කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
"ස්වාමීනී... මෙම නඩුකරයේ ඇතැම් සාක්ෂිකරුවන්ට දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා. එම දිවුරුම් ප්‍රකාශවල අන්තර්ගත කරුණුවල නිවැරදිභාවය පිළිබඳව මේ අවස්ථාවේදී අධිකරණයට සලකා බලන්න හැකියාවක් නෑ. මොක ද නඩු විභාගයකදී සාක්ෂි කූඩුවේ සාක්ෂිකරු නංවා කරනු ලබන ප්‍රශ්න කිරීම්වලින් තමයි, ඒවායේ අන්තර්ගතයේ සත්‍ය අසත්‍යභාවය මනින්න පුළුවන් වෙන්නේ.
අනික මේ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් වෙන හැටිත් අපි දන්නවා. සාක්ෂිකරුවන්ට කියනවා දිවුරුම් ප්‍රකාශයක් නොදුන්නොත් සැකකාරයෙක් කරලා රිමාන්ඩ් කරනවා කියලා. ඒ අනුව තමයි අල්ලස් කොමිසම මේ දිවුරුම් ප්‍රකාශ ලබා ගන්නේ.
අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළා, අපි වෘත්තීන්වල ආචාර ධර්ම ගැන හොයන්නේ නෑ කියලා. එහෙනම් මගේ සේවාදායිකාව මොළේ මැරිච්ච අයට ශල්‍යකර්ම කළා කියලා කිව්වේ කොහොම ද? මේ සැකකාරියගෙන් ප්‍රතිකාර ගත්ත රෝගීන්ගෙන් සීයට හැත්තෑවකට වඩා මැරිලා කියලා කිව්වේ කොහොම ද? අල්ලස් කොමිසම මේ වගේ ප්‍රකාශ කළේ මාධ්‍යවල අවධානය දිනා ගන්න. එහෙමත් නැත්නම් ගැලරියට තමයි කිව්වේ. ජනප්‍රියවාදී මතයක් ගොඩනගලා සැකකාරිය දිගින් දිගට ම රිමාන්ඞ් භාරයට පත් කරන්න තමයි අල්ලස් කොමිසම මේ වගේ දේවල් කරන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මහජන කැළඹීමක් නෑ. දැන් තිබෙන්නේ කෘත්‍රිමව නිර්මාණය කළ සමාජ මාධ්‍ය රැල්ලක් විතරයි. මේවා මත පිහිටලා අධිකරණවලට කටයුතු කිරීමට හැකියාවක් නැහැ. අල්ලස් කොමිසම පෝලිමට මිනිස්සු අල්ලන් ඇවිල්ලා රිමාන්ඩ් කරන්න හදනවා. මේ ක්‍රියාව නිසා වැඩි දවසක් යන්නට මත්තෙන් නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය කඩා වැටෙන්න පුළුවන්. ඒක වැඩි ඈතක නැහැ. ඊට පස්සේ ඒ අයටත් පෙනී ඉන්න වෙන්නෙ අපට ම යි.
ස්වාමීනි... අල්ලස් කොමිසම ඉල්ලූ පමණින් සැකකරුවන් රිමාන්ඩ් කරන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කරලා තිබෙනවා පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශකයින් ඉල්ලා සිටි පමණින් ඔවුන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න එපා කියලා. ස්වාමීනි... මේ වන විට මගේ සේවාදායිකාවගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ නිසා ඇයට ජයවර්ධනපුර රෝහලට ඇතුළු වෙන්න හැකියාවක් නෑ, ඒ නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් ඇයට හැකියාවක් නෑ."
ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
'මෙහෙම ගියොත් වැඩි කලක් යන්න කලින් අල්ලස් කොමිසම ඔබතුමියවත් මේ විත්ති කූඩුවට අරන් එන්න පුළුවන්' - (නීතීඥ ගුණරත්න වන්නිනායක)
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය:
"ස්වාමීනී... දැන් හිරු එළිය හොඳට තියෙද්දි අධිකරණය තුළ විදුලි බල්බ දල්වා තිබෙනවා. යම් කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන් හිරු එළිය හොඳින් තියෙද්දි විදුලි බල්බ පත්තු කරලා රජයට පාඩුවක් කලා කියලා. එවැනි තත්ත්වයක් ආවොත් අල්ලස් කොමිසම අහයි අධිකරණ නිලධාරීන්ගෙන් මේ ලයිට් දාන්න නියෝග දුන්නේ කවුද කියලා. නිලධාරීන් කියයි ඔබතුමිය කියලා. මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්නට කලින් අල්ලස් කොමිසම ඔබතුමියවත් මේ විත්ති කූඩුවට අරන් එන්න පුළුවන්,"
යනුවෙන් කරුණු දක්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මෙම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් අද දින කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.
ඒ අනුව, එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 28 වන දා කැඳවන ලෙස නියම කළේ ය.