මේ ලිපිය, දෙරණ ‘නලින් සර්’ සංවාදයේදී මා ඇසූ ප්‍රශ්නයක් තේමා කරගනිමින් තමලු මලිත්ත පියදිගම මිතුරා විසින්
‘සිවිල්/ලිබරල් ජාතිකවාදය උත්තරයක් නොවී ප්‍රශ්නයක් වන්නේ කෙසේද ?’ යන මැයින් යුතුව පළකර තිබෙන ලිපියට පිළිතුරු ලිපියකි.
(සිවික්/ලිබරල් ජාතිකවාදය උත්තරයක් නො වී ප්‍රශ්නයක් වන්නේ ඇයි? කරූට එරෙහිව තමලුගෙන් පිළිතුරු)
එම ලිපියෙහි ලා ඔහු නගා තිබෙන එක් එක් ප්‍රශ්නයට වෙනම පිළිතුරු සැපයීම වෙනුවට සියල්ල එක්වනම ආවරණය වන පිළිතුරක් ලෙස මේ පිළිතුරු ලිපිය ගොඩ නැගීමට අදහස් කරමි.
ඉහත කී රූපවාහිනී සංවාදයේදී මා මතුකළ ප්‍රශ්නය වූයේ ජනවාර්ගික ජාතිකවාද දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධව අභිමුඛ වූ විට එම තත්වය ගැටුමකින් තොරව විසඳාගන්නේ කෙසේද යන්නය.
ප්‍රශ්නය එසේ මතුකිරීමට අමතරව ඒ සඳහා දිය හැකි පිළිතුරක්ද ලැබුන කාලවේලාව අනුව කෙටියෙන් සඳහන් කළෙමි.
මාගේ අදහස වූයේ ජනවාර්ගික ජාතිකවාද දෙකක් එකිනෙකට අභිමුඛව නැගී සිටින විට එක් රාජ්‍යයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් ඇති කරගත හැක්කේ ජනවාර්ගික ජාතිකවාදයේ භාෂාව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂාව යොදාගැනීම සහ ජනවාර්ගික ජාතිකවාදය වෙනුවට සිවිල් ජාතිකවාදයක් තෝරාගැනීම /නිර්මාණය කරගැනීම ඔස්සේ බවය.
එම අදහසේ වැඩි දුරටත් යමින් ජාතිකවාදය යනු නූතන දේශපාලනය තුළ වැදගත් සාධකයක් බවත් යහපත් රාජ්‍යයක් අරමුණු කරගනිමින් සිවිල් ජාතිකවාදයක් ඇති කරගැනීමේදී ලිබරල්වාදය සහ ජාතිකවාදය අතර සහ සම්බන්ධයක් අවශ්‍යවන බවත් සඳහන් කළෙමි. එහෙත් එම අදහස් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට රූපවාහිනී වැඩසටහනේ කාල වේලාව මදි විය. මාගේ අදහස ගැඹුරින් ප්‍රශ්න කරමින් ඒ ගැන වැඩිදුරටත් සංවාදයක් ඇරඹීමට ඉඩ කඩ ලැබෙන පරිදි තරමක් දිගු ලිපියක් ලිවීම ගැන තමලුට මුලින්ම ස්තුතිය පළ කරමි.
අද අපට හමුවන ජාතිකවාදය සහ ලිබරල්වාදය යන අදහස් ගොනු දෙකම මුලික මිනිස් ස්වභාවයකට සම්බන්ධය. දේශපාලන මතවාද වශයෙන් ජාතිකවාදයට හා ලිබරල්වාදයට ඇත්තේ මෑත කාලීන උපතක් වුවද ජාතිකත්වය සම්බන්ධ වන්නාවූ සාමුහිකත්වය (communality, collectivity) යන මානව චර්යාවත් නිදහස සොයා යෑම (liberality) යන මානව චර්යාවත් මානව සමාජයේ අරම්භයේ සිටම දක්නට ලැබෙන මානව ස්වභාවයක් බව සඳහන් කළ හැකිය.
