'ප්‍රහාර නතර නොකළොත්' ගන්නා පියවර ගැන එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව ඊශ්‍රායලයට අනතුරු අඟවයි
පලස්තීනය සම්බන්ධයෙන් සිය ගමන් මග වෙනස් කරන ලෙස එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒකාබද්ධ ප්‍රකාශයකින් කෙයර් ස්ටාර්මර්, එමානුවෙල් මැක්‍රොන් සහ මාර්ක් කාර්නි මෙසේ පැවසූහ: "ඊශ්‍රායලය අලුතින් අරඹන ලද මිලිටරි ප්‍රහාරය නතර කර මානුෂීය ආධාර සඳහා එහි සීමාවන් ඉවත් නොකළහොත්, අපි ඊට ප්‍රතිචාර වශයෙන් තවදුරටත් ස්ථිර දැඩි ක්‍රියාමාර්ග ගන්නෙමු."
ඊට අමතරව, ඔක්තෝබර් 7 වන දින "දරුණු ප්‍රහාරයේදී" අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද එම නායකයෝ හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියහ.
ඔවුහු තවදුරටත් මෙසේ පැවසූහ: "ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායල ජාතිකයන් ආරක්ෂා කිරීමට ඊශ්‍රායලයට ඇති අයිතියට අපි සැමවිට ම සහය දී ඇත්තෙමු. නමුත් මෙලෙස ප්‍රහාර දැඩි කිරීම සම්පූර්ණයෙන් ම අසමානුපාතික යි."
මේ අතර, එම නායකයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී ටොම් ෆ්ලෙචර් බීබීසී රේඩියෝ 4 සමග අද ප්‍රකාශ කළේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ කැනඩාවේ ඒකාබද්ධ ප්‍රකාශය "ශක්තිමත්" එකක් බව ය.
"එය සාමූහික මානුෂීය තත්ත්වය පිළිබඳ ඇමතීමක්" බව ඔහු පවසයි.
නමුත් "සැබෑ පරීක්ෂණය" වන්නේ සති 11ක අවහිර කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් ආධාර ලබා ගත හැකි ද යන්න යි.
ඊශ්‍රායලයට තවත් ආධාර ලබා දීමට සහ "කුසගින්නෙන් පෙළෙන" ජනතාව වෙත ළඟා වීමට ගන්නා උත්සහයේදී "සහය දෙන" ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.
'ආහාර නොලැබුණොත් ඉදිරි පැය 48 තුළදී පලස්තීන දරුවන් 14,000ක් මිය යනු ඇති'
මේ අතර, ඉදිරි පැය 48 තුළදී ළදරු ආහාර සහ පෝෂණීය ආහාර ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙත ළඟා නොවුණහොත් දරුවන් 14,000කට අධික පිරිසක් මිය යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී ටොම් ෆ්ලෙචර් බිය පළ කරයි.
බීබීසී රේඩියෝ 4 වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ආහාර හා අධාර රැගත් ලොරි ගාසා දේශ සීමා පසු කළ බව පැවසුව ද, ඒවා තවමත් අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟා වී නොමැති බව ය.
ඔහු ප්‍රකාශ කළේ, ආධාර රැගත් ලොරි 100ක් අද දිනයේදී ගාසා වෙත ළඟා වීමට නියමිත බව ය.
ගාසාහි වෙසෙන දරුවන් සහ පලස්තීන වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.
බ්‍රහස්පතින්දා ගුවන් ප්‍රහාරවලින් 114ක් මරුට
ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය කනස්සල්ලට පත්ව සිටින බව එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.
ඔහුගේ එම ප්‍රකාශය නිකුත් වූයේ, සෞඛ්‍ය බලධාරීන්ට අනුව බ්‍රහස්පතින්දා ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 114 දෙනෙකු මියගොස් තිබියදී ය.
මෑතකාලීන ප්‍රහාර සහ රෝහල්වලට එල්ල කරන බෝම්බ ප්‍රහාර නොතකා, ට්‍රම්ප් පරිපාලනය තවමත් ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට සහය දක්වන්නේ දැයි බීබීසීය විමසූ විට, හමාස් පවතින තාක් සාමයක් පැවතිය නොහැකි බවත්, හමාස් සංවිධානය යටත් වී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවත් ඔහු පැවසීය.
