SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මෙම ලිපිය මගින් සමකාලීන ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ පෞද්ගලික හා

ඕපාදූප මට්ටමින් සාකච්ඡා වන "ජනාධිපති ආර්යාවගේ භූමිකාව" පිළිබඳ මාතෘකාව, ගැඹුරු දේශපාලන දර්ශනයක් සහ දෘෂ්ටිවාදී විශ්ලේෂණයක් වෙත ඔසවා තැබීමට කතුවරයා උත්සාහ කරයි. ලිපියේ කතුවරයාට අනුව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින "His Excellency" සහ "First Lady" වැනි සංකල්ප පුද්ගල ස්වාධීනත්වයේ ප්‍රතිඵල නොව, වැඩවසම් උරුමයන් සහ ප්‍රභූ සංකේතාත්මක බලය නඩත්තු කරන දෘෂ්ටිවාදී යාන්ත්‍රණයන්ය. ඊට ප්‍රතිපක්ෂව, වාමාංශික දේශපාලනය සාමූහික ප්‍රයත්නයක් බැවින් වත්මන් ජනාධිපතිවරයා තම බිරිඳ රාජ්‍ය උත්සව සඳහා සම්බන්ධ කර නොගැනීම සෛද්ධාන්තිකව සාධාරණීකරණය කරන කතුවරයා, ඒ පිළිබඳ විපක්ෂ විවේචනවලට පිළිතුරු දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් බෝධි පූජා වැනි සාම්ප්‍රදායික ඡායාරූප සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීම බරපතළ දෘෂ්ටිවාදී ප්‍රතිවිරෝධයක් ලෙස පෙන්වා දෙයි.

ජනාධිපති ආර්යාව, ලිබරල් දෘෂ්ටිවාදය සහ වාම දේශපාලනයේ ප්‍රතිවිරෝධය -(ස්පාටකස් ලිපි)

 

ලෝකයේ උතුම්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඇමරිකාවේ ජනාධිපතිවරුන් විශේෂයෙන්ම තම බිරිඳ සහ පවුලේ සාමාජිකයින් රාජ්‍යය උත්සව සඳහා සහභාගී කරගනී (ට්‍රම්ප් රට රටවල යනකොට තමන්ගේ බිරිඳ -ආර්යාව සමග යයි). එක්සත් ජාතීන්ගේ සැසි වලට පවා ඇය යවා තිබේ. ඒ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයි. අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල තත්වය එසේය.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක කුමන ආකාරයේ පාලකයෙකු වේවි ද? - BBC News සිංහල

 

 

ජනාධිපති, අගමැති හෝ ඊට පහල ප්‍රභූවරයෙකු වීම ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගල ජයග්‍රහණයකි. එනම්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පුද්ගල නිදහස තුලින්, තම පුද්ගල දක්ෂතාවය ඉස්මතු වීමයි (පුද්ගල නිදහස, පුද්ගල අයිතිවාසිකම්, තරගකාරීත්වය සහ පුද්ගල දක්ෂතාව මත දේශපාලන නායකත්වයට පැමිණීම අවධාරණය කරයි). එවිට ඒ රටේ පාලනයට සුදුසු වන්නේ එවැනි "his excellencies'ලාය". ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ෂණය එයයි.

 

His excellency' යනු හුදෙක් ආමන්ත්‍රණයක් නොවේ. 'Excellency' යන වචනයෙන් සුවිශේෂීත්වය, උසස්භාවය සහ අන් අයගෙන් වෙන් වූ තත්ත්වයක් සංකේතවත් කරයි. 'His Excellency' යන ආමන්ත්‍රණය තුළම ලිබරල් පුද්ගලවාදී දේශපාලන දෘෂ්ටිවාදයේ එක් සංකේතාත්මක ප්‍රකාශනයක් දැකිය හැකිය.