මිනිසා හුදෙක් රංචු ගැසී වාසය කරන සතෙකු නොවේ. රංචුව තුළ සිටිමින්ම රංචුවෙන් නිදහස්ව සිතන ස්වභාවයක් මිනිසා තුළ ඇත. ඇත්තෙන්ම මිනිසාට මිනිස් අනන්‍යතාව ලැබුනේම මිනිසා සතු මේ නිදහස් නැමියාව නිසාම යැයි මම කල්පනා කරමි. රංචුව නමැති සමස්තයෙන් තමා (self) යන කොටසක් කඩා ගැනීමට මිනිසා දැක්වූ හැකියාව නොවන්නට, එසේම අන් රංචු අතරින් අපගේ රංචුව වෙන් කරගැනීමට මිනිසා දැක්වූ සමත් කම නොවන්නට අප තවමත් සිටින්නේ හරක් රංචු, වඳුරු රංචු ආදී වශයෙන් විය හැකිව තිබිණි. මිනිසා මානසිකයකු හෙවත් මනසක් සහිත සතෙකු වුයේ මිනිසා තුළ තිබෙන මෙම නිදහස් නැමියාව හා වියුක්ත චින්තන හැකියාව නිසා බව කිව හැකිය.පොදුවේ කිව හැක්කේ මිනිසා සාමුහිකත්ව සත්වයකු වන්නා සේම ලිබරල් සත්වයකුද වන බවය.
සෑම මිනිසකු තුළම සාමුහික අර්ධයක් මෙන්ම ලිබරල් අර්ධයක්ද තිබෙන බව කිව හැකිය. පසුකාලීන දේශපාලන දර්ශන, මතවාද තුළ මේ මානව චර්යාවන් දෙක (communality and liberality) පිළිබඳ දෘෂ්ටිවාද ඇතිවිය. විවිධ ඓතිහාසික හේතු සාධක රාශියක් නිසා සාමුහිකත්වය යන චර්යාව විග්‍රහ කිරීමට වඩා වැඩි ඉඩක් ‘ලිබරලිත්වය’ විග්‍රහකිරීම සඳහා දර්ශනය හා දේශපාලන චින්තනය තුළ ඉඩක් වෙන් වී තිබෙන බව දේශපාලන දර්ශනයේ ඉතිහාසය පරීක්ෂා කර බලන විට සාධාරණ වශයෙන් පෙන්වා දිය හැකිය. අද අප මුහුණ දෙන ජාතිකවාදය සහ ලිබරල්වාදය යන මතවාද විකාශනය වුයේ මේ ආකාරයටය.
// ලිබරල්වාදය බිහිවූයේ වසර දහස් ගණනක් ආගමික ආධානග්‍රාහීත්වයකට එරෙහිව නිදහස වෙනුවෙන් මිනිස් චින්තනය නැගී සිටීමේ ප්‍රතිපලයක් වශයෙනි. එහි සීමාකම් නොතිබුනා නොවේ. ලිබරල්වාදය කොටස සමස්තයෙන් වෙන්කරගත් වියුක්ත මිනිසකුව පරිකල්පනය කරන බව තමලු කියයි. එය සැබෑවකි. එය ලිබරල්වාදයේ සීමාවය. (ඇත්තෙන්ම දේශපාලනයේදී අප භාවිතයට ගන්නා වූ අති මුලික සංකල්ප ගණනාවක්ම වියුක්ත සංකල්පයන්ය. රාජ්‍යය යනු එබදු වියුක්ත සංකල්පයකි. ජනතා පරමාධිපත්‍යය යනු එවැනි තවත් වියුක්තයකි.මානව හිමිකම්ද එසේමය. එහෙත් මේවා ඉතා පලදායී වියුක්ත සංකල්පයන්ය.)
මේ වියුක්තභාවයේ දාර්ශනික සීමාව තිබියදී වුවද පාලන ක්‍රමයක් , ජීවන විලාසිතාවක් ලෙස ලිබරල්වාදය විකාශනය වෙද්දී එම සීමාව තරමක් හෝ ජයගැනීම සඳහා වෙනත් අදහස් හා සම්බන්ධ වීමට ලිබරල්වාදයට සිදුවිය. ඒ නිසා සිදුවුයේ තනි ලිබරල්වාදයක් වෙනුවට ලිබරල්වාද රැසක් ඇති වීමය. මුල්කාලීන ලිබරල් වාදීන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත්තේ නැත. ලිබරල්වාදී ඇතැමෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධීන් ද වුහ. එහෙත් කල් යෑමේදී ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සහවාසයක් ඇති විය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බිහිවූයේ ඒ අනුවය. මුල්කාලීන ලිබරල්වාදය තුළ, විශේෂයෙන්ම පුද්ගලික දේපල මුලික කරගත් එහි ආර්ථික දර්ශනය තුළ සමාජ සාධාරණත්වවාදයට ඉඩක් තිබුනේ නැත. නමුත් පසුව සමාජ සාධාරණත්ව වාදය ලිබරල් කථිකාවට එකතු කරගනු ලැබිණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බිහිවූයේ ඒ අනුවය. මෙයින් පෙනෙන්නේ තනි ලිබරල්වාදයක් ගැන අපට කතා කිරීමට නොහැකි බවත් ලිබරල්වාදයේ ආකාර ගණනාවක්ම ඇති බවත්ය.