"ගාසා තීරයේ ජනතාවගේ දුක් වේදනා ගැන සැලකිලිමත් වන අතර ම, එහි ජනතාවට උපකාර කරන්න ක්‍රම තිබෙනවා,"
ඔහු පැවසුවේ ය.
ගාසා තීරය සති 10ක සිට සියලු ම ආහාර සහ අනෙකුත් මානුෂීය සැපයුම් ඊශ්‍රායලයෙන් සම්පූර්ණයෙන් ම අවහිර කර ඇත. ඊශ්‍රායල හමුදා ඔවුන්ගේ ගොඩබිම් ආක්‍රමණය පුළුල් කිරීමට පෙර හමාස් ඉලක්ක ලෙස ඔවුන් හඳුන්වන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කරමින් සිටියි.
තුර්කියේ නේටෝ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමකින් පසුව රුබියෝ කළ ප්‍රකාශය, ගාසා තීරයේ ආධාර එකතු කිරීමේ ස්ථාන පිහිටුවීම සඳහා පෞද්ගලික සැපයුම්කරුවන් යොදා ගැනීමේ මතභේදාත්මක ඊශ්‍රායල-ඇමෙරිකානු යෝජනාවක් ගැන සඳහන් කිරීමක් ලෙස පෙනෙන්නට තිබිණි. එම සැලසුම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සදාචාර විරෝධී සහ ක්‍රියාත්මක කළ නොහැකි බව පවසමින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
මෙම සියල්ල සිදුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කලාපයේ සිදු කරන සංචාරය අතරතුර සහ හමාස් සහ ඊශ්‍රායලය අතර නව සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් පිළිබඳ වක්‍ර සාකච්ඡා දිගට ම පවතින අතරතුරදී ය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හිතාමතා ම හමුදා ප්‍රහාර උත්සන්න කිරීමෙන් සාම උත්සහයන්ට හානි කරන බවට හමාස් සංවිධානය චෝදනා කර තිබේ.
ඊශ්‍රායල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා අවශ්‍ය බව ය. නමුත් හමාස් සංවිධානයට ඊශ්‍රායලයෙන් හමුදාමය පීඩනයක් එල්ල වෙමින් පවතින අතරතුර එම සාකච්ඡා සිදුවේ.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසාහි අද (මැයි 15) මියගිය සංඛ්‍යාව 103 දක්වා ඉහළ ගොස් ඇති බව හමාස් සංවිධානය මෙහෙයවන සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.
ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය 13 දෙනෙකු ද මිය ගිය සංඛ්‍යාවට අයත් ය. ප්‍රහාරයෙන් යාච්ඥා ශාලාවක් සහ පුණ්‍යායතන සායනයක් පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවිය.
ගාසා තීරයට ආධාර ඇතුළු වීම ඊශ්‍රායල විසින් අවහිර කරනු ලැබීම අඛණ්ඩව පවතින අතරතුර මෙම ගුවන් ප්‍රහාර එල්ල විය. එහි මානුෂීය තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව විවිධ ආධාර ආයතන 10ක් ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ නොදෙන බැවින්, එහි වෙසෙන ජනතාවගෙන් අප වාර්තාකරුවන් වෙත කෙටි පණිවිඩ, හඬ සටහන් සහ ඡායාරූප ලැබෙමින් ඇත.
යුද්ධ කලාපයේ දියණියන් දෙදෙනෙකු ඇති දැඩි කිරීමේදී මුහුණ දෙන අර්බුදය ගැන එක් කාන්තාවක කෙටි පණිවිඩයක් එවන අතර සහන සේවිකාවක මෙසේ පවසයි:
"අපිට තව කොච්චර කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි ද කියලා අපි දන්නේ නැහැ."
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දුන් අතර, එහිදී අවම වශයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු මිය ගොස් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනිණි.
