SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

 අද ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය නිතර කතා බහට ලක් වන මාතෘකාවක් සතිමත් බව..

විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල් අද මේ ගැන ලොකු උනන්දුවක් පවතිනවා.

 

ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අද ලෝකය භෞතික වශයෙන් ඉතා විශාල දියුණු තත්ත්වයක පවතින්නේ නමුත් ඒ භෞතික දියුණුව තිබුණට මිනිසා තුළ සතුට ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යනවා නේද කියන එක අද ලෝකයේ විද්වතුන් තේරුම් ගන්න පටන් අරගෙන.

මොන තරම් දේ තිබුණත් සතුට කියන එක, එහෙම නැත්නම් සැනසිල්ල, අභ්‍යන්තර සාමය, මිනිසා තුළ නෑ නේද? කියන එක තුළ විද්‍යාඥයෝ හිතන්න පටන් ගත්තා.

කොහොමද අපි ජීවිතයට සතුට හොයා ගන්නේ කියන එක. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි භෞතික වශයෙන් දියුණු වුණාට සතුට ලැබෙන්නේ නෑ කියන එකත්, එහෙම නම් ඒ සඳහා අපේ හිත පිළිබඳව පර්යේෂණ පවත්වලා බලන්න ඕනේ කියන එකටත්, ඔවුන් යොමු වුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට පසුගිය වසර බොහෝ ගණනක්, එහෙම නැත්නම් දශක කීපයක්, කාලය තුළ, විශේෂයෙන් ම දියුණු රටවල් හිත පිළිබඳ ව පර්යේෂණ කරන්න පටන් ගත්තා.

එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සතිමත් බව කියන මාතෘකාව එළියට ආවේ. ලෝකය අද එය හඳුන් වන්නේ mindfulness නමින්. මයින්ඩ්ෆුල් නස් ලෝකයට ආවේ මෑතක දී වුණාට ශ්‍රී ලංකා වාසී අපට නම් ඒක එච්චර අලුත් දෙයක් නෙමෙයි.

විශේෂයෙන්ම බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු අපට, බෞද්ධ සංස්කෘතියක උරුමය තියෙන අපට, මේ සතිමත් බව කියන එක හරි හුරු පුරුදු දෙයක් අපි භාවනාව කියන වචනයෙන් තමයි මේක හඳුන් වන්නේ. විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාව කියන එක තුළ බොහෝ විට මෙම මයින්ඩ්ෆුල්නස් කියන එකට සමාන දෙයක් තමයි සිද්ධ වෙන්නේ.

අද වෙන කොට ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින මේ mindfulness මිනිසාගේ සතුට සඳහා පමණක් නෙමෙයි, කරපු පර්යේෂණ වල ඉතා යහපත් සාර්ථක ප්‍රතිඵල තියෙන නිසා, අද වෛද්‍ය විද්‍යාව තුළත් සතිමත් බව යොදා ගන්නවා, එහෙම නැත්නම් අනුමත කරනවා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස.

විශේෂයෙන් ම කායික මානසික රෝග වළක්වා ගන්නටත්, හැදෙන කායික මානසික රෝග පාලනය එහෙම නැත්නම් අවම කරගන්නටත්, අද සතිමත් බව නැත්නම් mindfulness ලෝකය පුරාම පාවිච්චි වෙනවා.

images 1

සතිය කියලා කියන්නේ පාලි වචනයක් ඒකට සිංහලෙන් කියන්නේ සිහිය කියලා. ඉංග්‍රීසියෙන් mindfulness සතිය, එහෙම නැත්නම් සිහිය පවත්වා ගැනීම කියන එක තුළින් ජිවිතයේ සතුට හොයන කොට කොහොම ද ඒක වෙන්නේ කියන එක පිළිබඳව අපට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන.

අපි දන්නවා අපගේ හිත පිළිබඳව. හිත කියලා කියන්නේ නිතර ම විසිරෙන සුලු දෙයක්. අපි භෞතික වශයෙන් අපේ කය අප මෙතැන තියාගෙන හිටියට හැම වෙලාවෙම අපේ සිත විසිරෙනවා

අපට කාල තුනක් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත කියලා. අපි ඉන්නේ වර්තමානයේ අපි කය පවත්වා ගන්නේ වර්තමානයේ. හැබැයි අපි මෙතැන වර්තමානයේ හිටියට කයින්, බොහෝ වෙලාවට අපේ මනස, එහෙම නැත්නම් හිත, අපිත් එක්ක මෙතැන නෑ. නිතරම විසිරෙනවා ඒකකෝ අතීතයට, නැත්නම් අනාගතයට අතීතයට විසිරෙන සිත බොහෝ දේවල් එකතු කරගෙන එනවා අතීතයෙන් අතීත මතක, ඒ මතක හා බැඳුණු හැඟීම් සහ ආවේග.

