SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය මෙතෙක් මාධ්‍ය ඉදිරියේ දිගහැරුණේ

හුදු දේශපාලනඥයෙකුගේ සහ නිලධාරීන් පිරිසකගේ දූෂිත ගනුදෙනුවක් ලෙස පමණි. නමුත් ඊයේ (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දිගහැරුණු සාක්ෂි විභාගයත් සමඟ මේ නඩුව, පටු දේශපාලන කෝණයෙන් ඔබ්බට ගිය 'රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ බරපතල කඩාවැටීමක්' දෙසට ගමන් කරමින් තිබේ.

 

 

විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ඉහළම නිලධාරියෙකුගේ සාක්ෂිය හරහා හෙළිවූ කරුණු, මෙම "අපරාධය" පිටුපස ඇති සැබෑ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබ්බට ගොස් භාණ්ඩාගාරය සහ රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් දක්වා විහිදෙන බවට ඉඟි පළ කරයි.

 

 

ණය ගිවිසුමේ අදෘශ්‍යමාන කොන්දේසි

 Montage

ඊයේ දිනයේ වඩාත්ම අවධානය දිනාගත් කරුණ වූයේ, මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී. රත්නායක මහතා ලබා දුන් සාක්ෂියයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමේදී, අපේ රටේ ජනතාවගේ ජීවිත අවදානමට ලක්වන බිහිසුණු කොන්දේසි ඊට ඇතුළත්ව තිබූ බවත්, ඒවා ගැන තමා "නොදන්නා" බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

 

 

විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න හමුවේ හෙළිවූ පරිදි:

 

  1. ජාත්‍යන්තර ප්‍රමිතියක් නැති වුවත් ඉන්දියානු ඖෂධ ගත යුතුය:

එම කොන්දේසිය ගැන තමා නොදන්නා බව සාක්ෂිකරු කීවේය.

  1. වන්දි ඉල්ලීමේ අයිතිය අහිමි වීම:

මෙම ඖෂධ නිසා රෝගියෙකුට හානියක් වුවහොත් ලංකාවේ හෝ ඉන්දියාවේ නඩු පැවරිය නොහැකි බවට ඇති කොන්දේසිය ගැනද තමා නොදන්නා බව ඔහු පිළිගත්තේය.

 

පුදුමය වන්නේ, මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශ සකස් කළ කමිටුවේ ප්‍රධානියා වූයේද මොහු වීමයි. "ගිවිසුම සම්පූර්ණයෙන්ම කියෙව්වාදැයි මතක නැත" යනුවෙන් වගකිවයුතු නිලධාරියෙකු පැවසීම, සමස්ත රාජ්‍ය තන්ත්‍රයේම නොසැලකිල්ල පිළිබඳ බරපතල චිත්‍රයක් මවයි.

 

 

උණුසුම් වූ හරස් ප්‍රශ්න විමසීම්

අධිකරණයේ සිදුවූ නීතිඥ සංවාදය තුළින් මෙම නඩුවේ ගමන් මග වෙනස් වන ආකාරය පැහැදිලි විය. පහත දැක්වෙන්නේ එම උණුසුම් සංවාදයේ සංක්ෂිප්ත උපුටා ගැනීමකි.

 

නීතිඥ හරේන්ද්‍ර බානගල:

"මේ ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධයක් නිසා යම් සංකූලතාවයක් වුණොත්, ඊට එරෙහිව ලංකාවේදිවත්, ඉන්දියාවේදිවත් නඩු පවරන්න බෑ කියන කොන්දේසිය ගැන ඔබ දන්නවද?"

 

සාක්ෂිකරු (හිටපු භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්):

"එහෙම කොන්දේසියක් තියෙන බව මම දන්නේ නෑ ස්වාමීනි."

 

නීතිඥවරයා:

"ගිවිසුම සම්පූර්ණයෙන්ම කියෙව්වද?"

 

සාක්ෂිකරු:

"කියවා බැලුවද කියා මතකයක් නැහැ. එය මා සන්තකයේ නැහැ."

 

නීතිඥවරයා:

"ඔබනේ මේකේ මාර්ගෝපදේශ හැදුවේ. ඒකට පදනම් වුණු ගිවිසුම ඔබ දැකලාවත් නෑ කියලා නේද මේ කියන්නේ?"

