පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය නව සහ තීරණාත්මක සන්ධිස්ථානයකට
රැගෙන යමින් නොවැම්බර් 25 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දිගහැරුණු නඩු කටයුත්ත, හුදු දෛනික අධිකරණ වාර්තාකරණයකින් ඔබ්බට ගිය ගැඹුරු නෛතික හා ක්‍රියාපටිපාටික සංවාදයක් නිර්මාණය කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන්නේද නැද්ද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කළ නියෝගය මෙම නඩු වාරයේ ප්‍රධානතම සිරස්තලය බවට පත් විය.
එහෙත් එම නියෝගයට සමගාමීව හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් පැමිණිල්ල සහ විත්තිය අතර හටගත් තියුණු මතගැටුම, විමර්ශන ක්‍රියාවලියේ විනිවිදභාවය, රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ අධිකරණය හමුවේ රාජ්‍ය අභිචෝදනාවේ භාෂා ශෛලිය පිළිබඳව නීති ක්ෂේත්රය තුළ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු කර ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම සහ පැමිණිල්ලේ නව සාක්ෂි ඉදිරිපත් කිරීම්
1979 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය ප්‍රකාරව 2026 ජුනි 03 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස 2026 ඔක්තෝබර් 28 වැනිදා ගොනු කළ මෝසම මෙදින අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 2019 මැයි මාසයේදී සිංගප්පූරුවේ රෝහලක සිදුකළ බයිපාස් සැත්කමේ පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය සී. ස්වනාදන්ගේ වාර්තාවක් ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් ඉල්ලීම සිදු කළද, පුද්ගලයින් දෙසීයකට අධික පිරිසකට දිවි අහිමි වී පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූ මෙම සංවේදී විමර්ශනයේදී, තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම තවමත් විභාග වෙමින් පවතින පසුබිමක විදෙස් ගමන් තහනම ඉවත් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් පෙන්වා දුන්නේය.
සිද්ධියේ පළමු සහ දෙවන සැකකරුවන් වන වව්නතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යාසිම් බාවා ජෙගිල්පාස් සහ සරත් සමන්ත යන බුද්ධි නිලධාරීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, තුන්වන සැකකාර සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් භාරයේ පසුවන බව සටහන් කරමින් නඩුව ජනවාරි 27 වැනිදා යළි කැඳවීමටත් අධිකරණය නියම කළේය.
මෙම නඩු වාරයේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් තුන්වන සැකකාර සුරේෂ් සලේ වෙත එල්ල වී ඇති චෝදනා ශක්තිමත් කිරීම සඳහා කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ප්‍රධාන පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනයේ දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන් දෙදෙනෙකු කළ විත්තිවාචකවලදී මෙයට තවත් පුද්ගලයින් සම්බන්ධ බවට සඳහන් කර තිබුණද, ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමට බන්ධනාගාරයට ගිය අවස්ථාවේ පවුල්වල අයට ජීවිත තර්ජන එල්ල විය හැකි බව පවසමින් එම ප්‍රකාශ ලබාදීම පවුල් සමඟ සාකච්ඡා කරන තෙක් කල් දැමූ බව පැමිණිල්ල දන්වා සිටියේය.
එමෙන්ම ප්‍රධාන නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස සුරේෂ් සලේ සහ රොහාන් ගුණරත්න නම් කර තිබීම පසුපස සැලසුම්සහගත බවක් ඇති බවට තර්ක කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, අසාද් මවුලානා සමඟ කිසිදු සබඳතාවක් නොතිබූ බවට සලේ ප්‍රකාශ කර තිබුණද 2020 ජූලි 20 වැනිදා සලේ ඇතුළු පවුලේ දස දෙනෙකු රුපියල් එක්ලක්ෂ තිස්දහස් නවසිය හතළිස් හතරක් වැය කර අහුංගල්ලේ හෝටලයක කාමර හතරක් වෙන් කරගත් බවත්, 2020 අගෝස්තු 15 වැනිදා අසාද් මවුලානාද එම හෝටලයේම කාමර වෙන් කරගෙන තිබූ බවත් පවසමින් පරිවේෂණීය සාක්ෂි මත ඔවුන්ගේ සබඳතාව තහවුරු වී ඇතැයි සඳහන් කළේය.