ඒ වාගේ ම අනාගතයට දුවන සිත විවිධ අපේක්ෂා, බලාපොරොත්තු, මේවා එකතු කරගෙන එනවා.

 

බොහෝ වෙලාවට අපේ හිත පිරිලා තියෙන්නේ මෙන්න මේ අතීත, අනාගත බලාපොරොත්තු, හැඟීම්, දැනීම්, සිතුවිලිත් එක්ක. හැබැයි අපි දන්නවා අතීතය කියලා කියන්නේ ඉවර වෙච්ච දෙයක්, අනාගතය කියලා කියන්නේ නොපැමිණි දෙයක්.

 

යථාර්ථය පවතින්නේ වර්තමානයේ පමණයි. එතකොට අපි හොඳට හිතලා බැලුවොත්, අපි බොහෝ වෙලාවට ජීවත් වෙලා තියෙන්නේ යථාර්ථය නැති, අතීත, අනාගත, සිතුම් පැතුම්, බලාපොරොත්තු, අපේක්ෂා, මතකයන් එක්ක.

එතකොට අපි යථාර්ථයේ නෙවෙයි බොහෝ වෙලාවට ජීවත්වෙලා තියෙන්නේ. එතකොට සතිමත් බව කියලා කියන්නේ මෙන්න මේ විසිරෙන සිතපාලනය කරගෙන එක අරමුණක වර්තමාන මොහොතේ පවත්වා ගැනීමට උත්සාහ කරන එක. මේක දිගින් දිගට, දිගින් දිගට, අපි ප්‍රැක්ටිස් කරන කොට, එහෙම නැත්නම් අපි ඒක තුළ ක්‍රියාත්මක වෙන කොට, සිද්ධ වෙන දේ තමයි මේ විසිරෙන සිත පාලනය වෙන එක.

අතීත අනාගත විසිරීම පාලනය වීමත් එක්ක අපේ හිතේ තියෙන බොහෝ දේවල් ටික ටික අඩු වෙලා, හිත හිස්වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා ඕනෑම දෙයක් හිස් වෙන කොට එතැන තියෙන්නේ සැහැල්ලුවක් සිතත් හිස් වෙන කොට සිතේ පුදුම සැහැල්ලුවත් ලැබෙනවා.

ඒ සැහැල්ලුව තුළ තමයි සතුට ලැබෙන්නේ. එහෙම නම් ජීවිතයේ සතුට, සැහැල්ලුව, ප්‍රීතිය, ඒ වගේ ම අභ්‍යන්තර සාමය ඇති කර ගන්න සතිමත් බව පුරුදු පුහුණු කිරීම, ජීවිතයට එකතු කර ගැනීම, ඉතාමත් ම වැදගත් දෙයක්. අපි සතිමක් බව පුරුදු වෙනකොට එහෙම නැත්නම් මයින්ඩ්යුල් නස් පුරුදු කරන කොට මොකක් ද වෙන්නේ කියලා අපි දැන් දන්නවා විසිරෙන සිත පාලනය වීමත් එක්ක සිතේ සැහැල්ලුව අපි අත්විඳිනවා.

අපිට පිටින් පේන්නේ මේක වුණාට මීට වඩා ගැඹුරු විද්‍යාත්මක පදනමක් මේ සතිමත් බව තුළ තියෙනවා කියන එක අද විද්‍යාත්මක ලෝකය පර්යේෂණ වලින් ඔප්පු කරගෙන තියෙනවා. ඒ නිසයි ලෝකය අද අනුමත කරන්නේ මයින්ඩ්ෆුල්නස්, සතිමත් බව ජීවිතයට නිරන්තරයෙන් එකතු කර ගැනීම තුළ පුදුමාකාර ප්‍රයෝජන වාසි ගොඩාත් තියෙනවා කියන එක.

 

ජීව විද්‍යාත්මක වශයෙන් බැලුවා ම සිරුරේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙනවා, මේ සතිය පිහිටුවීම කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් මේක සිද්ධ වෙනවා කියලා ලෝකය අද හොයාගෙන තියෙනවා. එකක් තමයි මොළය හා ස්නායු පද්ධතිය, අපි දන්නවා අපේ හිතේ ක්‍රියාකාරීත්වය බොහෝ වෙලාවට රඳා පවතින්නේ මොළයත් එක්ක. මොළය සහ ස්නායු පද්ධතියේ බොහෝ වෙනස්කම් රැසක් සිදුවෙනවා, සතිමත් වෙනකොට

ඊළඟ එක තමයි අපේ සිරුරේ තිබෙන හෝමෝන. හෝමෝන පද්ධතියේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට, ලෝකය හොයාගෙන තියෙනවා මේ නවීනතම පර්යේෂණ වලට අනුව, අපේ සිරුරේ ඉතාම කුඩා ඒකකය වන සෛලය, මේ සෛලය දක්වා සතිමත් බවේ බලපෑම ගමන් කරවන්නට පුලුවන් කියන එක.

