමින් රෝගී ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩ දෙන "හිඩැස්" වසා දැමීමටද තීරණාත්මක වනු ඇත.

 

 

නඩු වාර්තාව

10/02/2026

ලියාපදිංචි සහතිකයක් නොමැතිව ලංකාවට ඖෂධ ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බවත් යම්කිසි ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නම් එකී ඖෂධය නිෂ්පාදනයට අදාළ සියලු තොරතුරු ඖෂධ නියාමන අධිකාරියට  ලබාදීමට ආනයනකරු බැඳී සිටින්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිනියක ලෙස රාජකාරී කරනා නිශානි ලංකා කරුණාතිලක මහත්මිය ඊයේ (10) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවාය.

 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් එම මහත්මිය එලෙස පැවසුවාය. එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා ලබා දෙමින් සාක්‍ෂි ලබාදීම ආරම්භ කළාය.

 

2015 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා 2016 දෙසැම්බර් 26 වැනිදා ඖෂධ නියාමන අධිකාරියේ සේවයට එක් එක්වූ තමා නාවල රාජගිරිය විවෘත විශ්ව විද්‍යාලයෙන් 2024 වසරේදී සිය උපාධිය සම්පූර්ණ කළ බව පෙන්වා දෙමින් එම මහත්මිය සාක්ෂි ලබා දුන්නාය. ඖෂධ ආයතනයට අදාළ ලිපිගොනු 1100 ක් පමණ සිය රාජකාරී ජීවිතය තුළදී ඇගයීම් සිදුකර ඇති බවත් ඖෂධ ඇගයීම් කමිටුවේ සාමාජිකාවක ලෙස තමන් කටයුතු කරනා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් එම සාක්ෂිකාරිය තමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධව කටයුතු කරන්නේ යයිද පැවසුවාය.

 

සංවර්ධිත රටවලින් ලබා ගන්නා ඖෂධ වර්ග පරීක්ෂා කිරීමේ සායනික පහසුකම් ලංකාවේ නොමැති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් පිළිගත් ක්‍රමවේදයක් අනුව ලංකාවට ඖෂධ ආනයනය කරන්නේ යැයි පැවසූ සාක්ෂිකාරිය ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග නිර්දේශ කිරීම එක් එක් විෂයන් පිළිබඳව  ප්‍රවීණතාවයක් හා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කමිටුවක් මගින් සිදු කරන්නේ යයිද පැවසුවාය. 

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

ලංකාවට යම් ඖෂධයක් ආනයනය කිරීමේදී මුලින්ම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද ?

 

සාක්ෂිකාරිය ;

මුලින්ම ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. එම ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආනයනකරුවෙක්ද කියන එක අපි සොයා බලනවා. ඊළඟට ඔහු ආනයනය කිරීමට ඉල්ලුම් කරන ඖෂධය නිෂ්පාදනය කරන නිෂ්පාදිත සමාගම එරටේ ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කරුවෙක්ද ? වසර තුනක කාලයක් එකී නිෂ්පාදන එම රටේ අලෙවි කිරීමට අදාළ සහතික හිමිකරුවෙක්ද කියන එකත් සොයා බලනවා. එරටේ වාණිජ මණ්ඩලයේ සහතිකය නැතිනම් එම ඖෂධය අප රටට ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නෑ. එමෙන්ම එකී ඖෂධයේ සාම්පල අප රටේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කිරීමක් කළ යුතුය. බොහෝ විට එකී ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම සිදු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමකින් තොරව ලේඛන පමණක් පරීක්ෂා කොට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබා දෙන ක්‍රමවේදයකුත් තිබෙනවා.

 

(එම සාක්ෂිකාරිය සිය සාක්ෂිය ලබාදීමේදී සිංහල වචන භාවිතයට වඩා ඉංග්‍රීසි වචන භාවිතා කිරීම නිසා හැකිතාක් දුරට සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදෙන ලෙසට සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකාරියට අවවාද කළේය )

 

සාක්ෂිකාරිය ;

නිෂ්පාදනාගාර අනුමැතිය හිමිවුණාට පසුව ආනයනකරු ඉදිරිපත් කරන ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපිගොනුවේ අවම වශයෙන් ලේඛන 350ක් වත්  අඩංගුයි. අපි ලබාදී තිබෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔහු මුලින්ම ඊට අදාල ඉල්ලුම් පත්‍රය සමඟ එම ලිපි ගොණුව ඖෂධ නියාමන අධිකාරියට භාර දෙන්න ඕනා. එකී ලේඛන ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් විසින් නිසි ලෙස පරීක්ෂා කර ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ගොනුව අදාල බලධාරීන්ට ලබා දෙනවා. ඒවා විශේෂඥ තාක්ෂණ කමිටුව විසින් නිර්දේශ කලාට පසු තමයි ආනයනය ක්‍රියාවලිය සඳහා අනුමැතිය හිමිවන්නේ.

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය.-

ඒ සඳහා ක්‍රමවේද දෙකක් තිබෙන බව ඔබ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා නේද ?

 

සාක්ෂිකාරිය ;

ඔව් ජීව විද්‍යාත්මකව නිෂ්පාදන හා රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන ඖෂධ නිෂ්පාදනය ප්‍රධාන කොටස් දෙකයි. ඉමියුහෝගිලොබියන් එන්නත් එලෙස ජීව විද්‍යාත්මකව නිෂ්පාදනය කරන ඖෂධයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒවා ජීව සංඝටක ඇතුළත් කොට නිෂ්පාදනය කරන ඖෂධ වර්ගයක් බවත් රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ගත් තිබෙනවා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

ඖෂධයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට පෙර සලකා බලන වෙනත් විශේෂ කරුණුු මොනවාද?

