SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔය හීන් බෝවිටියාව අපි ඉස්සර පයිසෙකට ගනන් ගන්නෑ. පාරවල් අයිනේ හැමතැනම

දම් පාට මලක් එල්ලගෙන බලාගෙන ඉන්නවා. ගනන් ගන්නෙම නෑ. ඉඩම් එළිපෙහෙළි කරනකොට පදුරු පදුරු ගලවලා වීසි කරනවා. ආයෙත් පැලවෙනවා. කාස්ටක පසේ පැලවෙන්න දළුලන්න මෙයා හරි දක්ෂයි. කදෙන් මුල් ඇවිත් පොළව හොයාගෙන ගිහිං පදුරු පදුරු හද හදා මල් සිනා ඇගේ එල්ල එල්ල මෙයා හරිම ඉක්මනින් පවුල හදාගන්න දක්ෂයි. ඒත් ඉතිං අපි ගනන් ගන්නේ නෑ.

 

images 1

 

ඒත් පොඩි කාලේ දවසක් උණ ගැනිලා ඉස්කෝලෙන් කලින්ම ගෙදර එක්කරගෙන එනකොට අම්මා හුළං ස්කෝතු අරන් දෙන්න කපු මහත්තයාගේ කඩේට එක්කරගෙන ගියාම අර ලොකුම ලොකු වීදුරු බෝතල්වල ඇත්තට ඒ බෝතල් දැන් දකින්නත් ආසයි, අන්න ඒ ආස බෝතල්වලින් හුළං ස්කෝතු අරගෙන දෙනගමන් උන්දෑ කියාපි කොල්ලගේ ඇස් හොඳටම කහපාටයි හවසට ඕදිරිස්සා ළඟට එක්කගෙන පලයන් කියලා.

 

ඉතිං හවස ගියා කියමු. උන්දෑ ඇස් හාරලා බලලා කහ උණ කියලා කියාපි. ඉස්සර සෙංගමාලෙ කියලා තමයි කිව්වේ. සෙංගමාලේ අඳුරගන්න බැරිව අපේ ගම්වල මිනිස්සු ඉස්සර මැරෙනවා සුලබ නිසා ඉතිං බෙහෙත් අහගෙන බයෙන් බයෙන් ගෙදර ආවා.

 

ඕදිරිස් මාමා සිංහල වෙදෙක් කියලා මම දන්නෙත් එදා තමයි. ගඟ අයිනේ ගෙදරක ඔහේ හිටිය සුදු කෙට්ටු මිටි මේ මනුස්සයා පවුලේ උරුමයක් විදිහට සෙංගමාලෙට බෙහෙත් අරගෙන ඇවිත් තිබුණා. ඇත්තටම කීවොත් ඒ ගම් පොකුරටම හිටිය එකම වෙදා තමයි මිනිහා.

 

ඉතිං හවස බෙහෙත් ගන්න ගිහිං ඇවිත් අම්මා හීන් බෝවිටියා ගාලක් කඩාගෙන ඇවිත් කියාපි උබ හෙට උදේ ඉදලා හීන්බෝවිටියා කැඳ ඔන්න ඕනෑ කියලා. ඒක තමයි ප්‍රධානම බෙහෙත. තව ගුලියක් කල්කයක් දුන්නා තෝරකොළ සාරුව එක්ක. මට මතක විදිහට.

 

images 3

 

මේ වෙනකොට අපි හීන්බෝවිටියා ගාල් වල සෙල්ලම් කළාට කවදාවත් හීන් බෝවිටියා කඳ බීලා තිබ්බේ නෑ. අපේ ආසම කැඳ මොහොත උදාකළේ හතාවාරිය. ඊළඟට ඉතිං ඉරමුසු. පුදුම රස කැඳ ජාති දෙකක්. ඊටළඟට හීන් ගොටුකොළ. ඊටපස්සේ ගොනිකා කොළ. ඔහොම ඔහොම කඳ ජාති ගොඩක් නිතරම බිව්වත් ඒ කඳ වට්ටෝරු පොතේ කවදාවත් හීන් බෝවිටියා වලට පිටුවක් තිබ්බේ නෑ.