ඔබ දන්නවා සෛලයක් ඇතුළේ වර්ණ දේහ, ඒ වර්ණ දේහ ඇතුළේ ජාන කියලා ජාතියක් තියෙනවා. මෙන්න මේ ජානමය තත්ත්වයන් දක්වා මේ සතිමත් බවට කාවදින්නට පුලුවන් කියන එක අද හොයාගෙන තියෙනවා. එකකොට ඔබට තේරෙනවා සතිමත් බව කියලා කියන්නේ බොහොම ගැඹුරු මාතෘකාවක්. අපි බලමු ඇත්තට ම මොකක් ද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය, ජීව විද්‍යාත්මක ව සතිමත් බව, අපි පුරුදු පුහුණු කරන කොට කියලා.

 

sfd

 

ස්නායු පද්ධතිය සහ මොළය, අපි දන්නවා අපේ මොළය තුළ ස්නායු සෛල – අපි නියුරෝන්ස් කියලා කියනවා – නියුරෝන්ස් බිලියන අසුවකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේවා පවතින්නේ නියුරෝන ජාලා වශයෙන් ස්නායු ආවේග මේ ජාලා ඔස්සේ තමයි ගමන් කරමින් පවතින්නේ. එනකොට සතිමත් බව නිරන්තරයෙන් පුරුදු පුහුණු කරන කෙනෙක්ගේ මේ ස්නායු සෛලවල ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා කියලා අද හොයාගෙන කියෙනවා, යහපත් ආකාරයෙන් විශේෂයෙන්ම ඉස්සර හිතපු දෙයක් තමයි නියුරෝන සෛල ළමා කාලයේ හැදුණාට පස්සේ නැවත හැදෙන්නේ නෑ, ඒවා ක්ෂය වීමක් විනාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා.

නමුත් අද අලුත් පර්යේෂණ වලට අනුව කියනවා එහෙම වෙන්නේ නෑ දීර්ඝ කාලීනව නිතර නිතර මොළය උත්තේජනය කළොත් අපට පුලුවන් ඒ තියෙන නියුරෝන සෛල ප්‍රතිසංවිධානය කරන්න කියලා. ඒකට අපි හඳුන්වනවා අලුතින් නමක් නියුරෝ ප්ලාස්ටි සිටී. නියුරොප්ලාස්ටි සිටි කියන ක්‍රියාවලියේ දී සිද්ධ වෙන්නේ නියුරෝන සෛල ක්ෂය වීම පාලනය කරන එකත්, රිපෙයාර් කරන එක. නැත්නම් අලුත්වැඩියා කිරීම, ස්ථාපිත කිරීම, ඒ වාගේ ම ස්නායු සෛලවල ප්‍රතිරෝධයක් ගොඩ නැගීම, තමයි නියුරොප්ලාස්ටි සිටි කියන ක්‍රියාවලියේ දී සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. නියුරෝන තියෙනවා මම කලින් සඳහන් කළා වගේ, ජාල වශයෙන් තමයි තියෙන්නේ නෙට් එකක් විදිහට එනකොට ඒවා අතර තියෙන මේ උපාගමේ කියන සයිනැප්සස් කියන පුංචි කොටස් ශීඝ්‍ර ලෙස වර්ධනය කරන්න, වැඩි කරන්න පුලුවන්, එහෙම නැත්නම් අතු බෙදීමේ ක්‍රියාවලිය ස්නායු සෛල අතර තියෙන, වැඩි කරන්න පුලුවන් කියලා අද හොයාගෙන තියෙනවා.

එතකොට මේ තුළ සිද්ධ වෙන්නේ ස්නායු සෛල නැවත නැවත අලුත් වීමත්, ප්‍රතිසංවිධානය වීමත්. මේ අන්තර්ජාල ප්‍රමාණය වැඩිවීම තුළ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වීමත්, එතකොට මෙන්න මේ නියුරෝ ප්ලාස්ටි සිටි කියන ක්‍රියාවලිය, මයින්ඩ්ෆුල් නස් පුරුදු පුහුණු කරන කෙනෙක් තුළ බොහෝ විට දකින්න පුලුවන්, කියන එක විද්‍යාත්මක ලෝකයේ ප්‍රතිඵල වලට අනුව දන්නවා.

meditacion mindfulness l

 

 

එතකොට මේ ක්‍රියාවලිය මොළයේ සිද්ධ වෙනකොට හඳුනාගෙන තියෙනවා මොළයේ විශේෂිත කොටස් කීපයක් මේ නියුරෝ ප්ලාස්ට් සිටි, එහෙම නැත්නම් යහපත් වෙනස්වීම්, සිද්ධ වෙන ස්ථාන තුනක් පිළිබඳ ව.