 

සාක්ෂිකාරිය ;

ඒක අත්‍යවශ්‍ය ඖෂධයක්ද? එම ඖෂධය අපේ රටට මාසයක භාවිතය සඳහා කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? මේ දක්වා තිබෙන තොග ප්‍රමාණය හා ඇනවුම් කර ඇති තොග ප්‍රමාණය වගේ කරුණුත් සොයා බලනවා.  ඊට අමතරව එම ඖෂධයේ උප්පැන්න සහතිකය අපේ භාෂාවෙන් කියනවා නම් ඖෂධයේ උප්පැන්න සහතිකය ගැන අපි සොයා බලනවා. එම ඖෂධය එරටේ නිෂ්පාදනය කරන්න බලධාරීන් සත්‍ය වශයෙන්ම අවසර ලබාදීලා තියෙනවාද? කියන එක. ඒවා එම රටේ වෙළඳ පොලේ අලෙවි කරන්න එරට බලධාරීන් අවසර දීලා තියෙනවාද කියන සහතික කළ යුතුයි.  ආනයනකරුත්  මෙන්ම අපනයනකරුත් වෙනත් රටවල අලෙවි කරන්න ලබා දී තිබෙන සහතිකයට අපේ රටට ඖෂධ ගෙන්වන්න අවසර දෙන්නේ නෑ. එම ඖෂධය අපේ රටේ අලෙවි කිරීමට අපේ රටට නිකුත් කළ සහතිකයක් ඇත්නම් විතරයි ඒවා රටට ගෙන්වන්න අවසර දෙන්නේ. එකී නිෂ්පාදනය වෙනත් රටවලට අලෙවි කර ඇති බවට නිකුත් කරන සහතිකය පමණක් මදි. මේ සියලු තොරතුරු සහතික ඖෂධ ආනයනයකරු. ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමට බැඳී සිටිනවා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

තවත් මොනවාද සොයා බලන්නේ? 

 

සාක්ෂිකාරිය ;

ඖෂධයේ ලේඛනය සපයා තිබෙන දත්තවලට සමානද කියන එක.  ඒ වගේම එම ඖෂධය භාවිතා කිරීමට අදාළ නිර්දේශත් දැඩි ලෙස සොයා බලනවා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

ඔබ කීවා නේ ! ඖෂධය ආනයනකරුවකු. ඉදිරිපත් කරන එක් ඉල්ලුම් පත්‍රයක් අඩංගු ලිපි ගොණුවක සාමාන්‍යයෙන් ලේඛන 350 ක් විතර අඩංගුයි කියලා? සාමාන්‍යයෙන් එවැනි ගොනුවක් පරීක්ෂා කරලා අදාළ නිර්දේශය දෙන්න කොපමණ කාලයක් විතර ගතවෙනවාද?

 

සාක්ෂිකාරිය ;

සමහර අවස්ථාවල එවැනි වෙළුම් 25-30 කට අධික වන අවස්ථා තිබෙනවා. වැඩ කරන දින තුන්සීයක් ඇතුළත එම ඇගයීම් කටයුතු කරන්න පුළුවන්. ඖෂධ ආනයනය කිරීමට අදාලව ඖෂධ නියාමන අධිකාරිය අඛණ්ඩව නියාමනය කරනවා. ඒවා නිසි උෂ්ණත්වය යටතේ වරායට හෝ ගුවන්තොටුපළට රැගෙන එනවාද ?  ඊට පසු ඒවා එකී උෂ්ණත්වය යටතේම ගබඩා වෙත ප්‍රවාහනයනය කරනවාද? එම ගබඩාවල නිසි ක්‍රමවේදය යටතේ ගබඩාකොට තිබෙනවාද කියා නියාමනය කරනවා. ගබඩා බලපත්‍රයක් ගැනීම ගබඩාකොට තැබීම මෙන්ම ප්‍රවාහනය කිරීමටත් නිසි   බලපත්‍රයක් තිබිය යුතුයි. එකී ඖෂධ ආනයනය කළ අවස්ථාවේ සිට රෝගියාට ලබාදෙන අවස්ථාව වනතුරු අපි නියාමනය කරනවා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

ඖෂධයේ ආයු කාලයත් බලපානවා නේද? ඒ ගැනත් නියාමනය කරනවා නේද? ඖෂධ ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ කාගේ ආවරණ ලිපියක් යටතේද?

 

සාක්ෂිකාරිය ;

සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එම ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි. එවැනි අයදුම් පත් ඖෂධ නියාමන අධිකාරියට භාරදිය යුතුයි. ඊට පසු තමා තාක්ෂණ කමිටු ඒවා සලකා බලන්නේ.

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු ඊයේ (10) දිනයේත්, විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර නම වන විත්තිකරු නොමැතිව එම නඩු විභාගය පැවැත්වේ. නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණය හමුවේ. පෙනී නොසිටි අතර ඔහුට එරෙහිව වෙනත් මහාධිකරණයක් හමුවේ ගොනුකර ඇති නඩුවක් කැඳවීම සිදුවන නිසා එම අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ නමුත් පෙරවරු 10.30 ට පමණ වන විට ඔහුව විවෘත අධිකරණය හමුවට රැගෙන ඒම සිදු කරන ලදී.

 

වැඩිදුර විභාගය අද (11) දක්වා කල් තැබිණි.

 

සටහන - අචලා

නවතම ලිපි