 

නමුත් වාමාංශික පක්ෂ දේශපාලන උරුමය එය නොවේ. වාමාංශික දේශපාලනය යනු සාමුහික ප්‍රයත්නයක් මිස යම් යම් පුද්ගලයින්ගේ පුද්ගල දක්ෂයතාවය පිළිබඳව ප්‍රශ්නයක් නොවේ (පන්ති අරගලය, සාමූහික සංවිධානය, පොදු අරමුණු සහ සාමූහික ක්‍රියාකාරීත්වය අවධාරණය කරන අතර නායකයාගේ භූමිකාව තනි පුද්ගල ජයග්‍රහණයක් නොව සාමූහික දේශපාලන ව්‍යාපාරයක කොටසකි).

 

දෘෂ්ටිවාදය පිළිබඳ විවේචනාත්මක කියවීමට අනුව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරිපත් කරන පුද්ගල නිදහස, සමානත්වය, ජනතා ස්වෛරීභාවය වැනි සංකල්ප හුදෙක් නිර්දෝෂී දේශපාලන මූලධර්ම නොවේ. ඒවා පවතින සමාජ-ආර්ථික බල සම්බන්ධතා නීත්‍යනුකූල හා ස්වාභාවික ලෙස පෙනෙන්නට සලස්වන දෘෂ්ටිවාදී යාන්ත්‍රණ ලෙස ක්‍රියා කරයි.

 

උදාහරණ ලෙස:-

* නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි. නමුත් ආර්ථික හා සමාජ බලය සමාන නැහැ.

* සෑම පුද්ගලයකුටම දේශපාලන තීරණ ගැනීමේ නිදහස තිබෙනවා. නමුත් දේශපාලන බලයට ප්‍රවේශ වීමේ භෞතික හැකියාව සමාන නැහැ.

* සෑම පුද්ගලයකුටම මැතිවරණයේදී එක් ඡන්දයක් තිබෙනවා. නමුත් ප්‍රාග්ධනයට, මාධ්‍යයට සහ ආර්ථික බලයට තිබෙන දේශපාලන බලපෑම එක් ඡන්දයකට සීමා නොවේ.

 

 

ජනාධිපතිවරයකුගේ බිරිඳට ලැබෙන First Lady තත්ත්වය යනු කිසි ලෙසකින් ඇයගේ ස්වාධීන දේශපාලන ජයග්‍රහණයක් නොවේ. එය ජනාධිපතිවරයාගේ දේශපාලන තත්ත්වය සමඟ සම්බන්ධ වූ සංකේතාත්මක තත්ත්වයක් පමණි. එබැවින් 'ජනාධිපති ආර්යාව' යනු හුදෙක් ජනාධිපතිවරයාගේ බිරිඳ හැඳින්වීම සඳහා භාවිත කරන නාමයක් නොවේ. එය යම් සමාජ අපේක්ෂාවන්, චාරිත්‍ර, වරප්‍රසාද සහ නියෝජන භූමිකාවන් සමඟ බැඳුණු සංකේතාත්මක ස්ථානයකි (එය අදාළ වන්නේ පැරණි වැඩවසම් සම්ප්‍රදායේ ඊළඟ අනුප්‍රාප්තික සමාජ ක්‍රමය වූ ප්‍රජාතන්ත්‍රවාදයටය).

 

එනම්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තමන්ගේ මූලික වටිනාකම ලෙස ඉදිරිපත් කරන පුද්ගල ස්වාධීනත්වය තුළම පවුල, සම්ප්‍රදාය, සමාජ තත්ත්වය සහ සංකේතාත්මක බලය ක්‍රියාත්මක වේ.

 

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පුද්ගල නිදහස පිළිබඳ කතිකාව තුළ සැඟවී පවතින්නේ පුද්ගලයාගේ සැබෑ ස්වාධීනත්වය නොව, ධනවාදී සමාජ සම්බන්ධතා විසින් නිෂ්පාදනය කරන ලද පුද්ගල ස්වාධීනත්වය පිළිබඳ දෘෂ්ටිවාදී පරිකල්පනයක් පමණි.