මීට අමතරව 2018 වසරේදී ඉන්දියාවේ යුද පුහුණුව ලැබූ බව කියන තම්බි අන්නා නමැත්තෙකු සිදු කිරීමට ගිය විශාල විනාශයක් පිළිබඳව ගුණවර්ධන නමැත්තෙකුට පැවසූ තොරතුරක් සලේ දැන සිටිමින් වසන් කළ බවටත්, යුද හමුදා බුද්ධි නිලධාරීන් රාජ්‍ය ආයතන වෙනුවට දැනට වසා දමා ඇති සිලෝන් ශිපින් සමාගමකින් දුරකථන අංක ලබාගෙන ඇති බවටත් පැමිණිල්ල අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
පිටු 311 ක වෛද්‍ය වාර්තාව: 'උස්සාගෙන ආ' වාර්තාවේ යථාර්ථය සහ අවසන් නොවූ සිව්වන නිර්දේශය
මෙම නඩු විභාගයේ වඩාත්ම උණුසුම් සහ විශ්ලේෂණාත්මක අවධානයට ලක්විය යුතු කොටස වන්නේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් අධිකරණයට ඉදිරිපත් කළ පිටු 311 කින් සහ ඡේද 1185 කින් යුත් මනෝ වෛද්‍ය වාර්තාව පිළිබඳ විවාදයයි.
" ස්වාමීනි , මෙම සිද්ධියට අදාල තුන්වන සැකකරු වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරුන් විසින් නිකුත් කරන ලද වාර්තාව ලැබී තිබෙනවා. එය පිටු 311ක් ,ජේද 1185කින් යුක්තයි. එහි සුරේෂ් සලේ විතරක් ප්‍රකාශ 95 ක් ලබා දිලා තියෙනවා. ප්‍රකාශ තිහක් පමණ ඔහුගේ බිරිඳ ලබා දීලා තිබෙනවා. මම විශ්වාස කරනවා අධිකරණ ක්ෂේත්රයේ හම්බුන විශාලතම මනෝ වෛද්‍ය වාර්තාව තමයි මේක කියලා. තවද මෙම වාර්තාවල සඳහන් කරලා තියෙනවා ලංකාවේ හොඳම රස පරීක්ෂකවරු තමයි මගේ නඩුව විමර්ශනය කරන්න දාලා තියෙන්නේ කියලා. ඒ ගානට ඉතින් සැකකරු බයවෙන්න ඕනේ තමයි. මොකද මේහි ඇත්ත දැනගනියි කියලා. උපවාස කරනවා. විවිධ කට්ටිය එකතු වෙලා සමාජයේ උපවාස කරනවා. වෛද්‍යවරු ඇල්ලීමේ කලාව සලේ හොඳට දන්නවා. මහාචාර්යවරු දෙන්නෙක් ඇතුළුව විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙක් තමයි මේ වාර්තාව ඉදිරිපත් කරේ. සලේව හුරතල් කළා ඇති. ඒ වගේම ස්වාමීනි සමහරුන්ට අසනීප වෙනවනේ. බෙහෙත් ගන්නත් යන්න වෙනවා."
- (අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්)
මහාචාර්යවරුන් දෙදෙනෙකු ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මෙම මණ්ඩලය හමුවේ සලේ විසින් ප්‍රකාශ අනූපහක් සහ ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශ තිහක් පමණ ලබා දී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීම ආරම්භයේදීම සඳහන් කර තිබුණේ මීට පෙර තුන්වන සැකකරු කොහෙන්දෝ වෛද්‍ය වාර්තාවක් උස්සාගෙන ආ බවත් පැමිණිල්ල ඊට විරුද්ධ වූ බවත්ය.එහෙත් නඩු වාර්තාව සහ විත්ති පාර්ශ්වයේ තොරතුරු විමසා බැලීමේදී පැහැදිලි වන ක්‍රියාපටිපාටික සත්‍යය ඊට හාත්පසින්ම වෙනස්ය. මුලින් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාව බාහිරින් රැගෙන ආ පෞද්ගලික ලියවිල්ලක් නොව, නිසි අධිකරණ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහාම යොමු කර අධිකරණ මානසික වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලද නිල වාර්තාවකි. පැමිණිල්ල එම පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය විසින් දෙවන වරට මෙම පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පත් කරනු ලැබුවේ.