දැන් අප අවතීර්ණ වී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්ව වාදය මෙන්ම ජාතිකවාදයද ලිබරල්වාදයේ චින්තන වපසරියට එකතු කරගත යුතු යුගයකටය. ජාති ආගම් සීමා වලින් තොර ගෝලීය සමාජයක් මේ මිහිපිට බිහිවන්නේ යැයි ලිබරල්වාදය තුළ මතු වූ ප්‍රවාදය කඩා වැටී ඇත.ලිබරල් ගෝලීයකරණය නිසා ජාතිකවාදය අහෝසි වූවා නොව අලුත් උපතක් ලබා ඇති බව ඉතා පැහැදිලි.ය. ඒ නිසාම ලිබරල්වාදයට ජාතිකත්වය දෙස හැරීමට බල කෙරී ඇත. ජාතිකත්වය නොවැදගත් සාධකයක් යැයි අප රටේ ලිබරල් හා වාමාංශික කථිකාව තුළ තිබූ අදහස දැන් බිඳ වැටි හමාරය. මහාචාර්ය නලින්ද සිල්වා යනු මේ ජාතිකත්ව සාධකයේ වැදගත්කම පෙර දුටු ප්‍රාඥයෙකි. එතුමා මතු කළ ජාතිකවාදය ජනවාර්ගික ජාතිකවාදයකි.
ඇතැම් ජනවාර්ගික ජාතිකවාදීන් නොපිළිගත්තා වුවද ජාතිකවාදයද ලිබරල්වාදය සේම ඉතිහාසයේ අභියෝග වලට මුහුන දීමට බලකෙරී ඇති මතවාදයකි. තනි ජාතිකවාදයක් දැන් දක්නට නැත. එහි බෙදුම කෙතරම්ද යත් ජාතිය හා ජාතිකවාදය යනු කුමක්ද යන්න විග්‍රහකිරීම සම්බන්ධයෙන් පවා දක්නට ඇත්තේ විශාල බෙදීමකී. ජාතිය අනාදිමත් කාලයක සිට පැවත එන දෙයක් බව පවසන පුරාතනවාදී (primordialist approach ) ප්‍රවේශය හා ජාතිය යනු නුතන යුගයේ නිර්මාණයක් බව පවසන නුතනවාදී (modernist approach ) අතර අදටත් නිමා නොවන විවාදයක් පවතී. අපට විවිධ ජාතිකවාදයන් හඳුනා ගැනීමට හැකි වන්නේ මේ සන්දර්භය තුළය.
අපගේ සාකච්ඡාවට භාජනය වන ජනවාර්ගික ජාතිකවාදය (ethnic nationalism) යනු පුරාතනවාදී ප්‍රවේශය ඔස්සේ වැඩි වශයෙන් පැහැදිලි කෙරෙන ජාතිකවාදයේ විශේෂ ස්වරූපයකි. ලංකාවේ මතුවූ සිංහල බෞද්ධ ජාතිකවාදී කතිකාව සහ දෙමළ ජාතිකවාදී කතිකාව එබදු පුරාතනවාදී එළඹුමක් සහිත ජාතිකවාද දෙකකි. රාජ්‍ය බලයට අදාලව ජනවාර්ගික ජාතිකවාදයේ ස්වභාවය වන්නේ එය අවධාරණය කරන ජනකොට්ඨාශයේ දේශපාලන බලය, සංස්කෘතිය, අනෙක් සියල්ලට ඉහලින් අධිපති තත්වයක පැවතිය යුතුබවය. ඉතා සජාතීය සමාජයක හැර බහුවිධ සමාජයක මේ තත්වය සාමකාමීව තහවුරුකළ හැකි ක්‍රමයක් නැත. අපේ රටේ ජනවාර්ගික ජාතිකවාද කිහිපයක්ම ඇත. අනාගතයේදී තවත් ඇති විය හැකිය.