 

එකක් තමයි මේ ඇමිග්සිලා කියන පුංචි කොටස. එකකොට ඇමිග්වලා කියන පුංචි කොටස ඉතාමත් ප්‍රාථමික ජීවීන් තුළ පවා තියෙන්නා වූ කොටසක්. එහි ප්‍රධාන කාර්යභාරය තමයි, ආවේග, ආවේග පිළිබඳ ව ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පුංචි කොටස. ආවේග පාලනය කිරීම මෙන්න මේ කොටසෙන් තමයි සිද්ධ වෙන්නේ. නිරන්තරයෙන් අවේගශීලී වෙන පුද්ගලයෙක් තුළ මේ කොටස වර්ධනය වෙනවා. සතිමත් වෙන පුද්ගලයෙක්ගේ මේ ඇමිඩලා කියන පුංචි කොටස ක්‍රමයෙන් ක්ෂීණ වෙලා ඉතා කුඩා වෙනවා කියලා හොයාගෙන තිබෙනවා. එතකොට ඒකෙන් කියන්නේ සතිමත් බව පුරුදු කරන පුද්ගලයකුට මේ ඇමිඩලා හි ක්‍රියාකාරිත්වය අඩු වීම තුළ, ආවේගශීලී වීම, තරහා යන එක, ප්‍රචණ්ඩත්වය, අවම කරන්නට පුලුවන් කියලා.

 

එතකොට ඊළඟට තමයි මේ හිපොකැම්පස් කියන පුංචි කොටස, මොළයේ අභ්‍යන්තරයේ තියෙන මේ කොටසේ ක්‍රියාකාරිත්වය තමයි මේ මතකය හා සම්බන්ධ වීම, අපගේ මතකයන් ස්ථානගත කරලා තියන්න, එහෙම නැත්නම් ස්ටෝර් කරන්න, ප්‍රධාන වශයෙන් උදව් වෙන එක කොටසක් තමයි හිපො කැම්පස්. එතකොට හිපොකැම්පස් එකේ දී සතිමත් බව එක්ක සිද්ධ වෙන වෙනස තමයි හිපොකැම්පස් එකේ ධාරිතාව, කැපෑසිටි එක වැඩිවීමත් ක්‍රියාකාරිත්වය වැඩිවීමක්. මේවා අද නවීන පර්යේෂණ වලින් සොයාගෙන තියෙන දේවල් ස්කෑන් රිපෝට් වලින්, එම් ආර් අයි පරීක්ෂණ වලින්, මේවා ඔප්පු කරලා තියෙනවා. සතිමත් බව තියෙන පුද්ගලයාගේ මතක ශක්තිය ඉතාමත් වැඩි වෙනවා කියන එක අද හොයාගෙන තියෙනවා. එතකොට ඔබට තේරෙනවා, මෙවැනි දේවල් සිද්ධ වෙනකොට, සතිමත් වෙන පුද්ගලයෙක්, එහෙම නැත්නම් සතිමත් වෙන දරුවෙක් තුළ කොයි තරම් වෙනස්කම් රැසක් සිද්ධ කරන්න පුලුවන්ද කියන එක.

ඊළඟ වැදගත් ම කොටස තමයි මේ ප්‍රී ෆ්‍රන්ටල් කෝර්ටෙක්ස් කියන මේ පූර්ව මස්තිෂ්කය, මොළයේ ඉදිරි පස තියෙන කොටසේ සිදුවන වෙනස්කම්. මේ කොටස විශේෂයෙන් වර්ධනය වෙලා තියෙන්නේ. මිනිසා තුළ සතුන් තුළ නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ කොටසෙන් නමයි මිනිසා තුළ තියෙන්නා වු සතුන් තුළ දකින්නට නැති ප්‍රධාන කාර්යයන් ගොඩාක් සිද්ධ කරන්නේ මේ කොටසෙන් ප්‍රධාන වශයෙන් දැනුම සොයා ගැනීම, දැනුම වර්ධනය කර ගැනීම ඊළඟට ප්ලැනින් ඇන්ඩ් ඔර්ගනයිසින් ඒ කියන්නේ සංවිධානය වීමේ ක්‍රියාවලිය, ක්‍රියේටිවිටී, එහෙම නැත්නම් නිර්මාණ ශීලිවීම, හොඳ නරක හඳුනා ගැනීම, ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නයට නිසි විසඳුම් සොයාගැනීමට අපේ මනස මෙහෙයවීම මෙවැනි බොහෝ දේවල්, ඒ විතරක් නොවේ, යමක් විනිශ්චය කිරීම, හරි වැරැද්ද තෝරා ගැනීම, ඊළහට අවසානයේ ස්වයං අවබෝධය, තමන් කව්ද කියන එක අවබෝධ කරගෙන ස්වයං පාලනය. ඒ තුළින් පෞරුෂත්වය.