දෙවනුව ලැබුණු පිටු 311 ක මෙම වාර්තාව පැමිණිලි පාර්ශ්වය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප නොකළද, එය අර්ථකථනය කළ ආකාරය විත්ති පාර්ශ්වයේ දැඩි විවේචනයට ලක්ව තිබේ. පැමිණිල්ලේ ස්ථාවරය වූයේ වාර්තාවේ කොතැනකවත් සලේට මානසික රෝගයක් ඇතැයි සඳහන් නොවන බවත්, තමන් සිදුකළ වැරදි හෙළි වන විට ඕනෑම අයෙකුට ඇතිවන සාමාන්‍ය ආතතියක් පමණක් එහි දැක්වෙන බවත්ය.
එමෙන්ම මීට පෙර සමාජයේ කතාබහට ලක් වූ පත්තර කොළයක රාබු සහ බත් දමා ආහාර දුන් බව කියන සිදුවීම සලේ වෛද්‍යවරුන් හමුවේ පවසා නොමැති බවත්, ඒ වෙනුවට පදක්කම් පැළඳගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ආහාර ගත් රණවිරුවාගේ සිද්ධිය සිහිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මීට පෙර පදක්කම් සම්බන්ධයෙන් තමන් අතින් සිදු වූ වරදකට සමාව ඉල්ලූ බවද අධිකරණය හමුවේ පිළිගත්තේය.
" තුන්වන සැකකරුට ආහාර දෙනවා කිව්වේ පත්තර කොලේක දාලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහසික අමානුෂික ලෙස සැලකුවේ නැහැ. තුන්වන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳින් සලකන බවට ප්‍රකාශත් ලබාදීලා තිබෙනවා. මෙයාගේ සම්මානය ඔස්කාර් දිය යුතුයි කියලා මං ගිය නඩු වාරයේදී කිව්වනේ."
- (අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්)
එහෙත් විත්ති පාර්ශ්වය පෙන්වා දෙන්නේ පත්තර කොළයක ආහාර දීම වැනි සුළු කරුණකට වඩා තමන්ට සිදු වූ අතිශය බරපතළ පීඩාවන් ගණනාවක් සලේ සිය හමුදා ජීවිතයේ පසුබිමද සහිතව මෙම වෛද්‍ය මණ්ඩලයට වාර්තා කර ඇති බවයි.
වෛද්‍ය වාර්තාව අවසානාත්මක තීන්දුවක් ලෙස හුවා දැක්වීමට පැමිණිල්ල උත්සාහ දැරුවද, වාර්තාව අවසානයේ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය ලබා දී ඇති විශේෂ නිර්දේශ හතර දෙස බලන විට එම අර්ථකථනය නෛතිකව අභියෝගයට ලක්වේ. එම නිර්දේශවලින් පළමු තුන මගින් අවධාරණය කර ඇත්තේ සලේගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් අඛණ්ඩ ප්‍රතිකාර ලබාදිය යුතු බවත්, කාංසා තත්ත්වයන් යළි මතු වුවහොත් වහාම වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු බවත්, ඔහු රඳවා සිටින වටපිටාව සුදුසු පරිදි සකස් කළ යුතු බවත්ය. සිව්වන සහ තීරණාත්මකම නිර්දේශයෙන් වෛද්‍ය මණ්ඩලය ඉල්ලා ඇත්තේ රඳවා තබා ගැනීමේ කාලසීමාව තුළ සලේගේ කලිසම පහත් කර සිදු කළ බව කියන අසීලාචාර ශරීර පරීක්ෂාව පිළිබඳව වෙනම විමර්ශනයක් සිදු කළ යුතු බවයි.
