සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව දක්වමින්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගත් තරුණයෙක් මාස 9කට ආසන්න කාලයක් සිරගත කර සිටී.
මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයෙකු දෙහිවල පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ය.
ඒ, ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ බවට චෝදනා කරමිනි.
ඊශ්‍රායල් විරෝධී ස්ටිකර් ඇලවීම හේතුවෙන් මොහොම් රුෂ්ඩි නමැති තවත් තරුණයෙකු ද මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි අතර ඔහු මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබේ.
'මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා'
2024 ඔක්තෝබර් මස 23 වන දා මොහොමඩ් සුහායිල් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, දෙහිවල ප්‍රදේශයේදී ය. ඒ, ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර නවාතැනක් සොයමින් සිටි අතරවාරයේදී ය. ජාතික හැඳුනුම්පත සන්තකයේ නොමැති බවට චෝදනා කරමින් ඔහු පොලිස් භාරයට ගෙන තිබූ බව ඔහුගේ පියා වන මොහොමඩ් රිෆායි බීබීසි සිංහල වෙත පැවසීය.
"පුතා කෝර්ස් එක කරන හින්දා ඉන්න රූම් එකක් හොයන්න දෙහිවලට ගියා. ඔක්තෝබර් 23 වෙනිදා හවස 3ට විතර මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා. ඊට පස්සේ මට කෝල් එකක් දුන්නා දෙහිවල පොලිසියෙන්. මම දෙහිවල පොලිසියට වට්ස්අප් එකෙන් යැව්වා පුතාගේ අයිඩෙන්ටිය. මට කිව්වා අවුලක් නෑ හවසට එන්න අවුලක් නැහැ පුතාව එක්කන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ 23 රෑ අයිඩෙන්ටිය අරගෙන ගියා ම කිව්වා ඕඅයිසී මහත්තයා අද නෑ උදේ තමයි යවන්න වෙන්නේ කියලා. ඔක්තෝබර් 24 උදේ මෙයාව ගල්කිස්ස උසාවියට දැම්මා. උසාවියට දැම්මා ම නිදොස් කොට නිදහස් කළා."
අධිකරණයෙන් නිදහස් කළ දිනයේ ම නැවත අත්අඩංගුවට
එදින තම පුතු සමග රාත්‍රී 9ට පමණ මාවනැල්ලේ පිහිටි තම නිවසට එන විට දෙහිවල පොලිසිය තම පුත්‍රයාව අත්අඩංගුවට ගැනීමට පැමිණ සිටි බව මොහොමඩ් රිෆායි සඳහන් කළේ ය.
"මම ඇහුවා උසාවියෙන් නිදහස් කළා නේ, ඇයි ආවේ කියලා. මෙයාගේ කටඋත්තරයක් අරන් උදේ 6ට එවනවා කියලා කිව්වා. මම කිව්වා උසාවියෙන් නිදහස් කරපු කෙනෙක් එහෙම එක්කගෙන යන්න බෑනේ, මම කිව්වා මාවනැල්ල පොලිසියේ ඕඅයිසී ගාවට එක්කගෙන ගිහින් එහෙන් එක්කගෙන යමු කියලා. එහෙම ඕනේ නෑ මාවනැල්ල ඕඅයිසීට කෝල් එකක් දෙන්නම් කියලා දෙහිවල ඕඅයිසී කෝල් එකක් දුන්නා. ඊට පස්සේ මාවනැල්ල ඕඅයිසී කිව්වා පුතාව බය නැතුව යවන්න හෙට උදේ ම එවයි කියලා."
ඔක්තෝබර් 24 වන දා සිය පුතු දෙහිවල පොලිසියට රැගෙන යාමෙන් පසු ඔක්තෝබර් 25 වන දා පුතා ආපසු රැගෙන ඒමට ගිය ද, පොලිසිය මොහොමඩ් සුහායිල් නිදහස් කර නොමැති අතර ඉන් දෙදිනකට පසු එනම් ඔක්තෝබර් 27 වන දා වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බව මෙහොමඩ් රිෆායි කියා සිටියේ ය.
බන්ධනාගාරගත කළ මොහොමඩ් රිෆායි නැවත ඉදිරිපත් කර ඇත්තේ, ඊට පෙර ඔහුව නිදහස් කරන ලද ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත ය. එදින අධිකරණයේ සිදුවු දේ ඔහුගේ පියා මෙලෙස විස්තර කළේ ය.
"ඒ විනිසුරුවරිය පොලිසියෙන් ඇහුවා මෙයාව මම නිදහස් කළේ ආයේ කොහොම ද ඇල්ලුවේ කියලා. පොලිසිය කිව්වා 25 ආයේ මෙයා දෙහිවල ඇවිල්ලා හිටියා දෙහිවලින් තමයි ඇල්ලුවේ කියලා බොරු කේස් එකක් දැම්මා."
"ඒ ඔරොප්පුව තමයි දෙහිවල පොලිසියට තිබුණේ."
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මොහොමඩ් සුහායිල් දෙවන වරට දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊශ්‍රායල් ධජය පාගා ගෙන සිටින වීඩියෝවක් බෙදා ගැනීම හේතුවෙන් බව ඔහුගේ නීතිඥ ප්‍රතිභා ගීත්ම ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත පැවසීය.