 

සාක්ෂිකරු:

"සම්පූර්ණයෙන්ම පරිශීලනය කළාද මතක නෑ. හැබැයි ගැටළුවක් ආවොත් බේරුම්කරණ මණ්ඩලයකින් විසඳගන්න ඕන කියල මතකයක් තියෙනවා."

 

 

දේශපාලන බලපෑම් සහ නිලධාරීන්ගේ නිහඬතාව

Sri Lanka Article Cover Page

 

සාක්ෂියෙන් ගම්‍ය වූ තවත් ප්‍රබල කරුණක් වූයේ එවකට පැවති දේශපාලන අධිකාරියේ බලපෑමයි. ඩොලර් අර්බුදය හමුවේ ඉන්දියානු ණය මුදල ඉක්මනින් වැය කරන ලෙස එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැඩි පීඩනයක් එල්ල වූ බව සාක්ෂිකරු පිළිගත්තේය.

 

 F9GWk3MbUAAML0J

"රාජ්‍ය බලධාරීන් මුදල් පාවිච්චි කරන්න ප්‍රමාදයි කියලා ජනාධිපතිතුමා දෝෂාරෝපණය කළා. ඒ නිසා තමයි මම ඖෂධ අනුකමිටුවට ලිපි යොමු කරමින් ඉක්මන් කළේ," යනුවෙන් සාක්ෂිකරු පැවසීමෙන් පෙනී යන්නේ, ක්‍රියාවලිය වේගවත් කිරීමේ මුවාවෙන් ආරක්ෂිත පියවරයන් මගහැරුණු බවද?

 

තනි පුද්ගල වරදක්ද? පද්ධතියේ බිඳ වැටීමක්ද?

 

මෙම නඩු විභාගය හරහා දැන් මතු වෙමින් පවතින්නේ හුදෙක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හෝ සෞඛ්‍ය ලේකම්වරයාගේ පමණක් වරදක් නොවන බවයි.

 

  1. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව:

පුද්ගලික අංශය තමන්ට ලැබුණු ණය මුදලින් 99%ක්ම භාවිතා කරද්දී, රාජ්‍ය ඖෂධ සංස්ථාවට භාවිතා කළ හැකිව තිබුණේ 27%කි. මෙය රාජ්‍ය අංශයේ බරපතල අකාර්යක්ෂමතාව පෙන්වයි.

  1. ගිවිසුම්වල වගකීම:

රටක් ලෙස අප අත්සන් කරන ණය ගිවිසුම්වල අඩංගු "මර උගුල්" ගැන ඉහළම නිලධාරීන් පවා නොදැන සිටීම හෝ නොසලකා හැරීම කොතරම් භයානකද?

  1. ණය බර:

අවසානයේදී මේ වස විස සඳහාද, එහි පොලිය සඳහාද ගෙවීමට සිදුව ඇත්තේ අහිංසක බදු ගෙවන ජනතාවට බව සාක්ෂිකරුම පිළිගත්තේය.

 

 Screenshot 20240206 135351 Facebook

 

නඩුව ලබන 9 වනදා යළි කැඳවනු ඇත. එදිනට හෙළිවන කරුණු මත, මෙම "එන්නත් ජාවාරම" හුදු පුද්ගලික ලාභයක් තකා කළ දෙයක්ද, නැතහොත් ආර්ථික අර්බුදය හමුවේ පද්ධතියම කළමනාකරණය කරගත නොහැකිව සිදු වූ මහා ඛේදවාචකයක්ද යන්න තවදුරටත් පැහැදිලි වනු ඇත.

 

[සටහන: මෙම ලිපිය අධිකරණ වාර්තා පදනම් කරගත් විග්‍රහයක් වන අතර, විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය හෝ වරදකාරීත්වය තීරණය කිරීම අධිකරණය සතු කාර්යයකි].