විත්තියේ නීතිඥ භාණුක මලවිආරච්චි අධිකරණය හමුවේ පෙන්වා දුන් පරිදි, එම සිදුවීම නිසා ඇති වූ හානිය පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට වෛද්‍ය මණ්ඩලයට නොහැකි වී ඇති හෙයින් මෙම වාර්තාව අවසානාත්මක නිගමනයක් නොව වැඩිදුර විමර්ශනයක් අනිවාර්ය කරන ලේඛනයකි.
" ස්වාමීනි එම වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා මගේ සේවාදායකයාගේ කලිසම පහත් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති බව, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලය අවසානාත්මක තීරණයකට එළඹිලා නැහැ. තවත් විමර්ශන අවශ්‍ය බවයි දන්වා තිබෙන්නේ. වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ හතරක් දක්වා තිබෙනවා. එහි හතරවන නිර්දේශය දක්වා තිබෙනවා. රදවා තබා ගැනීමේ කාල සීමාව තුළ සිදුවූ එම නින්දිත අසීලාචාර ක්‍රියාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කළ යුතු බව. තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම සැකකරුවන් රඳවා තිබෙන ස්ථානයේ සිසිටීවී දර්ශන දවස් 30 ක් පමණක් තිබෙන බවද දක්වා තිබෙනවා. මං දන්නෑ ස්වාමීනි ඒ වගේ තැනක ඇයි එම සිසිටිවි දර්ශන දවස් තිහෙන් මැකිලා යන්නේ කියලා.
- (නීතීඥ භාණුක මලවිආරච්චි)
දින 30 න් මැකෙන CCTV දර්ශන
රඳවා තබා ගැනීමේ කාලය තුළ සිදු වූ බව කියන මෙම ශරීර පරීක්ෂාව සම්බන්ධයෙන් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ හේතු පරීක්ෂා කිරීමේදී මෙරට අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ ක්‍රියාපටිපාටික දුර්වලතා පිළිබඳ බරපතළ ගැටලු තුනක් මතු වේ.
ඉන් පළමුවැන්න නම්,
අනෙකුත් රැඳවියන් ඉදිරිපිට සීසීටීවී කැමරා පද්ධති සහිත ස්ථානයකදී මෙම පරීක්ෂාව සිදු වූ බවට සලේ චෝදනා කර තිබියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ රැඳවුම් ස්ථානයේ සීසීටීවී දර්ශන සුරැකී පවතින්නේ දින තිහක කාලයක් පමණක් බවට දෙපාර්තමේන්තුව වෛද්‍ය මණ්ඩලයට දැනුම් දී තිබීමයි. හරක් කටා, කෙහෙල්බද්දර පද්මේ වැනි මෙරට නමගිය සංවිධානාත්මක අපරාධකරුවන් සහ අධි ආරක්ෂිත සැකකරුවන් රඳවා තබන ජාතික මට්ටමේ විමර්ශන මර්මස්ථානයක ආරක්ෂක කැමරා දත්ත, සාමාන්‍ය සිල්ලර වෙළඳසැලක පවා මාස තුනක් පමණ රඳවා ගන්නා මට්ටමටවත් සුරක්ෂිත නොවී දින තිහකින් මැකී යන්නේ කෙසේද යන්න නීති ක්ෂේත්රයේ මෙන්ම පොදු මහජනතාවගේද දැඩි විමතියට හේතු වී තිබේ.
දෙවන ගැටලුව වන්නේ,
එම සිදුවීම ඇසින් දුටු හෝ ඊට මුහුණ දුන් බව කියන සෙසු රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට වෛද්‍ය මණ්ඩලයට අවස්ථාවක් ලැබුණු බවක් වාර්තාවේ කොතැනකවත් සඳහන් නොවීමයි.