ඊශ්‍රායල් තානාපති කාර්යාලයට අනුබද්ධව දෙහිවල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පැවසුව ද, ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාවනැල්ලේදී බව මොහොමඩ් සුහායිල්ගේ දෙමව්පියන් පවසන බවත් ඊට අදාළ වීඩියෝ ද ඔවුන් සතුව පවතින බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.
"මෙයාව ගේනවා ඊට ඉස්සෙල්ලා AR රිපෝර්ට් එකකින් අයිඩෙන්ටිටි නැතුව දෙහිවල හිටියා සැකපිට අරන් ආවා කියලා. මම ඇප්ලිකේෂන් එකක් කළා දැන් අයිඩෙන්ටිය ගෙනාවා, කිසි ම වැරැද්දක් අනාවරණය වෙලා නැහැ කියලා. ඒ වෙලාවේ හිටපු විනිසුරුවරිය බැනලා එයාව රිලීස් කළා. ඇපයක්වත් දුන්නේ නැහැ, නඩු පවරන්න අදාළ නැහැ කියලා රිලීස් කළා. ඒ ඔරොප්පුව තමයි දෙහිවල පොලිසියට තිබුණේ."
'කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ'
දෙහිවල පොලිසිය මගින් මොහොමඩ් සුහායිල් සම්බන්ධව වරදක් අනාවරණය නොවන බවට වැඩිදුර වාර්තාවකින් අධිකරණයට දන්වා ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඇප ලබා දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් නීතිපති උපදෙස් ලැබෙන තුරු ඔහුව බන්ධනාගාරගත කර සිටින බවත් නීතිඥ ප්‍රතිභා ගීත්ම පැවසීය.
"මෙයාව දැනට කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ. පොලිසියත් මෙයා සම්බන්ධයෙන් කිසි ම කරුණක් අනාවරණය කරගෙන නැහැ දැනට. ඒ පනත යටතේ නඩු පැවරීම කියන පදනම මත උසාවියට ඇප දෙන්න විදියක් නැහැ. නීතිපති උපදෙස් එනකම් කියන කාරණාව මත තමයි රිමාන්ඩ් භාරයේ ඉන්නේ."
පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?
දෙහිවල පිහිටි ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටියදී මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගත් බව මෙම සිදුවීම පිළිබඳව කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් බීබීසි සිංහල සේවයට පැවසීය.
"මෙයා 2024 ඔක්තෝබර් 24 දින දෙහිවල ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. සැක කටයුතු ලෙස සිටිමේදී මෙයාව අත්අඩංගුවට අරන් තියෙනවා. වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරලා මෙයා පිළිබඳ විමර්ශන කරන අතරතුර 2025.07.09 වන දින නඩු නැවත කැඳවන්න නියමිත යි."
මොහොමඩ් සුහායිල්හට කිසිදු චෝදනාවක් නොමැති බවට පොලිසිය අධිකරණයට වාර්තා කර ඇති දැයි බීබීසී සිංහල සේවය විමසීය.
"ඒක ගැන හෙට අධිකරණ කටයුත්තකින් පස්සේ තමයි මට ලැබෙන්නේ ඒ වාර්තාව. ඒක ලැබුණාට පස්සේ අධිකරණයෙන් එන මග පෙන්වීම හා තීරණය මත ඉදිරි විස්තර ලබා දෙන්න පුළුවන්,"
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.
මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මේ අතර, මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පසුගිය අප්‍රෙල් මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබී ය.
"අපි හියුමන් රයිට්ස් එකේ අයව ගිහිල්ලා හම්බ වෙලා පුතාව අරන් ගිය වීඩියෝ එහෙම දුන්නා. පැමිණිල්ල විභාග කරනවා කියලා මේ මාසේ 23 වැනිදා එන්න කියලා තියෙනවා,"
මොහොමඩ් සුහායිල්ගේ පියා බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.
ස්ටිකර් ඇලවූ මුස්ලිම් තරුණයා පිළිබඳ මානව හිමිකම් නිර්දේශ
මේ අතර, පලස්තීනයට සහය පළ කරමින් ඊශ්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොහොමඩ් රුෂ්ඩ් අත්අඩංගුවට ගැනීම හරහා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබිණි.
එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිටු 30ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් CTID අධ්‍යක්ෂ වෙත, පොලිස්පතිවරයා වෙත සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත වෙන වෙන ම නිර්දේශ ඉදිරිපත් කළේ ය.
එමෙන් ම, ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත නිර්දේශ කරන ලදී.
නීතිපතිවරයා සමග සාකච්ඡා කර, ත්‍රස්තවාදය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විට 'සාධාරණ සැකයේ' ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ සකසන ලෙස ද මානව හිමිකම් කොමිසම වැඩබලන පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීම
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සිය සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ත්‍රස්තවාදය වැළැක්විමේ පනත භාවිත කිරීම තාවකාලිකව නවතා දමන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ ය.
එමෙන් ම, එම පනත යොදා ගනිමින් දිගු කාලයක් තිස්සේ රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් කඩිනම් සමාලෝචනයකින් පසු නිදහස් කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේ ය.
@BBC sinhala