පුදුමාකාර අන්දමට යහපත් ආකාරයෙන් වෙනස් කරන්නට මයින්ඩ්ෆුල් නස් පුරුදු කළ කෙනෙකුට පුලුවන් කියන එක, අද ඉතා පැහැදිලි ව ඔප්පු වෙලා තියෙනවා. එතකොට ඔබට තේරෙනවා, සතිමත් බව පුරුදු කරන කෙනා තුළ කාලයක් යන කොට මේ සියලු සිදුවීම් සිදු වෙන කොට යහපත් පුද්ගලයෙකු නිර්මාණය වන බව, ඒ විතරක් නොවෙයි, කලින් සඳහන් කළා ස්නායු සෛල අතර මේ උපාගම, නැත්නම් සයි නැප්සස් කියන පුංචි ගැප්ස්, ඉඩ, තියෙනවා. මේ තැන්වල තමයි නියුරෝ කෙමිකල්ස්, නියුරෝට්රාන්ස්මීටර්ස් කියන රසායනික ද්‍රව්‍ය පවතින්නේ.

ඔබ අහලා තියෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය මේ මොළය ඇතුලේ තියෙනවා. එතකොට සතිමත් වන පුද්ගලයා තුළ මේ මොළයේ ස්‍රාවය වන මේ රසායනික ද්‍රව්‍ය වලත් වෙනස්කම් සිද්ධ කරනවා කියලා . ප්‍රධාන වශයෙන් යහපත් හෝමෝන 6ක් පිළිබඳව ඔවුන් සඳහන් කරනවා එකක් තමයි මෙලටොනින්, මෙලටොනින් කියන්නේ නින්ද ඇති කරන රසායනික කෙමිකල් එකක්. ඊළඟට සෙරටොනින් කියලා කියන්නේ සතුට ඇති කරන රසායනික ද්‍රව්‍යයක් ඊළඟට ගැබා කියලා කියනවා. ප්‍රබෝධය ඇති කරන නියුරො කෙමිකල් එකක්. එන්ඩොෆින්ස් කියන්නේ ප්‍රබෝධය ඇති කරන නියුරෝ කෙමිකල් එකක් ඩීඑචර්ච් කියලා කියන්නේ ආයු කාලය වර්ධනය කරන රසායනික ද්‍රව්‍ය, ඒ වගේ ම ග්‍රෝවත් හෝමෝන් කියලා කියන්නේ තරුණ බව රැක දෙන හෝමෝන එතකොට ඔබ දන්නවා මේ සඳහන් කළ නියුරෝ කෙමිකල්ස් කීපය සතිමත් වීමේ දී වැඩියෙන් ස්‍රාවය වෙනවා කියලා තමයි අද සොයාගෙන තියෙන්නේ එනකොට මේ වැඩියෙන් ස්‍රාවය වීම තුළ, පුද්ගලයෙක් තුළ, සතුට, ප්‍රබෝධය. සාමකාමී බව, තරුණ බව, ආයු කාලය, මේවා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. අපේ සිරුරේ නිතර ස්‍රාවය වන හෝමෝන දෙකක් තමයි ඇඩ්‍රිනලින් සහ කෝර්ටිසෝල් කියලා කියන්නේ.

ඔබ අහලා ඇති මේ දෙක අපට අහිතකර හෝමෝන දෙකක් අපේ ස්ට්‍රෙස් එක ඇති කරන්නේ මේ හෝමෝන දෙකෙන් ඒ වාගේ ම ස්ට්‍රෙස් වෙනකොට අපේ හෘද ස්ඵන්දනය වැඩි කරන්නේ, රුධිර පීඩනය වැඩි කරන්නේ, සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය, වැඩි කරන්න හේතු වෙන්නේ මේ දෙක. එනකොට සත්මක් වෙන පුද්ගලයෙක් තුළ මේ දෙකේ, ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් දෙකේ ස්‍රාවය අවම වීමක් වෙනවා කියලා අද සොයාගෙන තියෙනවා. එතකොට ඔබට කේරෙනවා. මේ අවම වීම තුළ අපි මේ හෘද රෝග, ප්‍රෙෂර්, සීනි වාගේ දේවල්වලට තල්ලු වීමේ, කායික රෝග වලට වැළඳීමේ නැකියාව ඉතාමත් ශීඝ්‍ර ලෙස අඩු වෙනවා කියන එක ඔබට තේරෙනවා තවත් වැදගත් දෙයක් සිද්ධ වෙනවා.