තෙවන සහ වඩාත්ම සංවේදී කරුණ නම්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්ථාන දෙකකදී ලබා දී ඇතැයි කියන පරස්පර ප්‍රකාශයයි. විත්ති පාර්ශ්වය පෙන්වා දෙන පරිදි, මීට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති සේනාරත්න නමැති නිලධාරියා තම ක්‍රියාපටිපාටිය අනුව එවැනි කලිසම ගලවා පරීක්ෂා කිරීමක් සලේ සම්බන්ධයෙන්ද සිදු වූ බව පැහැදිලිවම පිළිගෙන තිබේ. එසේ තිබියදී පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ ලබා දුන් දෙපාර්තමේන්තු නිලධාරීන් එවැනි සිදුවීමක් කිසිසේත් සිදු නොවූ බවට ප්‍රකාශ කර ඇතැයි අනාවරණය වේ.
කෙසේ වෙතත් විවෘත අධිකරණයේදී විත්තියේ නීතිඥවරයා භාවිත කළ වචන පිළිබඳව විමසූ මහේස්ත්‍රාත්වරයා, වෛද්‍ය වාර්තාවේ නින්දිත යන වචනය සඳහන්ව තිබේදැයි ප්‍රශ්න කළ අතර නීතිඥවරයා තමන් අදහස් කළේ අසීලාචාර යන්න බවත් එම සිද්ධිය ගැන වැඩිදුර විමර්ශනයක් නිර්දේශ කර ඇති බවත් පැහැදිලි කළේය.
මහේස්ත්‍රාත්වරයා
"ලබා දී තිබෙන වෛද්‍ය වාර්තාවල කොතනක හෝ එම ක්‍රියාව නින්දිත බවට දක්වා තිබෙනවාද?"
නීතිඥවරයා
"නැත ස්වාමීනි මම නින්දිත කියල නෙවෙයි අසීලාචාර කියලයි කිව්වේ. නමුත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය තවදුරටත් කළ යුතු බව වෛද්‍ය වාර්තාවේ දක්වලා තිබෙනවා."
එහිදී මහේස්ත්‍රාත්වරයා සටහන් කර තිබුණේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තුන්වන සැකකරු නිරීක්ෂණය කළ අවස්ථාවේදී කිසිදු වධහිංසාවක් පිළිබඳව ප්‍රකාශ නොවූ බවත්, පෙර සිදු වූ බව කියන සිදුවීමෙන් මානසික පීඩාවක් සිදු වූ බවට වෛද්‍ය වාර්තාවේ දක්වා නොමැති බවත්ය.
අධිකරණයේ එම නිරීක්ෂණයට පූර්ණ ගෞරවය දක්වමින්ම නීති විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, CCTV දර්ශන අහිමි වීම සහ රාජ්‍ය ආයතන දෙකක් හමුවේ නිලධාරීන් දුන් පරස්පර ප්‍රකාශ හේතුවෙන් සිදුවීමේ සත්‍යාසත්‍යතාව තහවුරු කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයේ සිව්වන නිර්දේශය ක්‍රියාත්මක වීම සමස්ත විමර්ශනයේම විශ්වසනීයත්වයට අත්‍යවශ්‍ය බවයි.
මාස හයකට පසු ඇසූ මුරපදය..
රැවටීමක්ද? විමර්ශන ප්‍රමාදයක්ද?
වසර තිස්අටක හමුදා ජීවිතය පිළිබඳව පිටු අනූවකට අධික විස්තරයක් මතකයෙන් ලබා දීමට තරම් යහපත් මානසිකත්වයක් තිබූ සැකකරුට තම පරිගණකයේ මුරපදය පමණක් මතක නොමැති වීම විමර්ශනය අඩාල කිරීමේ රැවටීමේ කලාවක් බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.
