ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න
ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණවලට අදාළව වංචාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ජූලි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ අතරතුර පසුගිය දින කිහිපය තුළ එම රෝහලේ අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වී ඇත්තේ ශල්‍යකර්මවලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැති බව දැනුම් දෙමින් වන අතර ඉන්පසු දින විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වී ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව දන්වමිනි.
කෙසේ වුවද අත්අඩංගුවට ගැනීමේ සිදුවීමත් සමග ක්ෂේත්‍රයේ සිදුවන කතාබහ සම්බන්ධයෙන් මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් දැඩි කණස්සල්ලකට පත්ව සිටින බව නොරහසකි.
ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින එකම කාන්තා විශේෂඥ වෛද්‍යවරිය වූ මහේෂි විජේරත්නව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්යය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතුසහගත ලාභයක් ලබා ගැනීම මෙන් ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව ‘දුෂණය’ නම් වරද සිදු කළේ යැයි සැක පිටය.
ඒ අනුව මේ වනවිට වෛද්‍ය විශේෂඥයින් විසින් සිදු කරනු ලබන සංකීර්ණ ශල්‍යකර්ම/වෛද්‍ය ක්‍රියා පටිපාටිවල යෝග්‍යතාවය සහ ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තාක්ෂණික නොවන පුද්ගලයින් විසින් විවිධ සංසදවල සිදු කරනු ලබන අහිතකර අදහස් හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ලිපියක් යොමු කරමින් මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, වෛද්‍ය විශේෂඥයින්ගේ විශ්ලේෂණයකින් තොරව සිදු කරන මෙම අදහස් දැක්වීම්, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම තුළින් මහජනතාවගේ මනස තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳව සැලකිය යුතු සැක සංකා ඇති කිරීමටත්, ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන් අතර කාංසාව ඉහළ නැංවීමටත් හේතු වී ඇති බවයි.
මෙම අදහස් දැක්වීම් මඟින් වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රතිරූපයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවාවට අපහාස කිරීමට උත්සාහ දරන බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එහිදී අවධාරණය කරයි.
වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය මෙම “අනාරක්ෂිත ප්‍රවණතාවය” සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර, අදාළ සිදුවීම් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, හැකි ඉක්මනින් විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.
මෙමගින් සීමිත සම්පත් යටතේ වුවද රට පුරා විශිෂ්ට සේවාවක් සපයන වෛද්‍ය විශේෂඥයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හැකි වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
සංකීර්ණ, නමුත් ජීවිතාරක්ෂක වෛද්‍ය හා ශල්‍යකර්ම ක්‍රියා පටිපාටි සඳහා අපේක්ෂාවෙන් හෝ සූදානමින් සිටින රෝගීන්ගේ සැක සංකා සහ කාංසාව සමනය කිරීම සඳහා රජය මෙම තත්ත්වය පිළිබඳ සත්‍යය ප්‍රකාශයට පත් කිරීම අතිශයින් වැදගත් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
මෙම ලිපිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය TGY රසික ගුණපාල සහ මහ ලේකම් වෛද්‍ය R. ඥානසේකරම් විසින් අත්සන් කර ඇති අතර, එහි පිටපත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ වෙතද යොමු කර ඇත.
ශල්‍ය වෛද්‍ය උපකරණ මිළදී ගැනීමට ඉන්දියාවේ නිෂ්පාදන උපකරණ නොව එක්සත් රාජධානියේ නිෂ්පාදන නිර්දේශය අර්බූධයට හේතුවක්ද?
අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කළ උක්ත චෝදනාවන්ට පාදක වූ සිදුවීමට අදාළව මාධ්‍ය තුළ මෙන්ම වෛද්‍ය මහේෂිගේ පාර්ශ්වය තුළ කතාබහකට ලක්ව ඇත්තේ විශේෂඥ වෛද්‍ය මහේෂි සැත්කම් සඳහා නිර්දේශ කරන ශෛල්‍ය වෛද්‍ය උපකරණ ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා නොව එක්සත් රාජධානියේ නිෂ්පාදිත උපකරණ නිර්දේශිත ඒවා වීම මෙවැනි චෝදනාවන් එල්ලකිරීමට පාදක වී ඇති බවය.