අපට අවශ්‍ය වන්නේ සාමකාමී සමාජයක් නම් ජාතිකවාදයට ප්‍රජාතන්ත්‍රවාදය එකතු යුතුව ඇත. එකිනෙකට වෙනස් ජාතික වාද දෙකක් අතර නිරෝගී සංවාදයක් ඇතිවිය හැක්කේ ඒ පාර්ශ්ව දෙකම ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂාව කතා කරන්නේ නම් පමණි. තමලු සඳහන් කරන බලයයෙදීම, බල තුලනය යන විසදුම් ගැන කවර කතාද ? ඒත්තු ගැන්වීමේ විසඳුම සඳහාද ජාතිකවාදී තර්ක නොව පුජාතන්ත්‍රවාදයේ තර්කය අවශ්‍ය වේ.
ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන දර්ශනයකි..ආණ්ඩුක්‍රමයකි. ජීවන විලාසිතාවකි. එය හොඳම පාලන ක්‍රමය නොවුනත් දැනට මානව සමාජය දැක තිබෙන පාලන ක්‍රම අතරින් හොඳම පාලන ක්‍රමය බව කිව පැවසිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය බටහිරට ග්‍රීසියට ලියාදීමට අප ඉක්මන් විය යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණ හා ආණ්ඩු ක්‍රම ස්වරෑප ග්‍රිසියට පෙර ආසියාවේ බිහි වී තිබු බව දැන් හෙළදරව් වෙමින් තිබේ. එය අපේ උරුමයකි.
ජාතිකවාදයට ප්‍රජාතන්ත්‍රවාදය එකතු වූ විට එතැන සිවිල් ජාතික වාදයක් බිහිවිය හැකිය. සිවිල් ජාතිකවාදයක් යනු ජාති, ආගම් ආදී සංස්කෘතික අනන්‍යතාවලට ඉහලින් සියලුම පුරවැසියන් සමාන ලෙස සළකමින් ජාතික සංස්කෘතික වෙනස්කම්වලට ගරු කරන ආණ්ඩු ක්‍රමයක් සැකසමින් සියලුම පුරවසියන් එකම දේශප්‍රේමී හුයකින් සම්බන්ධකරන ජාතිකවාදයක්ය. මේ සංකල්පයද සාර්ථක වීම් අසාර්ථක වීම ඔස්සේ විකාශය වුවකි.
ප්‍රංශ විප්ලවයෙන් පසු සිවිල් ජාතිකවාදයක් බිහිවුවද ජැකොබියන්ලාගේ සිවිල් ජාතික වාදය ප්‍රජාතන්ත්‍රවාදී වුයේ නැත. එය අසාර්ථක විය.කැනඩාව ස්විට්සර්ලන්තය සිවිල් ජාතිකවාදය සාර්ථක කරගත් රටවල්ය. අපට සමීප සාර්ථක උදාහරණය ඉන්දියාවය. ඉන්දියාවේ සිවිල් ජාතිකවාදය බිඳ දමමින් හින්දු ජාතිකවාදයක් ආධිපත්‍යය කරා යමන් තිබෙන බව කෙනෙකුට පෙන්වාදිය හැකිය. එහි සත්‍යයක් ඇත. එය භයානක ප්‍රවනතාවකි. එය සාර්ථක වුවහොත් එහි වන්දිය ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාවට ගෙවීමට සිදුවනු ඇත.එපමණක් නොව සිංහල බෞද්ධයන්ද මහා හින්දු සංස්කෘතියේ කොටසක් යැයි කියමින් සිංහල බෞද්ධයන්ද එම හින්දු ආධිපත්‍යය පිළිගත යුතුයැයි ලංකාවෙ අපට බලකරන දවසකට එම ජනවාර්ගික ජාතිකවාදයේ රඟ අපට දැනෙනු ඇත!
දැන් මම තමලුගේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙත පැමිණෙමි.ඔහු පවසන්නනේ ලිබරල්වාදය, සිවිල් ජාතිකවාදය ආදිය අපගේ චින්තනයට පිටින් බිහිවු ඒවා බවය. එවැනි ආගන්තුක සංකල්ප මගින් අපේ ජාතිකවාද පිළිබඳ ගැටලු කෙසේ සාර්ථකව විසදාගත නොහැකි බවය.