" පිටු 95 ක ප්‍රකාශයක් දෙන්න හොඳ මානසිකත්වයක් තිබ්බා. නමුත් තාම මුර පදය මතක නැහැ. රැවටීමේ කලාව. විමර්ශනය නැවැත්වීම තමයි අරමුණ. නමුත් අපට වෙනත් සාක්ෂි වලින් මෙම සිද්ධියට අදාළ වූ කරුණු අනාවරණය වෙලා තියෙනවා. ස්වාමීනි ඔබතුමත් අපටත් ඕනි මෙම විමර්ශනය අවසන් කරන්න. දේශපාලන අරමුණු මත නොවෙයි විමර්ශනය අවසන් කරන්නයි ඕනි. අද ඔබතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් කරනවද නැද්ද යන්නේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්න කියලා නියෝග කළා. ඇත්තටම ඒක හොඳයි ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා."
- (අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්)
මෙම තර්කය බැලූ බැල්මට ආකර්ෂණීය වුවද, ඊට අදාළ කාල රාමුව පරීක්ෂා කිරීමේදී මතු වන කරුණු පැමිණිල්ලේ ආඛ්‍යානයට තියුණු අභියෝගයක් එල්ල කරයි. විත්ති පාර්ශ්වයේ ස්ථාවරය අනුව, සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන පළමු මාස තුනේ රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන සිටි සම්පූර්ණ කාලසීමාව තුළ ලබාගත් කිසිදු ප්රකාශයකදී ඔහුගෙන් මෙම මුරපදය පිළිබඳව විමසා නොමැත. මුරපදය කුමක්දැයි විමසා ඇත්තේ දෙවන රැඳවුම් කාලසීමාවද ගෙවී ගොස් මාස හයකට පමණ ආසන්න කාලයක් ගත වූ පසු ඔහු රෝහල්ගතව සිටින අතරතුරදීය.
තවද මුරපදය ලබා නොදුන් බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන විත්ති පාර්ශ්වය, එම අවස්ථාවේ සලේගේ මතකයේ තිබූ මුරපද කිහිපයක්ම විමර්ශන නිලධාරීන් වෙත ලබා දී ඇති බව අවධාරණය කරයි. හමුදා බුද්ධි අංශයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ධුරය දැරූ නිලධාරියෙකු සිය ලැප්ටොප් පරිගණකවල සහ ජංගම දුරකථනවල මුරපද නිරන්තරයෙන් වෙනස් කිරීම ආරක්ෂක පිළිවෙතක් ලෙස සිදු කරන හෙයින්, මාස හයකට පසු අවසන් වරට වෙනස් කළ නිශ්චිත මුරපදය නොගැළපෙන්නේ නම් එය තාක්ෂණිකව සොයා ගැනීම විමර්ශකයින්ගේ වෘත්තීය වගකීමක් මිස සැකකරු විමර්ශනයට සහාය නොදැක්වීමක් ලෙස හුවා දැක්විය නොහැකි බව විත්තියේ තර්කයයි. මාස හයක් ගත වන තෙක් තීරණාත්මක ඉලෙක්ට්‍රොනික උපකරණයක මුරපදය නොවිමසා සිටියේ මන්ද යන ප්රශ්නය මෙහිදී විමර්ශන කාර්යක්ෂමතාව පිළිබඳවද සෘජු අවධානයක් යොමු කරයි.
විවෘත අධිකරණයේ භාෂා ශෛලිය සහ අධිකරණමය ගෞරවයේ සමාන මිනුම්දණ්ඩ
නොවැම්බර් 25 වැනිදා නඩු විභාගයෙන් පසු නීති ක්ෂේත්රය තුළ වඩාත්ම ගැඹුරින් සාකච්ඡාවට ලක් වූ අනෙක් කාරණය වන්නේ අධිකරණය විසින් පත් කරනු ලබන විශේෂඥ මණ්ඩල සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය දැක්විය යුතු ආචාර ධර්මික සීමාවන්ය.