ඊශ්‍රායලයේ පළිගැනීමේ අදහසින් ක්‍රියාත්මක කරන ලද හමුදා මෙහෙයුමෙන් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 52,829 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ ජනවාරි මාසයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන විට, යුද්ධය ආරම්භයේ සිට ගාසා තීරය පුරා ගොඩනැගිලිවලින් 59.8%කට ආසන්න ප්‍රමාණයක් හානි වී හෝ විනාශ වී ඇති බවට විශ්ලේෂකයින් පවසා ඇත.
'කෙනෙකුට දවසකට එක කෑම වේලක් හරි ලැබෙනවා කියන්නේ, එයා වාසනාවන්තයි'
ගාසා තීරයේ උතුරේ බෙයිට් ලහියාහි ජනාකීර්ණ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක ආහාර ලබා ගැනීමට පලස්තීනුවන් අරගල කරන ආකාරය දැක්වෙන ඡායාරූප නිකුත් වී තිබේ.
නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ පුණ්‍යායතනයේ සහය කළමනාකාරිනී සල්මා අල්ටාවීල් ගාසා නගරයේ සිට නිකුත් කළ හඬ සටහනක මෙසේ පවසයි: "බඩගින්න කොච්චර මාව දුර්වල කරල ද කියලා කියනවා නම්, මට මගේ ඔළුවවත් උස්සගෙන ඉන්න බැහැ දැන්."
"කෙනෙකුට දවසකට එක කෑම වේලක් හරි ලැබෙනවා කියන්නේ, එයා වාසනාවන්තයි. මේක මේ මිනිස්සු කීප දෙනෙකුට වෙන දෙයක් නෙවෙයි. ඒක ගාසාවේ ඉන්න හැමෝම අත්විඳින දෙයක්,"
ඇය පවසයි.
බොහෝ පවුල්වලට තවදුරටත් නිවෙස්වල ආහාර නොමැති අතර ඉතිරිව ඇති ඉතා මිල අධික කුඩා ආහාර මිල දී ගැනීමට පවා බොහෝ දෙනෙකුට මුදල් නොමැති බව ඇය පවසයි.
අද වන විට පිටි කිලෝවක් (බොහෝ මලු කෘමීන්ගෙන් පිරී ඇත) ඇ.ඩොලර් 12ක් පමණ වන අතර සහල් කිලෝවක් ඇ. ඩොලර් 20ක් සහ පිසීම සඳහා භාවිත කරන තෙල් ලීටරයක් ඇ. ඩොලර් 30ක් පමණ වේ.
ඉවුම් පිහුම් කටයුතු සඳහා ගෑස් නොමැති අතර, කුඩා ආහාර වේලක් පිසීමට මිනිසුන් ගෘහ භාණ්ඩ සහ ඇඳුම් පුළුස්සා දමමින් සිටින බව ඇය පවසයි.
"දරුවෝ බඩගින්නට අඬනවා.
අම්මලත් අඬනවා,
මොක ද දරුවොන්ට කන්න දෙන්න දෙයක් නැති නිසා."
'අපිට හෙට කෑම හදන්න දේවල් නැහැ'
අද දිනයේ ආහාර වේල් 4,500කට වඩා බෙදා හැරි ෂබාබ් ගාසා (Gaza Youth) පුණ්‍යායතනය පවත්වාගෙන යනු ලබන මොහොමඩ් අබු රිජිලේ සමග අපි දුරකතනයෙන් කතා කළෙමු.
අපරාධ කල්ලි සහ මංමුලාසහගත සිවිල් වැසියන් විසින් සිදුකරන ලද කොල්ලකෑම්වලට අමතරව, ඊශ්‍රායල අවහිර කිරීම හේතුවෙන් ඇතිවූ සැපයුම් හිඟයක් නිසා පුණ්‍යායතනයට එහි මුළුතැන්ගෙයි තුනක් හෝ හතරක් වසා දැමීමට සිදුවී තිබේ.
"මේ මොහොතේ අපි යැපෙන්නේ බත් සහ පැස්ටා මත. තවදුරටත් පාන් නැහැ," ඔහු පවසයි.
ඔහු පවසන්නේ ඔහුගේ සංවිධානය "දවස ගැටගහගනිමින්" කටයුතු කරන බවත් හෙට දිනයේ ආහාර සැකසීම සඳහා ද්‍රව්‍ය නොමැති බවත් ය.
BBC වාර්තාවකි.