ලෝකයේ ඖෂධ මාෆියාව යනු න්‍යෂ්ටික අවි හරඹයටත් වඩා දරුණු ඝනයේ යුද්ධයකි. ඖෂධ මාෆියාවේ පිකාසෝලා සිටින්නේ අසල්වැසි ඉන්දියාවේ වීමත් මේවා පිළිබඳව වැඩිපුරම හෙළිදරව් වන්නේ ඉන්දියානු සිනමාවෙන් වීමත් ඒ සමගම කව්රුත් දන්නා කරුණකි.
එසේනම් ඇත්ත වශයෙන්ම මෙය ඖෂධ සමාගම්වල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද?
නොඑසේනම් සත්‍ය ලෙසම වංචාවක් සිදුවී තිබෙන්නක් ද?
එය තවමත් අධිකරණ ක්‍රියාමාර්ග තුළ විමර්ශනයට බඳුන් වන්නක් වන අතර වෛද්‍ය මහේෂී යනු තවමත් සැකකාරියක් පමණකි.
කෙසේ වුවද මෙම චෝදනා විමර්ශනය සම්බන්ධයෙන් 2023 සිට අල්ලස් කොමිසම කටයුතු සිදුකර ඇති බව පැවසෙන අතර මේ මොහොතේ කඩිනමින් වෛද්‍ය මහේෂි විජේරත්නව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද විවාදාපන්න කතාබහක් මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ සභාපති නීතීඥ ගුණරත්න වන්නිනායකගෙන් අප විමසනු ලැබූ පසු ඔහු පැවසූයේ මේවා විවෘත පරීක්ෂණ බවත්, වසර තිස්ගණනක් තිස්සේ පැවති අධිකරණ සම්ප්‍රදාය වන්නේ විවෘත පරීක්ෂනයකදී බොහෝ දුරට අදාළ පුද්ගලයා රිමාන්ඩ් ගතකර පරීක්ෂන සිදුකිරීම බවය.
එහෙත් යථෝක්ත සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂන ආරම්භ කර වසර තුනක් ඉක්ම ගිය පසු අත්අඩංගුවට ගැනීම විවෘත පරීක්ෂන සිදුකිරීමේ ක්‍රියා පටිපාටිය අධිකරණ සම්ප්‍රධාය බිඳීමක් බවත් එය යම් බලපෑමක් මත වූ සිදුවීමක් බව හැඟෙන්නේ යැයි ද ඔහු පවසයි.
විශේෂයෙන්ම ශානි අබේසේකර සිදුවීම ගැන සඳහන් කරමින් ඔහු කියා සිටින්නේ ශානිට බලය නැති අවස්ථාවේදී රිමාන්ඩ්ගතවීමත්, බලයක් ඇති අවස්ථාවේදී ඔහු නිදහස් වීම මෙන්ම පෙර සිටි තනතුරෙහිම (විශ්‍රාම වයස පවා නොසලකා) යළි පිහිටුවීමත් සිදුවීම් මගින් පෙන්වන්නේ අධිකරණමය කටයුතු දේශපාලනීකරණය වීමක් බවත් ය.
ඒ අනුව ඔහු අවදාරණය කළේ තමන්ට දේශපාලනය අදාළ නැති බවත් නීතීඥවරුන් වශයෙන් ඔවුන් කැපවන්නේ අධිකරණ සම්ප්‍රදායන් රකිමින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් බවත් ය.
කෙසේ වෙතත් මෙම නඩුවේ විශේෂඥ වෛද්‍යවරිය සමග අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය ඊයේ(08) නියෝග කර ඇත.
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ ඇප මත මුදාහැරීමේ තීරණය ජූලි මස 15 දිනට යෙදී ඇත.
@සමාරා පරණවිතාන