 

#Samaara Paranavithana - SLLeader

 

 

නඩු වාර්තාව

06/02/2026

 

images 12

අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් නැතත් ඖෂධවේදය යටතේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධද  ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ  ලබා දෙන මුදලින් ඖෂධ මිලදී ගැනීමේදී ලබාගත යුතු බවට කොන්දේසියක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ගිවිසුමේ අඩංගු බව තමා නොදන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී.  රත්නායක මහතා ඊයේ (6) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී විත්තියේ නීතිඥවරයෙකු නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

 

පෙර කී ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන යම් ඖෂධයක් භාවිතා කිරීමෙන් යම් සංකූලතාවයක් ඇති වුවත් එයට එරෙහිව අප රටේ දී හෝ ඉන්දියාවේ දී හෝ නීතිමය පියවර ගැනීමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවට කොන්දේසියක් ඇතැයි  තමා නොදන්නා බවද පළමු වන විත්තිකාර හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී  සිටි නීතිඥ හරේන්ද්‍ර බාණගල  මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය. කෙසේ නමුත් තමා එකී ගිවිසුම සම්පූර්ණයෙන්ම කියවා බැලුවේදැයි මතකයක් නොමැති බවත් එය තමා සන්තකයේ නොමැති බවත් විත්තිය නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසූ එම සාක්ෂිකරු එකී ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලැබූ යම් දෙයක් සම්බන්ධයෙන් යම් කිසි ගැටළු සහගත තත්ත්වයක් මතුවුවහොත් බේරුම් කරන මණ්ඩලයක් මගින් එය නිරාකරණය කරගත යුතු බවද කොන්දේසියක් ඇතුලත් බවට මතකයක් ඇතැයි ද පැවසීය.

 

මේ එකල පැවති ඩොලර් සංචිත හිඟයට හා විදේශ විනිමය අවම වීම යනාදී ගැටලු නිසා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමක් අනුව ඉන්දියානු රජය එකී ඇමරිකානු ඩොලර් බිලියනයක ණය  මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී තිබූ බවත්, ණයක් මිස ආධාරයක් නොවන එය වසර හතරකට පසුව මුදල පොලිය සමඟම යළි ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු වන්නේ යයි ද පැවසීය. එම  නඩුවේ 182 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ රත්නායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රත්නායක මහතා පෙරවරු 9.30 ට පමණ විවෘත අධිකරණය හමුවට පැමිණියේය. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මහාධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් විවෘත අධිකරණය හමුවේදී විත්තිකරුවන්ගේ නම් අඩ ගසනු ලැබුවාය. මේ වන විට විදේශගත වී සිටීම නිසා නමවන විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වෙන අතර සෙසු විත්තිකරුවන් එකොළොස් දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 

එවකට එනම් ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි සැපයීමේ සිද්ධිය වන විට මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කර මේ වන විට විශ්‍රාම ලබා සිටින එම සාක්ෂිකරු 2022.08.18 , 2022.09.02 හා 2022.12.19, 2022.04.07 සහ 2022.04.19 දිනැති ලිපි ඉදිරිපත් කර සාක්ෂි ලබාදීමට සිතාසි නිකුත් කර අධිකරණය හමුවට කැඳවා තිබිණි.

 

එම සාක්ෂිකරු පෙර සඳහන් කළ ලිපි ඉදිරිපත් කරමින් රජයේ අධිනීතීඥ කලන කොතලාවල , රජයේ අධිනීතීඥ ලිෂාන් රත්නායක යන මහත්වරුන් ඇතුළු රජයේ අධිනීතීඥ මණ්ඩලයක් සමග පෙනී සිටිමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නාය. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකරු මාර්ගයෙන් පෙර කී ලිපි මෙන්ම ඒවායේ අඩංගු සටහන් ද පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන ලෙස  අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.

 

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පෙරවරු 11.28ට පැමිණිල්ලේ මූලික සාක්‍ෂි මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

 

ජනාධිපති නීතිඥවරයා ;

2024.03.16 වන විට එකී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට ගිවිසුම් ගත ඇමරිකානු ඩොලර් 1000ක මුදලින් කොපමණ මුදලක් අදාළ ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබුණාද ?

 

සාක්ෂිකරු ;

එම මුදලින් සියයට පනහක් පමණ.