මෙහිදී චින්තනය යන්න වැදගත්ය. මා තේරුම් ගන්නා පරිදි තමලු එය යොදාගන්නේ එහි ඇති මතුපිට අර්ථයෙන් නොවේ. ගුනදාස අමරසේකර මහතා ඉදිරිපත් කළ අර්ථයෙන්ද නොවේ. මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඉදිරිපත් කළ අර්ථයෙනි. මා තේරුම් ගෙන සිටින පරිදි (වැරදි විය හැකිය) මහාචාර්ය නලින් චින්තනය යන්නෙන් අදහස් කළේ ඤාණය නිර්මාණය කිරීමේ පදනමකි. එය දැණුම් නිර්මාණය කෙරෙන පදනම් වන පැරඩයිමය (paradigm) හා එපිස්ටෙමය (episteme) යන බටහිර සංකල්ප වලින් අදහස් කෙරෙන අදහස ඉක්මවා ගිය යමක් බව එතුමා චින්තනය යන්නෙන් අදහස් කළ බව පෙනේ. මා තේරුම් ගත් පරිදිි මහාචාර්ය නලින්ට අනුව චින්තනය යනු දැණුම නිර්මාණය කෙරෙන සංස්කෘතික පදනමකි. දැනුම සංස්කෘතියට සාපේක්ෂය යන එතුමාගේ ප්‍රවාදයෙන් ඒ බව තවත් තහවුරු වේ. ඒ අනුව සිංහල බෞද්ධයාගේ චින්තනය සිංහල බෞද්ධ සංස්කෘතිය තුළින් ජනිත වන්නකි.
මගේ ප්‍රශ්නය මෙයයි. සංස්කෘතිය යනු වෙනස් වන්නකි. අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියද වෙනස් වන්නකි. එදා අනුරාධපුර යුගයේ තිබු සංස්කෘතිය අද නැත. දැන් අපගේ සංස්කෘතියේ වැඩිපුරම ඇත්තේ අපගේ දේශජ ලක්ෂණ නොව බටහිර ලක්ෂණය.(ඇඳුම්, පැළඳුම්, තාක්ෂණය ආදිය.) එසේ සමහර අංශවලින් වෙනස් වුවද අනුරාධපුර යුගයේ සිට නොවෙනස් වන සංස්කෘතික සාරයක් වශයෙන් සිංහල බෞද්ධ යැයි හඳුනාගත හැකිප යමක් දැණුම නිර්මාණය කිරීමේ පදනමක් වශයෙන් පැහැදිලිව හඳුනාගැනීමට තිබේද ? මගේ නිගමනය නම් එවැන්නක් හඳුනාගැනීමට නැති බවය. එසේ නොදන්නා යමකින් නිර්මාණය කෙරෙතැයි උපකල්පනය කෙරෙන දැණුමක් ගැන විශ්වාසය තබනවාට වඩා දැනටමත් දන්නා දැණුම කෙරෙහි මම විශ්වාසය තබමි.
දේශපාලනය යනු මේ මොහොතේ මතුවී තිබෙන ප්‍රශ්නය විසඳීමය. ජාතික අනන්‍යතා කිහිපයක් මතුවී තිබෙන රාජ්‍යයක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ලෙස ගොඩ නගද්දී වඩා සුදුසු වන්නේ ජනවාර්ගික ජාතිකවාදයට වඩා සිවිල් ජාතිකවාදය යැයි මා කියන්නේ ඒ වැටහීම අනුවය. අපට නිදහස, මානව හිමිකම් ආදී ලිබරල් වටිනාකම් රැගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතිකවාදයක් අවශ්‍ය යැයි මා පවසන්නේ මේ සංදර්භය තුළය.
බාහිර සතුරකුගෙන් තොරව ලිබරල් රාජ්‍යයක් පැවතිය නොහැකි යැයි තමලු කියයි. බාහිර සතුරකුගෙන් තොරව ජාතිකවාදයක්ද පැවැතිය නොහැකිය. මම ප්‍රජාතන්ත්‍රවාදී ජාතිකවාදියකු වෙමි. මගේ විරුද්ධකරුවන් වන්නේ නිර්ප්‍රජාතන්ත්‍රික ජාතිකවාදීන් සහ නිර්ජාතික ලිබරල්වාදීන්ය.
@ කරු පරණවිතාන
පෙර ලිපි -
සිවික්/ලිබරල් ජාතිකවාදය උත්තරයක් නො වී ප්‍රශ්නයක් වන්නේ ඇයි? කරූට එරෙහිව තමලුගෙන් පිළිතුරු
https://slleader.lk/life-style/12298-2025-05-18-15-01-46