ඒ තමයි අපේ සිරුරේ තියෙන ප්‍රතිශක්තිය. සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන්නට සතිමත් බවට පුලුවන්. අපි ස්ට්‍රෙස් වෙන කොට, ආතතියට පත් වෙන කොට, අපේ සිරුරේ ප්‍රතිශක්තිය අවම වෙනවා.

 

ඒ අවම වීම තුළ තමයි අපි නොයෙක් ආසාදනයන්ට, බැක්ටීරියා වෛරස් ආසාදන වලට, පිළිකා රෝග වලට, බොහෝ රෝග වලට අපි ව තල්ලු වෙලා යන්නේ එතකොට සතිමත් බව පුරුදු පුහුණු කරන පුද්ගලයා තුළ ප්‍රතිශක්තිය වැඩි වීම තුළ අපි රෝග වලට මුහුණ දීමේ ප්‍රතිරෝධයක් අපි තුළ ගොඩ නැගෙනවා.

 

ඒ තුළ රෝගාබාධ අවම කරන්නට හේතු වෙනවා. ඊළඟට ප්‍රධාන ම සිද්ධ වෙන දෙයක් තමයි ආතතිය සහ පීඩනය, ස්ට්‍රෙස් එක අවම වෙන එක. ඒ තුළ, ස්ට්‍රෙස් අවම වීම තුළ මේ රෝගාබාධ අඩු වෙනවා විතරක් නෙමේ ඉතා සුව නින්දක් අපට ලබන්නට පුලුවන්.

පාලනය කරගත හැකි කෝපය, අපට අද දවසේ දකින ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ පාලනය කරගතනොහැකි කෝපය, කෝපය පාලනය කරගන්නටත්, ප්‍රචණ්ඩ ශීලිත්වය පාලනය කරගන්නටත්, මේ තුළින් අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊටත් එහාට තවදුරටත් කතා කළොත්. මම සඳහන් කළා, සෛලයක් ඇතුළත මේ ජානමය තත්ත්වයන් දක්වා අපට පුලුවන් සතිමත් බව අරගෙන යන්න කියලා. එතකොට මයිඩ්ෆුල්නස් ජීවිතයට එකතු කර ගත්ත පුද්ගලයෙක්ගේ සෛලවල තියෙන ජානමය තත්ත්වයන් තුළ ඇතිවන වෙනස්කම්, විශේෂයෙන්ම මේ ක්‍රෝමසෝම් කියන පුංචි කොටස්වල ආරක්ෂිත ආවරණයක් තියෙනවා, ටේලොමියර් කියලා, මෙන්න මේ ටේලෝමියර් කියන පුංචි ආවරණය, වයසට යන කොට ටික ටික පුංචි වෙන බව, ක්ෂය වෙන බව හොයාගෙන කියෙනවා නමුත් සතිමත් වෙන පුද්ගලයෙක්ගේ මේ ටේලෝමියර් ප්‍රමාණයේ දිග වැඩිකරන්නට පුලුවන් සතිමත් වීම තුළින් කියලා හොයාගෙන තියෙනවා. ඒ තුළින්, ඩිමෙන්ෂියා වගේ චිත්ත වික්ෂේප වැනි වයසට යන කොට ඇතිවන අමතක වීමේ රෝගය වගේ ඒවා නවත්වන්න පුලුවන් කියලත් සොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ කාලයක් ජීවත් වෙන්නටත් පුලුවන් කියන එකත් සොයාගෙන තියෙනවා.