 

විත්තියේ නීතිඥ ;

පුද්ගලික අංශය ඔවුනට වෙන්කළ මුදලින් සියයට සියයක්ම එකී කටයුතු සඳහා යොදවා තිබියදීත් රාජ්‍ය ඖෂධ සංස්ථාව වැය කර තිබුනේ ඔවුනට වෙන් වෙන්කළ ඇමරිකානු ඩොලර් 115කට  ආසන්න මුදලින් සියයට විසි හතක පමණ  ප්‍රමාණයක් කියලයි ඔබ සාක්ෂි දුන්නේ.

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී

 

විත්තියේ නීතිඥ ;

ඔබ සාක්ෂි දෙමින් කීවා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළ මුදලින් අඩක්වත් නිසි ලෙස වැයකර නොතිබීම නිසා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසට ඔබ ඖෂධ සැපයුම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය චන්ද්‍රාණී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පාර්ශ්ව වලට ලිපියක් මගින් දැනුවත් කළා කියලා. ඇයි එවැනි පියවරක් ගත්තේ ?

 

සාක්ෂිකරු ;

මෙම ණය මුදල එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මගින් අනුමත කරගෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කළ ඉල්ලීමක් අනුව ගිවිසුම් ගතව ලබා ගැනීමට පියවර ගත් මුදලක්. නිසි කාලය තුළදී එය ලබාගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමයි අපේ අපේක්ෂාව වුණේ. ජනාධිපතිවරයා , සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා දෝශා රෝපණයට ලක්කලා රාජ්‍ය බලධාරීන් එකී මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නිසි පියවර ගැනීමට අසමත් වීම  හා ප්‍රමාදය ගැන. එනිසයි මම එවැනි ලිපියක් ඖෂධ අනුකමිටුව ඇතුළු සෙසු අනුකමිටු සභාපතිවරුන් වෙත යොමු කළේය. පුද්ගලික අංශයට වෙන්කළ මුදලින් සියයට අනූ නමයක් ඔවුන් ඒ වන විට වැය කර තිබූ නිසා රාජ්‍ය අංශයට හෝ වෙනත් අංශයකට නොදී තිබූ තවත් ඇමරිකානු ඩොලර් 35ක මුදලක් පෞද්ගලික අංශයට ලබා දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. 

 

දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු  අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ;

මම ඔබට යෝජනා කළොත් රජයේ රෝහල් පවත්වාගෙන යාම හා අනෙකුත් සියලුම වෛද්‍ය පහසුකම් රටේ ජනතාවට සපයන්නේ මූල්‍ය ලාභ බලාගෙන නොව නොමිලේමයි කියලා කියලා ඔබ එය පිළිගන්නවාද ?

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී

 

නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;

මෙම ණය මුදල පොලිය සමගම ලංකා රජය ඇමරිකානු ඩොලර් වලින් ආපසු ගෙවිය යුතු බවටත් මා ඔබට යෝජනා කරනවා ඒක හරිද ?

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී. ණය සහන කාලය වසර හතර අවසන් වූ පසු අපේ රජය එම ණය මුදල ගෙවිය යුතුයි. මේ දක්වා ණය මුදල ගෙවීම සිදුකර නැතත් පොලී මුදල් ගෙවීම ආරම්භ කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

 

විත්තියේ නීතිඥවරයා ;

කොහොම ගෙව්වත් ඒවා රජයේ මුදල්. ඒ කියන්නේ රටේ ජනතාවගේ මුදල්. ඔය සමයේ රට තුළ ඩොලරයේ විනිමය අනුපාතය වැඩිවීී තිබුණේ, භාණ්ඩවල මිල ගණන් වැඩිවී තිබුණේ, එමෙන්ම රටේ උද්ධමනය වැඩිවීී තිබුණේ කිව්වොත් ඔබ පිළිගන්නවාද ?

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;

උද්ධමනය වැඩිවීමේ අගය තීරණය කරන්නේ කොතනින්ද ?

 

සාක්ෂිකරු ;

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාමීනී.

 

සභාපති විනිසුරුවරයා ;

ඔබ රාජකාරි කළේ මහ බැංකුවේද මුදල් අමාත්‍යාංශයේද ?