 

 

අනුර කුමාර තම බිරිඳ දේශපාලනයට අදාළ කර නොගැනීමට හේතුව ඔහුගේ බිරිඳ ජවිපෙ දේශපාලනයට අදාළ කාන්තාවක් නොවීමයි. ඇය එසේ ජවිපෙ දේශපාලනයේ නිරත වූ කාන්තාවක් වූයේ නම් වුව ද ඇය කටයුතු කල යුත්තේ ද පක්ෂය විසින් තීරණය කරන ස්ථානයක මිස "ජනාධිපති ආර්යාව" ලෙස නොවේ. ජනාධිපති ආර්යාව නමැති සංකේතීය ස්ථානය ඇයගේ ස්වාධීන දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් නොව, වෙනත් පුද්ගලයකු සමඟ ඇති විවාහ සම්බන්ධතාවයෙන් නිෂ්පාදනය වේ. මෙහි තිබෙන උත්ප්‍රාසය වන්නේ පුද්ගල ස්වාධීනත්වය අවධාරණය කරන ලිබරල් දේශපාලන සම්ප්‍රදාය තුළම, පුද්ගලයකුගේ දේශපාලන තත්ත්වය ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත සංකේතාත්මකව ව්‍යාප්ත වීමයි (ලිමිණි හට 2029 ජනාධිපති අපේක්ෂිකාව විය හැකි වන්නේ ද එබැවිනි).

 

 

මේ යුගයේ බොහෝ දෙනෙකුට වාම දේශපාලනයේ මෙම ස්ථාවරය අදාළ නොවේ. ඔවුන් සිතීමට පුරුදු වී ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුල සහ එහි ව්‍යවහාරයන්ට අනුකූලවය. එබැවින් අනුර තම බිරිඳ විදේශ සංචාර, රාජ්‍යය උත්සව වැනි අවස්තාවන්ට සහභාගී නොකර ගැනීම පිළිබඳව විපක්ෂය විසින් විවේචන එල්ල කරනුයේ "ජනතාවගේ" සිතීම උපයෝගී කරගනිමින් බව පෙනේ. ඔවුන් ගෙනෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ "පුංචි අම්මාගේ" කතාවයි.

 

ජවිපෙ මේ තත්වයට වාම දේශපාලන ස්ථාවරයේ සිට පිළිතුරු දෙනු වෙනුවට ඉඳ හිට අනුරගේ බිරිඳ පන්සල් යන, ජනාධිපතිට සෙත් පතා බෝධි පූජා පවත්වන අවස්ථා වල ඡායාරූප සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය කරමින් සිටී. එහි ආසන්නතම උදාහරණය වන්නේ ආනන්ද විජේපාල සමග එවැනි අවස්ථාවකට සහභාගී වී ඇති ඡායාරූප ප්‍රචාරය කිරීමයි.

 

ඒ අකාරයෙන් කටයුතු කිරීම පැහැදිලිවම දේශපාලනිකව කුණු වීමකි. නමුත් ජවිපෙට අනුව එය උපක්‍රමයක් ලෙස සලකුණු කරනු ඇත. නමුත් "කල යුත්තේ එය නොවේ". ජවිපෙ විසින් කළ යුත්තේ ලිබරල් දේශපාලන කතිකාව තුළ තමන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීම නොව, එම කතිකාවේ දෘෂ්ටිවාදී පදනමම ප්‍රශ්න කිරීමයි (නමුත් ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය තීරණය කරන දෘෂ්ටිවාදය වන "ඓතිහාසික භෞතිකවාදය" විසින් ඔවුන් නිරන්තරයෙන් යොමු කරනුයේ ඉහතින් විස්තර කරන ලද ආකාරයේ දුර්වල උපක්‍රම වෙතටය).

 

මින් සිදු වන්නේ යම් දෘෂ්ටිවාදයක් තමන් පිළිනොගන්නා බව දැනුවත්ව ප්‍රකාශ කරන අතරම, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළ එය පිළිගන්නා සේ හැසිරීමයි.

 

 

දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ අප සිතන දේ තුළ පමණක් නොවේ. එය අප කරන දේ තුළ ද ක්‍රියාත්මක වේ. ඒ අනුව උපක්‍රමයක් ලෙස සිදු කරන ක්‍රියාවක් පවා තමන් ප්‍රතික්ෂේප කරන දෘෂ්ටිවාදය ප්‍රතිනිෂ්පාදනය කිරීමට හේතු වේ. ප්‍රශ්නය එයයි.

 

 

(ස්පාටකස් ලිපි පිටුවෙන් උපුටා ගන්නා ලදී)

නවතම ලිපි