ඊට අමතර ව එපිපෙන සිස් කියන ක්‍රියාවලිය තුළ, ජානමය ක්‍රියාවලියේ යම් යම් යහපත් වෙනස්කම් ඇති කරන්නටත් මේ සතිමත් බවට පුලුවන් කියන එක අද හොයාගෙන තියෙනවා. එකකොට මේ විදිහට කල්පනා කරලා බලන කොට ඔබට තේරෙනවා මේ කියපු හැම වෙනස්කමක් ම, ස්නායු පද්ධතිය, හෝමෝන පද්ධතිය, සෛලය, ඇතුළෙ ගත්තාම, ඒ හැම වෙනස්වීමක් ම සිදුවන්නේ යහපත් ආකාරයෙන් ඒ තුළ අපි බලාපොරොත්තු වන නිරෝගීකම, ජීවිතයේ සැහැල්ලුව, සතුට, ඔක්කොම අපට හොයාගන්නට පුලුවන් වෙනවා ඒක තමයි සතිමත් බවේ විද්‍යාත්මක පදනම. ඒ නිසයි අද දියුණුවන ලෝකය සතිමත් බව අනුමත කරන්නේ ජිවිතයට එකතු කරගන්න කියලා. එතකොට ඔබට තේරෙනවා, නිරන්තරයෙන් සතිමත් බව, එහෙම නැත්නම් මයින්ඩ්ෆුල් නස් පුරුදු කරන කෙනෙක්ගේ තුළ ඒ පුද්ගලයාගේ ජීවිතයට මොන තරම් ප්‍රයෝජන රැසක් එකතු වෙනව ද කියන එක. එදිනෙදා ජීවිතයට ඇතිවන ප්‍රයෝජන අපි චුට්ටක් සලකා බලමු. ප්‍රධාන ම දෙයක් තමයි සුව නින්ද අපි කතා කළා මෙලටොනින් කියන රසායනික ද්‍රව්‍යය වැඩි වෙනවා කියන එක. ඒ වගේම සතිමත් වෙන කොට හිත සන්සුන්වීම, මේ තුළ සුව නින්දකට මඟ පාදනවා. ඊළඟට ආවේගශීලී බව අඩු වීම තුළ ප්‍රචණ්ඩත්වය අඩු වෙනවා. තරහා පාලනය කරගන්න පුලුවන් වෙනවා. ඊළඟට තමයි අද ලෝකයේ බහුලවම දකින ස්ට්‍රෙස් – ආතතිය. ආතතිය අවම කරගන්නට හොඳ ම ප්‍රතිකාරය තමයි මයින්ඩ්ෆුල්නස්.

ඊළඟට තවදුරටත් කතා කළොත් ප්‍රතිශක්තිය වැඩිවීම තුළ බොහෝ කායික රෝග, හෘද රෝග, ප්‍රෙෂර්, සීනි වැඩිවීම, දියවැඩියාව, මේද තත්ත්ව වැඩි වීම, පිළිකා තත්ත්ව, විවිධ ආසාදන, මේවා අවම කරන්නටත්, මේවා හැදුණාට පස්සේ සනීප කරගන්නටත් සතිමත් බව ඉතා හොඳ ප්‍රතිකාරයක් වෙනවා.

කෑමත් එක්ක සම්බන්ධ වෙන රෝගත් අද බහුලව දකින්නට පුලුවන්. විශේෂයෙන් ම තරබාරු බව, ස්ථුල භාවය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි තත්ත්ව, පාලනය කරන්න පුලුවන්, මයින්ඩ්ෆුල් ඊටිං, සිහියෙන් ආහාර ගැනීම කියන ක්‍රියාවලිය තුළින්. අද මේක ලෝකයේ බහුල වන, බහුල ව රෝහල් වල, සායන වල කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්. ඒ විතරක් නෙවෙයි, මේ කියපු දේවල්, මානසික රෝග, විශාදය, ඩිප්‍රෙෂන් වගේ රෝග, කාන්සාව වැනි, ඇක්ෂයට කියන රෝග තත්ත්වයන්, ස්ට්‍රෙස් කියන රෝග තත්ත්වයන්, ස්ට්‍රෙස් නිසා ඇතිවන රෝග තත්ත්වයන්, ඊළඟට වයසට යන කොට ඇති වන ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්ව, මේවා පාලනය කරන්නත්, ඇති වන එක නවත්වන්නත් මේක හුඟක් ලොකු උදව්වක් වෙනවා. ඊට අමතර ව, අපේ එදිනෙදා ජීවිතයේ අපි ගත්තොත් වේදනාකාරී තත්ත්වයන් සමනය කරගන්න, විශේෂයෙන් පිළිකා වැනි රෝග, ආතරයිටිස් වැනි රෝග, හන්දිපත් රුදාව වැනි රෝග තියෙන පුද්ගලයින්ට සතිමත් බව පුරුදු කරන කොට ඒ වේදනාව සමනය කරගන්නත් මයින්ඩල් නස් ඉතාම වැදගත් ප්‍රතිකාරයක් වෙනවා කියන එක අද අපි අත්දැකීමෙන් දන්නවා.

images 2

ඊට අමතර ව, අපි පවුල තුළ ගත්තොත්, එකිනෙකා තුළ සාමය, සහජීවනය, වැඩිකර ගන්න, සුහද සන්නිවේදනයක් ඇති කර ගන්න මේ මයින්ඩ්ෆුල් නස් වැදගත් වෙනවා. මේ ආකාරයෙන් අපේ ජීවිතයේ බොහෝ දේවල්, සතුට ප්‍රීතිය එකතු කරගන්න, හොඳ සාමාජීය සම්බන්ධතා ගොඩනඟා ගන්න, ලෙඩ රෝග අවම කරගන්න, මේ සියලු දේට ම මයින්ඩි ෆුල් නස් එහෙම නැත්නම් සතිමත් බව වැඩීම ඉතාමත් ම වැදගත්.