අධිකරණ නියෝගයෙන් පත් කළ මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල මණ්ඩලයක වාර්තාව පිළිබඳව කරුණු දක්වමින්, සැකකරුට ඔස්කාර් සම්මානයකින් දමා ගැසිය යුතු බවත්, මෙය රඟපෑමක් බවත්, මානසික වෛද්‍යවරුන් ඇන්දීමේ සහ රැවටීමේ කලාව ඉගෙන ගැනීමට කැමති අයට මෙම වාර්තාව කදිම නිබන්ධනයක් බවත් විවෘත අධිකරණයේදී උපහාසාත්මකව ප්‍රකාශ විය.
එදිරිවාදී අධිකරණ ක්‍රමයක් තුළ ඕනෑම විශේෂඥ වාර්තාවක අඩංගු කරුණු විද්‍යාත්මකව සහ තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමට රාජ්‍ය අභිචෝදකයින්ට පූර්ණ නෛතික අයිතියක් පවතී. එහෙත් එම වාර්තාව ඉදිරිපත් කළේ සෘජුවම අධිකරණයේ නියෝගයෙන් පත් කළ වෘත්තීය විශේෂඥ මණ්ඩලයක් වන බැවින්, එම මණ්ඩලය සැකකරුවෙකුට රැවටී ඇන්දුණු පිරිසක් ලෙස උපහාසයට ලක් කිරීම අධිකරණමය ක්‍රියාවලියේ ගෞරවයට කෙබඳු බලපෑමක් කරන්නේද යන්න බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය.
විශේෂයෙන්ම මෑත කාලීන අධිකරණ පූර්වාදර්ශයන් දෙස බලන විට, මහේස්ත්රාත්වරයෙකු විසින් මාසිකව නිරීක්ෂණය කරනු ලබන රැඳවුම් මධ්‍යස්ථානයක් පිළිබඳව අධිකරණයෙන් පිටත මාධ්‍ය හමුවකදී "ශානිගේ වධකාගාරය" යනුවෙන් ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් විමල් වීරවංශ ඇතුළු දේශපාලනඥයින් පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නීතිමය පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයට වාර්තා යොමු කෙරුණු අවස්ථාව තවමත් මහජන මතකයේ පවතී.
අධිකරණයේ අභිමතයට සහ ස්වාධීනත්වයට පූර්ණ ගෞරවය පුද කරමින්ම නීති විචාරකයන් මතු කරන ප්‍රතිපත්තිමය ප්රශ්නය වන්නේ, අධිකරණ අධීක්ෂණයට සහ අධිකරණ නියෝගයට යටත් ආයතන හා විශේෂඥ මණ්ඩලවල ගෞරවය සුරැකීමේදී පිටස්තර දේශපාලනඥයින්ට මෙන්ම විවෘත අධිකරණයේ පෙනී සිටින රාජ්‍ය අභිචෝදකයින්ටද එක හා සමාන විනය හා වගකීම් මිනුම්දණ්ඩක් අදාළ විය යුතු නොවේද යන්නයි.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ පීඩාවට පත් වූ සියලු පුරවැසියන් වෙනුවෙන් සත්‍යය අනාවරණය කර ගැනීමත්, ඊට වගකිව යුතු කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද නීතිය හමුවට පැමිණවීමත් කිසිදු විවාදයකින් තොරව ජාතික ප්රමුඛතාවකි. එහෙත් එම යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ඉතිහාසය ඉදිරියේ අවිවාදිතව පිළිගැනීමට ලක් වන්නේ, දින තිහකින් මැකී යන සීසීටීවී දර්ශන වැනි සැක සහිත සාක්ෂි හිඩැස් ඉවත් කර, අධිකරණය පත් කළ වෛද්‍ය මණ්ඩල නිර්දේශ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරමින් සහ පෞද්ගලික උපහාසයන්ගෙන් තොර ගාම්භීර වෘත්තීය අභිචෝදනාවක් පවත්වාගෙන යන තාක් පමණි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මතු වූ මෙම ක්‍රියාපටිපාටික හා ආචාර ධර්මික කරුණු, ඉදිරි නඩු වාරවලදී නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ට ලැබුණු වැදගත් පාඩමක් ලෙස හඳුනාගත හැකිය.
# නිරෝමි සුබ්‍රමනියම්