 

සාක්ෂිකරු ;

මුදල් අමාත්‍යාංශයේ ස්වාමීනි

 

නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;

ඔබ එවකට මුදල් අමාත්‍යාංශයේ රාජකාරි කළ ඉහළම නිලධාරියෙක්, අතිරේක ලේකම්වරයෙක්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඔබ යටතේ නේද විදේශනය සම්පත් දෙපාර්තමේන්තුව තිබුනෙත්. එහෙම නම් ඔබට සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන්න ඕනනේ. ඩොලරයේ වටිනාකම කීයද ? ඩොලරය ඉහළ ගියාම භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳව ඔබට දැනුමක් තිබිය යුතුයි නේද? ඔබ ගරු අධිකරණය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කීවා ඔබ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසත් කටයුතු කළ බව.

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී

 

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;

ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කළ ගිවිසුම ඔබ හරියට දැක නැති බවත් ගිවිසුමේ පිටපතක් ඔබ දැක නැති බවත් ඔබ කීවා.

 

සාක්ෂිකරු ;

ඉන්දියාව හා ශ්‍රී ලංකා රජය අතර එකී ගිවිසුම අත්සන් කළ කාලය මතක නෑ.

 

නීතිඥ හරේන්ද්‍ර බානගල ; 

මතක නැතිද ඒ පිළිබඳ දැනීමක් නැද්ද ? මතක නෑ කියන්නේ ඒ ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියන එකද ? ඔබනේ එකී ගිවිසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මාර්ගෝපදේශ හැදූ කමිටුවේ ප්‍රධානියා. මාර්ගෝපදේශ හදන්න පාදක කරගත් ඒ අදෘශ්‍යමාන ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියලද කියන්නේ. ඒක දැකලා නෑ කියලද ඔබ කියන්නේ ? ඔබ කලින් කීවා ඉන්දියානු ණය ගිවිසුම හදන්න  ඔබ ප්‍රමුඛ කමිටුව දායකත්වය දැක්වූවා කියලා. දැන් කියනවා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් දැක්වූයේ නෑ කියලා. මම ඔබට යෝජනා කරනවා  ඔබ ඒ ගිවිසුම දැකලාවත් නෑ කියලා.

 

සාක්ෂිකරු ;

සම්පූර්ණයෙන්ම ගිවිසුම පරිශීලනය කලාද මතක නෑ. ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය කොන්දේසි වලට මා අත්සන් කළා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට.

 

නීතිඥ හරේන්ද්‍ර බානගල  මහතා ;

ඔබ නඩුවකට සාක්ෂි දෙන්න අධිකරණයකට  ආව පළමු අවස්ථාව මේක කියලා ඔබ කීවා. මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ කුමන කරුණක් ගැන කියලා ඔබට දළ වශයෙන් හෝ දැනුමක් තිබුණාද ?

 

සාක්ෂිකරු ;

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරමින් දේශීය වශයෙන් මිලදී ගත් එන්නත් පිළිබඳව ගැටලුවක් කියලා දැනගෙන හිටියා. මට දන්වා තිබුණේ ලිපි කීපයක් ගැන සාක්ෂි දෙන්න එන්න කියලයි.

 

හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතාද එහිදී එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න ඇසීය.

 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ;

ඔබ කීවා ඔබ පෙර සඳහන් කළ ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය චන්ද්‍රාණී වික්‍රමසිංහ මහත්මියට යැව් ලිපියේ පිටපත් සෙසු අනුකමිටු වෙත මෙන්ම ජනාධිපති ලේකම්වරයාටත් යැව්වා කියලා.  එකී පිටපතක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ සාගර කාරියවසම් මහතාටත් ඔබ යොමු කලානේ. ඔහුට එම පිටපත යොමු කරන්න විශේෂ හේතුවක් තිබුණාද ?

 

සාක්ෂිකරු ;

එතුමා මම පෙර කිව්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ ප්‍රගති සමාලෝචන රැස්වීම සංවිධානය කර තිබුණේ. එහිදී රාජ්‍ය නිලධාරීන් ලෙස අපිට දෝෂාරෝපණ එල්ල වුණා අදාල ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු දේවල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ ප්‍රමාදය ගැන. එය නිවැරදි කිරීමට වහාම පියවර ගන්නා බවට මා පොරොන්දු වුණා. ඒ අනුව තමයි සාගර කාරියවසම් මහතාට ඊට අදාළ ලිපියේ පිටපතක් යැව්වේ.

 

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 9 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.

 

 

නවතම ලිපි