අපි පාසල් දරුවෝ ගැන කතා කරන්න ම ඕන සති පාසල අද ලංකාවේ ක්‍රියාත්මක වන සතිය වඩන ඉතාමත්ම වැදගත් ජනප්‍රිය වැඩසටහනක්, එතකොට සතිය පාසල් වලට හඳුන්වා දීම තුළ මොනවා ද දරුවා තුළ සහ ගුරුවරුන් සහ දෙමාපියන් තුළ සිදුවන වෙනස්කම් ගැනත් කතා කරන්න ම ඕන. අපි කලින් කතා කළානේ ජීව විද්‍යාත්මක වෙනස්කම් ඉතා හොඳින් වෙනස් ආකාරයට ඇති කරන්න පුලුවන් දරුවෙකුට ඉතා පුංචි කාලයේ දී සතිමත් බව ජීවිතයට එකතු කරගන්න පුලුවන් නම් වැඩුණු දරුවා නිරන්තරයෙන් සතිමත් බව පුරුදු කරන කොට අපි කලින් සඳහන් කරපු සියලු වෙනස් කම් ඉතා හොඳින් සිද්ධ වීමත් එක්ක ඔහු වැඩිහිටියෙක් බවට පත් වෙනකොට අපි මේ කතා කරපු සියලු වාසි, ප්‍රයෝජන ඒ දරුවට ලබාගන්න පුලුවන් වෙනවා. ඔහුට පුලුවන් වෙනවා යහපත් මානසිකත්වයක් තුළින්, ආවේගශීලී දරුවෙක් නොවී, හොඳට හිතන පතන සංයමයකින් යුත් දරුවෙක් වෙන්න. ඒ වාගේ ම තමයි, නිර්මාණශීලී දරුවෙක් වෙන්න එන ප්‍රශ්න වලට අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන දරුවෙක් වෙන්න, ඉගෙනීමට හොඳින් හිත යොමු කරලා, අවධානය, මතක ශක්තිය වැඩි කරගත් දරුවෙක් බවට පත් වෙන්න. තමන් ස්වයං අවබෝධයක් තුළින් ස්වයං පාලනයක් ඇති කරගත් දරුවෙක් වෙන්න. ඒ ආකාරයට තමා අනාගතයේ බලාපොරොත්තු වන ඉලක්කයට යන්න ඒ දරුවට තමන්ගේ මනස හදා ගන්නට ඉතා හොඳ තෝතැන්නක් වෙනවා මේ මයින්ඩ්ෆුල්නස්, එහෙම නැත්නම්, සතිමත් බව. ඒ තුළින් යහපත් දරුවෝ ටිකක් පාසල තුළ, නිවස තුළ ඉන්නකොට ගුරුවරයාට සහ අම්මා තාත්තාටත් මේ ප්‍රතිඵලය ලැබෙනවා. දරුවෝ නිසා අද කෝයි කරම් නම් දෙමාපියෝ ආතතියට පත්වෙලාද? මේ ආතතිය අවම කරගන්න ගුරු දෙගුරු දෙගොල්ලන්ට ම පහසු වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔවුන්ටත් සතිමත් වීම තුළින් දරුවෝ දෙමාපියෝ ගුරුවරු අතර හොඳ සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න, ආතතිය අවම කරගෙන සතුටින් නිවසේ සහ පාසලේ වැඩ කටයුතු කරගෙන යන්න, සතිමත් බව ඉවහල් වෙනවා. ඒ නිසා අද විද්‍යාත්මක ලෝකය අපට අනුමත කරලා තියෙනවා, ඒ වාගේ ම බුදු දහම තුළිනුත් අපට හඳුන්වලා දීලා තියෙන මේ සතිමත් බව, එහෙම නැත්නම්. මයින්ඩ්ෆුල්නස්, අපේ ජීවිතයට එකතු කර ගැනීම තුළින් බොහෝ විශාල ප්‍රයෝජන රැසක් අපට ලැබෙනවා කියන එක ඔබට දැන් තේරෙනවා. ඒ තුළින් අපට පුලුවන් වුණ යම් දවසක සතුටින් සැහැල්ලුවෙන් සාමයෙන් ජීවත් වෙන, තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්නට පුලුවන්, හොඳ සමාජ සම්බන්ධතා ටිකක් ගොඩනඟා ගත්ත, නිරෝගී, බොහෝ කාලයක් ආයු වළඳන, වැඩිහිටියෙක් අනාගතසමාජයට දායාද කරන්න. ඒ නිසයි අපි නිරන්තරයෙන් දැනුවක් කරන්නේ මයින්ඩෆුල්නස්, එහෙම නැත්නම්, සතිමත් බව ජීවිතයට එකතු කරගන්න කියලා.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

 

නවතම ලිපි