 

අම්මෝ ඉතිං මුලින්ම හීන් බෝවිටියා බොනකොට දැනුන ආතල්ලුව තවමත් මට හීන් බෝවිටියා බොනකොට එනවා. ඇත්තටම හීන් බෝවිටියා ව ළඟ තියෙනවා අමුතු ඇඹුල් රසයක්. ඒකාලේ ඒකට දිව හුරු නෑ. අනික ඉතිං මේක සාමාන්‍ය කඳක් නෙවෙයි නේ. බෙහෙත් කැඳක්. කැවුත්තේ ආරක්ෂාවට දෙන බෙහෙතක්. කළු පාටට කක්කා ගියොත් උබ ඉවරයි කියලා හිත හිත කක්කා පාට වෙනස් කරගන්න බොන බෙහෙතක්.

 

දවස් හතරක් විතර එක දිගට මෙහෙම කැඳ ගහනකොට මෙන්න අර කහ පාටට තිබ්බ ඇස් සුදට හැරෙනවා. දවස් හතක් බීවාට පස්සේ දැන් ඇති කියලා ඕදිරිස් මාමා හැම හවසකම ගෙදරට එන්න කියලා තැබිලි ගෙඩියක් දෙනවා. ඒක ඇස්ස ලස්සනට ගහලා ආයේ සීල් තියපු අරුම පුදුම තැඹිලි ගෙඩියක්. ඒක අස්සේ මොනාද දාලා තියෙන්නේ කියලා මිනිහා තමන්ගේ පවුලටවත් කීවේ නෑ. ඉතිං ඔය තැඹිලි ගෙඩිය රෑ දවසක් පරිස්සමින් තියලා උදේ පාන්දර ගඟට බැහැලා දුම් පිටවෙන වතුරේ එබිලා ඇවිත් බොන්න තමයි තියෙන්නේ. අයිස් කැට සීතලක් එක්ක බඩට වැටෙන ඒ තැඹිලි වතුර පොද කොයිතරම් රසද? ඇත්තටම ඒක පුදුම රසයි. ආයේ ආයේ සෙංගමාලේ හදාගන්න හිතෙන රසයක් තමයි ඒකට තිබ්බෙ.

 

ඉතිං හීන් බෝවිටියා කතාව කැලේ ගියානෙව. මෙහෙම දවස් හතක් කැඳ බීලා ලෙඩේ සනීප උනාට පස්සේ හීන් බෝවිටියා දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. කවඳාවත් අපේ කැඳ පොතට හීන් බෝවිටියාවිය ආවෙත් නෑ.

 

images 2

 

මෙන්න අවුරුදු 30ක් විතර ගිහිං අද වෙනකොට වෙලා තියෙන වැඩේ.. කොළඹ ගෙන්ඳගම් පොළවේ උදේට පිපෙන හැම කැඳපොළකම හීන් බෝවිටියාවිය වැඩ හිඳිනවා. ඒක අරුමයක්..! කැවුත්‍තට එහෙම නැත්තං අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන විශාලම අවයවය අක්මාවට තිබෙන එකම ප්‍රබලම සිංහල බෙහෙත අද මහපාරට ඇවිත්. මහරගම පොළට ගියොත් ඕනීම පොළ දවසකට හීන්බෝවිටියාවිය ගන්න පුළුවන්.

 

ඒ විතරක් ද අද වෙනකොට හීන් බෝවිටියාවියගේ කොළ කුඩු කරලා පැකට් කරලා වෙළඳපොළට එනවා. පිටරට යනවා. සිද්ධාලේප වෙඳමහත්තයා ටැබා එකකුත් ගහනවා. මේ ගහේ ගුණ අඳුරගෙන පිටරට එවුන් අනිවාර්යයෙන් බෙහෙත් වර්ගත් රසායනිකව නිස්සාරණය කරනවා ඇති. දෙවෙනි පන්තියේ ෆැටී ලීවරයෙකුට උනත් සති දෙකක් තුනක් කැඳ එක ගැහුවාම ගොඩයන්න පුළුවන් කියන එක අද පරම සත්‍යයක් වෙලා. එහෙම බැලුවාම අද බෙබන්ගේ පරම ආරක්ෂයා වෙලා ඉන්නේ හීන්බෝවිටියා විය තමයි. ඒනිසාම අද හීන්බෝවිටියාවිය වටේ විශාල ආර්ථිකයුත් ගොඩනැගිලා.

 

ඉතිං යාන්තම් ඇඹුල් රස මේ ගුණාවියට හොඳට පොල් කිරි මික්ස් කළාම රසම රස කැඳ කෝප්පයක් හදාගන්න එකත් අමාරු නෑ. එහෙම හදාගත්තාම බෙහෙතක් උනත් බෙහෙතක් නෙවෙයි කියලා ආසාවෙන් බොන්න පුළුවන්.

 

@කේ සංජීව

නවතම ලිපි